කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.
ඉරාන තස්නිම් ප්රවෘත්ති ඒජන්සිය මේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළි ගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් යන අතරතුර මෙය සිදුවනු ඇති බවය.
ඉරාන ප්‍රහාරවලින් මේ දක්වා අමෙරිකානු කඳවුරු 14කට හානි සිදුව ඇති බවටද අදාළ පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපය මේ වන විට ගිනි ජාලාවක් බවට පත්ව තිබේ.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිගට ගමන් ගන්නා සියලුම ගුවන් සමාගම් සිය ගුවන් ගමන් තාවකාලිකව නතර කරනු ලැබූවේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසාය.
එමෙන්ම මැදපෙරදිග රටවල් සිට ගුවන් කලාප වසා දැමීමටද මෙම තත්ත්වය හමුවේ පියවර ගනු ලැබීය.
පවතින තත්ත්වය සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කිරීම තුළ මේ වන විට ලොව පුරා රටවල් රැසකට බලපාන සිදුවීමක් බවටද පත්ව තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය
පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හැඳින්වේ.
මෙහි පටුම ස්ථානය සැතපුම් 21ක් පමණ වන අතර, නැව් ගමනාගමනය සඳහා ඇති මාවත සැතපුම් 2ක් තරම් ඉතා පටුය.
සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය ද මෙය වේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය
මෙය ඉරානයට පමණක් අයත් බව බොහෝ දෙනාගේ මතය නමුත් සැබෑ තත්ත්වය එය නොවේ.
මෙය පිහිටා ඇත්තේ උතුරින් ඉරානයටත්, දකුණින් ඕමානයටත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මැදිවය.
මෙහි නාවික ගමන් මාර්ග වැඩිපුරම වැටී ඇත්තේ ඕමානයට අයත් මුහුදු සීමාව තුළ වීම විශේෂත්වයකි.
මෙහි පටු බව හේතුවෙන් නෞකාවලට ඉරාන මුහුදු සීමාව හරහා ද ගමන් කිරීමට සිදුවේ.
නීතිමය තත්ත්වය
එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය අනුව මෙය ‘ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක්’ ලෙස සැලකේ. එබැවින් කිසිදු රටකට එහි සාමකාමී නාවික ගමනාගමනය අවහිර කිරීමට නීතිමය අයිතියක් නොමැත.
හෝමූස් වසා දැමුවහොත් පවතින අවදානම
ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ගමන් කරන්නේ මෙම සන්ධිය හරහාය.
මෙය වසා දැමීම යනු ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් එකවර නතර වීම බවද වාර්තා වේ.
එමෙන්ම මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් ඉහළ යාම, ගෝලීය උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණ වීම ආදිය සිදුවිය හැකිය
ඉරානයට සැබවින්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමිය හැකිද?
ඉරානය සතුව විශාල මිසයිල පද්ධතියක් සහ කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා සමූහයක් ඇති බැවින්, මෙම පටු මාවත අවහිර කිරීමට ඔවුන්ට හැකියාව පවතී. නමුත් මෙමගින් ප්‍රධාන ගැටලු කිහිපයක් මතුවේ.
එක්සත් ජනපදයේ පස්වන නාවික බලඇණිය මෙම කලාපයේ ස්ථාපිත කර ඇති බැවින්, එවැනි උත්සාහයකදී විශාල යුධමය ගැටුමක් ඇතිවිය හැකිය.
එමෙන්ම, මෙම මාවත වසා දැමීමෙන් ඉරානයේම තෙල් අපනයනයට සහ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල විය හැකිය.
Saru News
















