රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (27) අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ද සිටින බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.
එමෙන්ම මෙම ජාවාරම විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටත් දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අහුංගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (27) පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේදී සිදුකළ පරීක්ෂා කිරීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවක් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 7කට අධික පමණයක් පොලීසිය සිය භාරයට ගනු ලැබීය.
ඇය සතුව තිබී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 30ක් හා 3.8 වර්ගයේ ජීව උණ්ඩ 30ක් සොයාගත් බව ද පොලිසිය පැවසීය.
එමෙන්ම ඇයගෙන් එම මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 බැගින් ද සොයා ගැනීමට පොලීසිය සමත් විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ මෙම පුද්ගලයින් සිව් දෙනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරන බවය.
මෙම මෙහෙයුමත් සමග වසරේ මේ දක්වා කාලයේ දී දකුණු පළාත තුළ දී පොලිස් භාරයට ගත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 100 ඉක්මවන බවද කිත්සිරි ජයලත් මහතා සඳහන් කර සිටියේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ දකුණු පළාත තුළ සිදු කළ මෙහෙයුම් මගින් හෙරොයින් සහ අයිස් කිලෝ 1,705ක ප්‍රමාණයක් සහ අවිආයුධ 432ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවය.
එමෙන්ම මුහුදු තීරය හරහා රට තුළට එන මත්ද්‍රව්‍ය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කිත්සිරි ජයලත් මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලීසිය දැනුවත් කරන ලෙසය.
Saru News













