විශ්වාසභංගය විවාදයට නොගත්තාට කථානායකට ඊයේත් විපක්‍ෂයෙන් විරෝධය: ‘ළපයි සිපයි’ ‘බිග් කුච්චන්’ වදන් මැතිසබයේ රැව්දෙයි

0
7

සභාව විනාඩි 10 කට නවතා කථානායක නැගිට යයි

ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීමට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (11දා) කථානායකවරයාට දැඩි විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට අත්හිටුවා අසුනින් නැගිට යෑමට කථානායකවරයාට සිදු විය.

විශ්වාසභංගය විවාදයට ගත හැකි බවට විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ විවිධ තර්ක මතු කළ අතර සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට මැදිහත්ව කළ ප්‍රකාශයක් නිසා තත්ත්වය වඩාත් උණුසුම් වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට පැමිණ කෑකෝ ගසන්නට වූහ.

විනාඩි කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුවේ සභාගර්භය මැද පැවති උද්ඝෝෂණයට දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, රාමනාදන් අර්චුනා, කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, අජිත් පී.පෙරේරා, කින්ස් නෙල්සන්, රෝහණ බණ්ඩාර, නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, චමින්ද්‍රාණි කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස විරෝධතාවේ නිරත වූහ.

“දියව්… දියව්… වාර්තාව දියව්… විවාදය දියව්” යනාදී පාඨ ඇතුළු විවිධ දේ කියමින් සෙංකෝලය අසලටම පැමිණ කථානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාට දොස් පවරද්දී පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ලේකම් මණ්ඩලයේ උපදෙස් පරිදි සභාවේ කටයුතු විනාඩි 10කට නවතා අසුනින් නැගිට යෑමට කථානායකවරයාට සිදු විය.

ඉන් අනතුරුව සභාව ආරම්භ වූ පසුව සභානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ‘ළපයි – සිපයි’ යනුවෙන් ඇමතීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු යළි කෝලාහල කරමින් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති කළහ. මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසන වාරය ද දෙපක්ෂයේ උණුසුම් කතාබහ මැද අසාර්ථක විය. සභාවේ ඊයේ ඇතිවූ උණුසුම් දීර්ඝ වචන හුවමාරුව පහත පරිදිය.

ගයන්ත කරුණාතිලක මහතා – අපි විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ඔබතුමා ප්‍රතික්ෂේප කළා. ඒ සඳහා හේතු වූ නීතිපති සහ ලේකම් මණ්ඩලය විසින් ලබා දුන් වාර්තා සභාගත කරන්න කියා අපි ඉල්ලුවා. ඔබතුමා අතනින් මෙතනින් උපුටාගෛන මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා කිව්වා. ඒත් ඒක නිශ්චිතව පෙන්වා දුන්නේ නෑ.

කථානායකවරු ගණනාවක්, ආණ්ඩු ගණනාවක් විශ්වාසභංගවලට මුහුණ දීපු ආකාරය අපි දැක්කා. නමුත් පළමු වතාවට ඔබ විශ්වාසභංග යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. 159 ක් තියාගෙන ඊට මුහුණ දෙන්න බැරි මොකද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. අපි නැවත ඉල්ලනවා කථානායක තනතුරේ මේ උත්තරීතර සභාවේ මූලාසනයේ ගෞරවය රැකෙන පරිදි කරුණාකරලා මේ වාර්තා දෙකම අපට අදම සභාගත කරන්න.

කථානායක – ඒ වාර්තා දෙකම පරිශීලනය කරලා තමයි මගේ සංක්ෂිප්ත වාර්තාව ලබා දුන්නේ.

විපක්ෂ නායක – ඔබතුමා ඊයේ ලබා දුන්නු තීන්දුව ගැන නැවත නැවතත් කරුණු ඉදිරිපත් කරන්න තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියට අනුව නියෝජ්‍ය ඇමැතිවරුන් කියන්නේ විධායකයේ කොටසක්. මේ සභාවේ කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා උත්තර දෙනවා. මේ විවාදය පාස්කු ප්‍රහාරයේ සත්‍යය සහ නිවැරදි තොරතුරු, මහමොළකරු කවුද කියා සොයා බැලීමට තුඩු දෙන විවාදයක්. අඩුම තරමේ ඔබතුමන්ලා අපට සාධාරණත්වයක් ඉටු කරන්නේ නැතිනම් පාස්කු ප්‍රහාරයේ වින්දිත පවුල් වෙනුවෙන්වත් මේ විවාදය ලබා දෙන්න.

