ටික්ටොක්, ටික්ටොක්, ටික්ටොක්, ටික්ටොක්

0
6

(මාරයාගේ හදවත ගැහෙන රාවය)

අවස්ථාවාදී වනචාරියකු වෙතින් කෙලෙසුණු 14 හැවිරිදි දැරියක පිළිබඳ කළුතර මූලස්ථාන පොලිසිය මගින් පරීක්‍ෂණ අරඹා තිබේ. මේ දැරියගේ පියා ඇය කුඩා කලදීම මියගොස් ඇත. පසුව ජීවන අරගලයට මුහුණදීගත නොහැකි වූ බැවින් ඇගේ මව මීට අවුරුදු තුනකට පෙර මැදපෙරදිග රටක ගෘහ සේවයට ගියා ය. ඉන් පසු දැරිය හැදුණේ ඇගේ මිත්තනියගේ සෙවණේ ය. ඒ අතර ඇගේ මව දැරියට ස්මාර්ට් ෆෝන් එකක් එවා තිබේ. ළමයින් අතට පත් නොවිය යුතු මේ භයානක උපකරණය හරහා ඇය ටික්ටොක් කරන්නට පටන් ගත්තා ය. ඉන්පසුව ටික්ටොක් හරහාම ඇයට පෙම්වතකු හඳුනා ගැනීමට ලැබිණ. තමාට කාත්කවුරුත් නැති බවත්, තමා මිත්තනියගේ සෙවණෙහි හැදෙන බවත් දැරිය සිය පෙම්වතාට පැවැසුවා ය. ඉන් පසු කළුතර කටුකුරුන්දේ මුහුදු වෙරළට එන ලෙස ඇගේ පෙම්වතා ඇයට පැවැසීය. මුහුදු වෙරළේ දී පෙම්වතා විසින් දැරිය කෙලෙසන ලදී. ඒ පිළිබඳ කළුතර මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මේ 14 හැවිරිදි දැරිය පොලිසියට දුන් කටඋත්තරයේ දී වැදගත් කාරණා දෙකක් සඳහන් කර තිබේ. ඉන් පළමුවැන්න නම් පාසල් යෑමට තමාට පහසුකම් නොමැති බැවින් තමා පාසල් ජීවිතය අත්හැර දමන ලද බවයි. දෙවැනි කාරණය වන්නේ තමාට කිසිවෙක් ආදරය නොකරන බවය. පළමුවැනි කාරණයට වඩා දෙවැනි කාරණය ඉතා දරුණු ය. වෙසෙසින්ම තමාට කිසිවකු ආදරය නොකරන බව කුඩා ළමයකුට දැනුණු කල්හි අවුලක් හටගනී. ඒ තත්ත්වය දිගටම පවතින විට අවුල ද ක්‍රමයෙන් ප්‍රසාරණය වෙයි. මේ අවුල නව යොවුන් දැරියකට දැනුණු විට තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. එවිට ආදරය නොමැති වීම නිසා හටගන්නා රික්තයට රිංගා ගැනීමට ඕනෑම මළපෙරේතයකුට පුළුවන. මේ දැරියගේ ජීවිතය කාදමන ලද්දේ එවැනි මළපෙරේතයකු විසිනි. තමාට කාත්කවුරුත් නැති බව දැරිය කීමත් සමගම මළපෙරේතයාට වැඩි වාසියක් ලැබිණ. ඇය ගෙදරින් එළියට පන්නා ගැනීමට හැකි බව ඔහු දැන ගත්තේ ය. ඇය දූෂණය කළ ද ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා කිසිවකු නැති බවද මළපෙරේතයා දැන ගත්තේ ය. ඔහු ඒ සියලු අවස්ථාවල ප්‍රයෝජනය එකවර ගත්තේ ය. දැන් මේ දැරියගේ අනාගතය අනතුරට පත්වී තිබේ. සමහර විට ස්ත්‍රී දූෂක මළපෙරේතයා සමාජ රෝගකාරයකු නම් දැරියට ද එය බෝවීමට ඉඩ තිබේ. සාම්ප්‍රදායික ලෝකයක තනිවී කාන්තා නිදහස පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් බණ දේශනා කරන ශ්‍රී ලාංකිකයන්ට කන්‍යාභාවය නමැති සාධකය අදටත් විශාල මාතෘකාවකි. කන්‍යාභාවයක් සිඳුණු දැරියක් කසාද බැඳීමට එරෙහිව සමාජ තහංචි රාශියක් තිබේ. අලුත් ජෝඩුව මධුසමය ගත කිරීමෙන් පසු ඔවුන්ගේ කාමරයට රිංගා ලේලියගේ පාරිශුද්ධත්වය පරීක්‍ෂා කරන ලජ්ජා නැති නැන්දම්මලා අදටත් මේ සමාජයේ සිටිති. එසේ නොවන සාධාරණ පවුලක තරුණයකු විවාහ කර ගැනීමට ලැබුණොත් මේ දැරියට අනාගතයේ දී අනර්ථයක් සිදුවන්නේ නැත. එහෙත් ඒ වාසනාව ඇය තුළ නැත්නම් සහ ඇයට කිසිදු අධ්‍යාපනයකුත් නැති නිසා අන් විසඳුමක් ඇය ඉදිරියෙහි නැත.

