නේපාලය දකුණු ආසියාවේ පිහිටා ඇති අතර ඉන්දියාව සහ චීනය සමග භෞමික දේශ සීමා බෙදා ගනී. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 147181 කි. සහ ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහනයක් නේපාලය තුළ ජීවත් වෙති. කත්මණ්ඩු නේපාලයේ අගනුවර වේ. නේපාලය භූගෝලීය වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, සදාචාරාත්මකව සහ භාෂාමය වශයෙන් විවිධත්වයක් ඇති පුළුල් පරාසයක විනෝදාස්වාදයන් සහ ඇදහිය නොහැකි තරම් දර්ශන සහිත ලෞකික රාජ්‍යයකි. එපමණක් නොව, එහි ඉතා ඉහළ හිමාලයානු කඳු වැටි සහ ඇදහිය නොහැකි ජෛව විවිධත්වය නිසා එය කඳු නැඟීම, වයිට්වෝටර් රාෆ්ටින්, වනජීවී සෆාරි සහ තවත් බොහෝ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා ලොව පුරා ජනප්‍රිය ගමනාන්තයකි.
නේපාලය රජ්‍ය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා 26ක් තහනමට ලක් කිරීමට පියවරක් ගන්නා ලදී. නේපාල රජ්‍ය එවැනි තීරණයක් ගැනීමට හේතුව වූයේ නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීමයි. නමුත් එය සාර්ථක තීරණයක් වූයේ නැත. මේ තුළින් ජනතා අයිතිවාසිකම් හා ආණ්ඩු බලය අතර ගැටුමක් වර්ධනය විය. මෙය ඉතා කෙටි කාලයකින් නේපාලයම කම්පනයට පත් කළ අරගලයක් බවට පත්විය. නේපලය තුළ සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ වූ විරෝධතා වර්ධනයවුයේ විශේෂයෙන් Gen Z නමින් හැඳින්වෙන තරුණ පරපුරේ මඟ පෙන්වීමෙන්ය. ඔවුන්ගේ මතය වූයේ සමාජ මාධ්‍ය තහනම භාෂණ නිදහසට හා අන්තර්ජාල අයිතිවාසිකම්ට එල්ල වූ බාධාවක් බවයි.
මෙම විරෝධයට නේපාලයේ සියලුම වයස් කාණ්ඩවල තරුණයෝ ,තරුණියෝ, කම්කරුවන්, ගුරුවරු, වෘත්තීයවේදීන්, නිවසේ සිටින ගෘහණියන් දක්වා විවිධ පිරිස් මේ අරගලයට සම්බන්ධ විය. ඔවුන්ගේ චෝදනාවක් වූයේ ආණ්ඩුව දූෂිත බව නිසා සමාජ මාධ්‍ය ඔස්සේ නැඟී සිටින විරෝධය යටපත් කිරීමට අධිකරණ තීන්දුවකට මුවාවී ක්‍රියා කළ බවයි.
නේපාල රජ්‍ය නොසිතූ පරිදි විරෝධතා ඉක්මනින්ම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය. සැප්තැම්බර් 8 වැනිදා සවස වනවිට හමුදාව ගෙන්වා ආණ්ඩුව විරෝධතාකරුවන් මැඬපැවැත්වීමට උත්සහ ගත්ත ද එහි අවසාන ප්‍රතිඵලය වූයේ ජීවිත 19ක් අහිමිවීම හා 100කට අධික තුවාල ලබා රුපියල් කෝටි ගණනක දේපළ විනාශ වීමයි. මෙම තත්ත්වය හමුවේ නේපලයේ කැබිනට් මණ්ඩලය රැස්ව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට පිළිතුරු වශයෙන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බව නේපලයේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය පෘථිවී සුබ්බා ගුරුන්ග් සඳහන් කර ඇත. නමුත් මේ සියල්ල අතර, ස්වදේශ කටයුතු ඇමැති රමේෂ් ලේකාක් දේශපාලන හා සමාජ විවේචන හේතුවෙන් තනතුර අත්හැරියේය. මෙලෙස පවසා ඇති තත්ත්වයක විරෝධතාකරුවන් නේපාලයේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලකට ගිහිතබා ඇත. මෙම විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.ජී.ෂර්මා ඔලි ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඊට අමතරව Gen Z විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ල ගිහි තබා තිබේ. මීට අමතරව දේශපාලන පක්ෂ කාර්යාල සහ නිවාස ද ගිනිතබා ඇති අතර සංචාරක හෝටල් කිහිපයකට ද ගිනි තබා ඇත.