කථානායක – 46 -1 වගේම 2ත් කියවන්න.

අජිත් පී. පෙරේරා මහතා- ඔබ ඊයේ ලබා දුන් තීන්දුවේ කිසිම තර්කයක් නෑ. ඒක පොඩි ළමයකුගේ රචනාවක් වගේයි. මීට දුන්නු නීතිපති වාර්තාව සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරනවාද? ඔබට තනි මතයක් නෑ. පාර්ලිමේන්තු මතය තිබෙන්නේ. මෙහි පාරදෘෂ්‍යභාවය රකින්න. නීතිපති මොනවාද කිව්වේ කියලා දැනගන්න කැමතියි. එහෙම කරන්නේ නැතිනම් අපට ඔබ ගැන විශ්වාසය නැති වෙනවා. ඔබ සාධාරණභාවය පෙන්නන්න ඕනෑ.

මුජිබුර් රහුමාන් මහතා – කාටද විශ්වාසභංගයක් ගේන්න පුළුවන්, කාටද බැහැ කියලා ස්ථාවර නියෝගවල සඳහන් වෙන්නේ නෑ. මේ නියෝජ්‍ය ඇමැතිවරයා තමයි අපි අහන ප්‍රශ්නවලට මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති වෙනුවෙන් උත්තර දෙන්නේ. ජනාධිපති විදේශ සංචාරවලට යනවිට ඔහු වැඩබලන ආරක්ෂක ඇමැති වෙනවා. ඔහු විධායකයේ කොටසක් බවට පත්වී තිබෙනවා.

නියෝජ්‍ය ඇමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද ඔහු භුක්ති විඳිනවා. අපි මේ ගේන විශ්වාසභංගය ජයග්‍රහණය කළත් ඔහුගේ තනතුර අහෝසි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. මෙතැන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. කථානායකතුමාත් දේශපාලන තීන්දුවක් ගත්තේ. මෙය අපට නොදී සිටින්න.

දයාසිරි ජයසේකර මහතා- නියෝජ්‍ය ඇමැතිවරයෙක් කියන්නේ විධායකයේ කොටසක්. ඔහුට නීත්‍යනුකූලව ගැසට් පත්‍රයකින් ආයතන පවරා නොදුන්නත් ඔහු මේ සභාවේ වාචික පිළිතුරු අහන වටයේදී උත්තර දෙනවා. ආරක්ෂක ඇමැති ජනාධිපති ගාවට ඉන්නේ මේ නියෝජ්‍ය ඇමැතිවරයා. ඒ නිසා මේක ගේන්න කිසිම නීතිමය බාධාවක් නෑ. පාර්ලිමේන්තුව ඇතුළේ ඔබ ඉතා නරක පූර්වාදර්ශයක් දී තිබෙන්නේ.

නලින් බණ්ඩාර මහතා – අපිට ඕනෑතරම් උදාහරණ තිබෙනවා. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට විශ්වාසභංග ගෙනා අවස්ථා තිබෙනවා. මේ නියෝජ්‍ය ඇමැතිතුමාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ඉවත් කර වෙන කෙනෙක් පත් කරන්න ආණ්ඩුවට පුළුවන්.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක – අපි ඉතාම පැහැදිලිව කිව්වා අපට මේ ගැන ප්‍රශ්නයක් නෑ. අපි මුහුණ දෙන්න ලැහැස්තියි කියලා. මේ අය වැලේ වැල් නැතිව මේ උදේ කාලය නාස්ති කරනවා. මේ අයගේම මන්ත්‍රීවරයෙක් කිව්වා නියෝජ්‍ය ඇමැතිවරයකුට විරුද්ධව විශ්වාසභංග ගේන්න බෑ කියලා. ඒ නිසා දැන් වැඩේ ඇනගෙන ඉන්නේ. (විපක්ෂයේ ඝෝෂා)

2007දී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කථානායක කාලයේ රාජ්‍ය ඇමැති වූ මර්වින් සිල්වා මහතාට එරෙහි විශ්වාසභංගය ගේන්න දුන්නේ නෑ.

විපක්ෂය – බොරු කියන්න එපා. ජෝෂප් මයිකල් පෙරේරාගේ කාලයේ කොහේද මර්වින් සිල්වා රාජ්‍ය ඇමැති වුණේ.

