ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අංක 2453/36 සහ 2025.09.12 වැනි දින දරණ අති විශේෂ ගැසට් පත්රය මගින් හෙට්ටිපොල මහේස්ත්රාත් අධිකරණය දිසා/මහේස්ත්රාත් ඒකාබද්ධ අධිකරණයක් බවට පත් කර තිබේ.
ඒ අනුව, ගැසට් පත්රයේ පළ කළ ඇති ආකාරයට බිංගිරිය, පඬුවස්නුවර (බටහිර) සහ පඬුවස්නුවර (නැගෙනහිර) ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අදාළ නිලධාරි වසම්වල (හෙට්ටිපොල දිසා/මහේස්ත්රාත් අධිකරණ කලාපයේ) ඉඩම් නඩු, බෙදුම් නඩු, දික්කසාද නඩු, මුදල් අය කර ගැනීම් නඩු, වන්දි නඩු ඇතුළු සියලුම ආකාරයේ සිවිල් නඩු හෙට්ටිපොල දිසා අධිකරණයේ පවරා සහන ලබා ගැනීමට සහ යුක්තිය ළඟා කර ගැනීමට අවස්ථාව සලසා ඇත.
මෙම ගැසට් නිවේදනය ප්රකාරව හෙට්ටිපොල මහේස්ත්රාත් අධිකරණයද හෙට්ටිපොල දිසා අධිකරණය සමඟ ඒකාබද්ධව ක්රියාත්මක වේ.
මේ නිමිත්තෙන් හෙට්ටිපොල නීතිඥ සංගමය සංවිධානය කළ උත්සවයක් හෙට්ටිපොල දිසා මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු කේ.ඒ.ආර් නදීශානිගේ ප්රධානත්වයෙන් හෙට්ටිපොල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලක්මල් වික්රමආරච්චි ඇතුළු නීතිඥ සංගමයේ සාමාජික නීතිඥයින්ගේ සහ අධිකරණයේ රෙජිස්ට්රාර් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පසුගියදා (23) හෙට්ටිපොල දිසා/මහේස්ත්රාත් අධිකරණයේදී පැවැත්වුණි.
මෙසේ යුක්තිය සාධාරණත්වය පහසුවෙන් ලඟා කර ගැනීමට හැකි වන පරිදි හෙට්ටිපොල දිසා/මහේස්ත්රාත් ඒකාබද්ධ අධිකරණය පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගරු අග්ර විනිශ්චයකාරතුමන්ටත්, ගරු අධිකරණ ඇමතිතුමාටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම් තුමා, පූර්වගාමී ගරු මහේස්ත්රාත්තුමියන්ලා, වත්මන් ගරු මහේස්ත්රාත්තුමිය, ශ්රී ලංකා නීතිඥ සංගමයේ සහ හෙට්ටිපොල නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු, ලේකම්වරු සහ වත්මන් සභාපති, ලේකම්, සාමාජිකයින් ඇතුළු ඒ සදහා කැපවූ, සහයෝගය ලබාදුන් සියලු දෙනාටම ස්තුතිය පුද කරන බව මෙම අවස්ථාවේදී හෙට්ටිපොල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලක්මල් වික්රමආරච්චි පැවසීය.




471
Saru News