නේපාල ආණ්ඩුවේ පැහැදිලි කිරීම අනුව, සමාජ ජාලා තහනම ස්ථිර තහනමක් නොව, නීතිමය නියෝගයක් ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහයක් බවයි සඳහන් කර ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව සමාජ ජාල සමාගම් රට තුළ ලියාපදිංචි විය යුතුය, එයට සම්බන්ධ සේවකයන් සහ කාර්යාලයන් පිහිටු වියයුතුයි. නමුත් බොහෝ සමාගම් එය ප්‍රතික්ෂේප කළ නිසා තාවකාලිකව සීමා දරා තිබූ බව ආණ්ඩුව පෙන්වා දෙයි. නමුත් ජනතාව හා විරෝධතාකරුවන්ගේ විවේචනය වෙනස්ය. සමාජ මාධ්‍ය තහනමට ලක් කළ එකම රට නේපාලය නොවේ. ඔස්ටේ්රලියාව, ඉන්දියාව, මියන්මාරය වැනි රටවල් ද මේ ආකාරයට ක්‍රියාකර ඇත.
නේපාලයේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට අපහසු තත්ත්වයකට පත්ව තිබේ. එබැවින් නේපාලය තුළ පවතින කෝලාහල තත්ත්වය මැඬපැවැත්වීම සඳහා එරට හමුදාව මැදිහත් වන බවට නිවේදනය කර තිබේ. එම තීරණ ගැනීමට යොමුව ඇත්තේ මෙම තත්ත්වයෙන් වාසි ගන්නා ඇතැම් විරෝධතාකරුවන් පොදු දේපළවලට හානි කරමින් , කොල්ලකෑම සහ ගිනි තැබීම් දිගින් දිගට සිදුකරගෙන යෑමයි. නේපාලය තුළ උද්ගත වූ මේ තත්ත්වයෙන් නිරූපණය වන්නේ රජ්‍යයකට අවශ්‍ය පරිදි සෑමවිටම තීන්දු තීරණ ගැනීම නිවැරදි නොවන බවයි.
සමාජ මාධ්‍ය තහනම් කිරීම දිගුකාලීන විසඳුමක් නොව එය තාවකාලිකව ජනතාවගේ කෝපය උත්තේජනය කරයි. එලෙසම ජනතාවගේ අයිතිවාසිකම් හා අදහස් නිදහසට ගෞරව නොකළ රටක අඛණ්ඩ නොසන්සුන්තාව උත්පාදනය විය හැකි බව නේපලය තුළ සිදුවූ මෙම සිදුවීමෙන් නිරූපණය වෙයි. නේපාලයේ සමාජ මාධ්‍ය තහනම පෙන්වා දුන්නේ බලය රැඳවීම සඳහා රජ්‍යයන් ගන්න ඇතැම් තීරණ ජනතාවගේ ජීවිතවලට කොතරම් බරපතළ බලපෑම් ඇති කළ හැකිද යන්නයි. තහනම අවසන් කළද එම කාලය තුළ සිදු වූ මරණ, තුවාල සහ දේපළ විනාශයන් සමාජය තුළ අමතක කළ නොහැකි මතකයක් බවට පත්ව ඇත. තරුණ පරපුර නායකත්වය ගත් විරෝධතා පෙන්වාදුන්නේ නව පරම්පරාව තවදුරටත් නිහතමානීව බලධාරීන්ගේ අයුක්තිමය තීරණ පිළිගන්නට අකමැති බවයි.
මෙම සිදුවීමෙන් ජනතාවගේ අදහස් නිදහස හා අයිතිවාසිකම් නොසලකා ගෙන ගන්නා තීන්දු කිසිවිටක නීතියේ නියෝග මගින් හෝ හමුදාවේ බලය මගින් දීර්ඝ කාලීනව පවත්වා ගෙන යා නොහැකි බව නිරූපණය විය. නේපාලය සමාජ ජාල තහනම් කිරීමෙන් ආණ්ඩුවේ අරමුණ ඉටු නොවී එය අතුරින්ම ආණ්ඩුවේ විශ්වාසයත්, නීතිමය අධිපත්යයත් බිඳ වැටී ගියේය. නේපාලය තුළ උද්ගත වූ මෙම තත්ත්වය ලොව සෑම රටකටම වර්තමාන තරුණ පරපුරේ ක්‍රියාකාරීත්වය හා හැසිරීම රටාවන් අවබෝධ කර ගැනීමට ඉතාම වැදගත් වේ. නේපාල රාජ්‍යයට අද අවශ්‍ය වන්නේ බලයෙන් පාලනය නොව ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන නිදහසට ගෞරව දක්වන සහ විවේචනය බියකොට නොව පිළිගන්නා නව දේශපාලන සන්සුන් මාර්ගයක් සොයන ආණ්ඩුවකි.
● සඳුනි මුණසිංහ
Saru FM Media