සභානායක – මේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ. ඇහුම්කන් දෙන්න. අයිසේ මේ අහගන්නවා. (විපක්ෂයේ ඝෝෂා)

කථානායක- ඔබතුමන්ලාට වෙන විකල්ප තිබෙනවා. විශ්වාසභංග නැතුව ගේන්න. ලේකම් මණ්ඩලය දීපු වාර්තාවත් ඕක තමයි. ඒක පාදක කරගෙන තමයි මම තීන්දුව දුන්නේ. ඒක ඔබලාට දෙන්න මම බැඳී නෑ. (විපක්ෂයේ ඝෝෂා)

පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනවා. (කථානායක අසුනින් නැගිට යයි.)

පසුව නැවත පාර්ලිමේන්තුව රැස්වේ.

සභානායක බිමල් රත්නායක මහතා- විශ්වාසභංගයක් නොවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුළේ අප්‍රසාදය පළකිරීමේ යෝජනාවක් ගේන්න පුළුවන්. ඒ නිසා විශ්වාසභංගයක් ගෙනත් ඒක ඇනගෙන පාර්ලිමේන්තු කාලය කා දමන එක අපරාධයක්. එළියේ තුන්සීයක් පන්සීයක් එකතු කරගන්න බැරිව මේ අය කරන දේශපාලනය ගැන අපට ප්‍රශ්නයකුත් නෑ. මේ අය මෙතන කරන්නේ ජනවරම දන්නේ නැති පොහොට්ටු දේශපාලනයයි. මේ විශ්වාසභංග යෝජනාව බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගෙන් පරද්දන්න පුළුවන්. මේ මොන ළපයි සිපයි ද? අපගේ නිහතමානීකම, අපේ විනයගරුක භාවය අපට අසාධාරණයක් වෙන්න බෑ. කථානායකතුමා සභාව කරගෙන යන්න ඉදිරියට.

විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට පැමිණෙති.

කථානායක- කරුණාකර ආසනවලට යන්න.

විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරති. කවුද ළපයි සිපයි. වාර්තා දෙන්න?

කථානායක- මේ ළපයි සිපයි කතාවක් අල්ලගෙන කෑගහනවා. සභානායකතුමා ඔබ එය ඉල්ලා අස්කර ගන්න. ඔබතුමන්ලා ආසනවලට යන්න.

විපක්ෂය- දියව් දියව් වාර්තා දියව් (විපක්ෂයෙන් ඝෝෂා)

සභානායක – සභාව කරගෙන යන්න. මේ ත්‍රස්තවාදය…

කථානායක- දවල් දොළහට පක්ෂ නායක හමුව තිබෙනවා. එතනදී කතා කරමු.

ගයන්ත කරුණාතිලක මහතා- විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ළපයි සිපයි කිව්වා එය හැන්සාඩ් එකෙන් ඉවත් කරගන්න. ඉල්ලා අස් කරගන්න කියන්න.

සභානායක- එහෙනම් විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සභාව මැද්දට ඇවිත් අපට කරපු අපහාසවලට සමාව ගන්න ඕනා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මේ තක්කඩි දේශපාලනයක් කරන්නේ.

නලින් බණ්ඩාර මහතා- ළපයා සිපයා කිව්වේ කාටද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ළපයා කිව්වේ ජනාධිපතිතුමාට. සිපයි කිව්වේ අපට. මේක අයින් කරගන්න කියන්න. මේක බිග් කුච්චන්.

(කථානායකවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්න වටය අරඹයි.) නලින් බණ්ඩාර මහතා ප්‍රශ්නය අහනවාද… අහන්නේ නෑ කියලා පැහැදිලියි.

කථානායක- පාර්ලිමේන්තුව හෑල්ලුවට පත්කරන්න එපා. මන්ත්‍රීවරු භාවිත කළ නරක වචන මීට කලිනුත් මම ඉවත් කර තිබෙනවා. පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එහෙමයි.

සභානායක- මේ අය ප්‍රශ්නය අහන්නේ නැතිනම් අපි උත්තර දෙන්නේ නෑ. කථානායකතුමාට බෑ ප්‍රශ්නය අහනවාද කියා දහවතාවක් විතර අහන්න. කරුණාකරලා ඉස්සරහට යන්න.

(වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්න වටය ඇරඹූ පසුද දැඩි ඝෝෂාවක් පැවැති අතර විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න අසනවා වෙනුවට වෙනත් දේ කියන්නට ගත්හ.)

කථානායකවරයා විපක්ෂ ඝෝෂා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට කරගෙන ගියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here