ලංකාවේ බාලවයස්කාර දැරියෝ විශාල වශයෙන් දූෂණයට ලක්වෙති. පියා, මාමා, සීයා, බාප්පා, සහෝදරයා සහ ළඟම ඥාතියා යන අය වෙතින් මේ රටේ බාලවයස්කාර දැරියෝ කෙලෙසෙති. සමහර විට පෙම්වතා සහ ඔහුගේ මිතුරෝ සිය බාලවයස්කාර පෙම්වතිය සමූහ දූෂණයට ලක් කරති. කළුතර සිද්ධියේ දැරිය ද බාලවයස්කාරියකි. ඇයට කළ අපරාධය වෙනුවෙන් මේ සිද්ධියට සම්බන්ධ ස්ත්‍රී දූෂකයා වන්දි ගෙවිය යුතුම ය. බාලවයස්කාරියන් අපහරණය කිරීමේ නඩු විසඳීම ඉතා දුෂ්කර ය. බොහෝ අවස්ථාවලදී බාලවයස්කාර දැරියගේ සාක්‍ෂිය ශක්තිමත් නොවන්නේ නම් එම නඩු පිළිබඳ සාධාරණයක් කිරීමට මෙබඳු අවස්ථාවලදී පොලිසිය ඉතාම සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. නඩුව අහකට වීසිවන බව පොලිසියට වැටහුණොත් පොලිසිය කරන්නේ පොලිසියට හැකි අන්දමින් දඬුවම ක්‍රියාත්මක කිරීම ය. හැම දෙයක්ම විසඳිය යුත්තේ නීත්‍යනුකූලව ය. ඒ බව අපි පිළිගනිමු. එහෙත් අනීතිය ජයගන්නා බව කල්තියාම දැනුණු විට වරදකරුට සුදුසු දඬුවම් ලබාදීමට අනීතිය නමැති සාධකයට පුළුවන. නීතිය එයට විරුද්ධ වීමට ඉඩ තිබේ. එහෙත් මනුෂ්‍යත්වය එවැනි නඩු විසඳීම්වලට කිසිකලෙකත් විරුද්ධ වන්නේ නැත. දරුවන් අසරණභාවයට පත්වී සහ ඔවුන්ට ආදරය නොලැබීම ඉතාම දරුණු අර්බුදවලට මුලය. ආණ්ඩුව ගාණේ ළමයින්ට ආදරය කිරීමට නොහැකි බව අපි පිළිගනිමු. එහෙත් ගමේ සිටින හැම පවුලකම පෞද්ගලික තොරතුරු දැනගෙන ක්‍රියාකිරීමේ ක්‍රමවේදයක් මේ රටට හඳුන්වා දිය යුතුව තිබේ. කළුතර දී විපතට පත් දියණිය වැනි අය සිටින පවුල් ගැන සොයා බලමින් කටයුතු කිරීමේ නෛතික බලය සහිත සුභසාධන ඒකකයක් සෑම ගමකම පිහිටුවීම කළ යුතු බව අපගේ යෝජනාව වේ. සමහරවිට ප්‍රශ්නයෙන් සියයට සියයම නැතත් ප්‍රශ්නය සියයට පනහක්වත් විසඳීමට එවිට පුළුවන.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here