ගුණ ධර්ම වලින් හෙබි හොඳ පුරවැසියෙක් රටට දායාද කරන්නට බලාපොරොත්තුවන දෙමාපියන්ටයි

0
12


අපි කවුරුත් කැමති අපේ දරුවන් ගති පැවතුම්, ගුණ ධර්ම අතින් ඉහළින්ම ඉන්නවා දකින්නයි. ඒත් මෙහිදී වැදගත් කරුණ වන්නේ දරුවන්ගේ අනාගතය ඔබවත් කිරිමට නම් වැඩිහිටි අපගේ මගපෙන්වීම අවශ්‍ය වන බවයි. අපේ දරුවෝ බොහෝ දෙනෙකක් අනුගමනය කරන්නේ අපි කියන දේට වඩා අපි කරන දේයි. ඒ කුඩා දරුවෝ අනුකරණයට ඉතාම දක්ෂ නිසයි. 

”අනේ ඒ දරුව නම් රත්තරන් වටින පුතෙක්, අනේ ඒ දරුව නම් රත්තරන් දුවෙක්” කියන මෙන්න මේ වචන ටික ඔබේ කනට ඇහෙන්න ලැබීම පුදුම වාසනාවක් කියලා ඔබට හිතෙනවා. ඉතින් අපේ මේ පුංචි පැටවුන්ට හොඳ ගතිගුණ ඒ වගේම ගුණ ධර්ම කියලා දෙන්න සුවිශේෂී ක‍්‍රම තියෙනවද? 

ඇත්තටම මුලින් සඳහන් කළ විදියට අපේ දරුවෝ ගොඩක් දෙනෙක් අපි කියන දේට වඩා අපි කරන දේයි අනුගමනය කරන්නේ. ඔබ බොහෝමයක් දේවල් ඔබේ දරුවන්ට කියනවා ඇති. හැබැයි ඒ කියන බොහෝමයක් කාරණා වලට වඩා ඔබ කරන දේ පිළිබඳව දරුවෝ බොහෝ විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. අනන් ඒ නිසාම වැඩිහිටි අපි සිහි තබා ගත යුතු ප‍්‍රධානම දේ වන්නේ වැඩිහියන් ලෙස අපි මොනවද කරන්නේ, අපේ හැසිරීම කොහොමද කියන කරුණයි.

අපේ දරුවෝ හරිම රෞද්‍ර ලෙස හැසිරෙනවා නම්, අපේ දරුවෝ නිතැතින්ම ප්‍රචණ්ඩ නම් එයට ප‍්‍රධාන හේතුව ඔවුන් දකින, හැදෙන පරිසරය. ඉතින් එතැනදී දෙමව්පියන් විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා යහපත් ගුණ ධර්ම වලින් හෙබි දරුවෙකු රටට දායාද කරනවා නම් අනිවාර්යෙන්ම නිවසේ පරිසරය ඊට ගැලපෙන සහ ඊට අනුගත වන පරිදි සකසා ගැනීම සම්බන්ධව. 

උදාහරණයක් ලෙස ගතහොත් ඔබ, ඔබේ දෙමව්පියන්ට සලකනවා නම් දරුවන්ට ඔබට සලකන්න කියා දීම අවශ්‍ය නැහැ. අසරණව සිටින පුද්ගලයන්ට ඔබ උදව් කරනවා නම්, ඔබේ දරුවාත් එය ඔබෙන් උකහා ගනීවි. ඔබ, ඔබේ සහෝදර සහෝදරියන් සමග ඉතාමත් මිත‍්‍රශීලීව කාලය ගත කරනව නම්, ඔබේ දරුවනුත් තම සහෝදර සහෝදරියන් සමග මිත‍්‍රශීලිව කාලය ගත කරාවි. ඒ ඔබේ දරුවා තම පරිසරයෙන්ම ඒ දේ අත්දිමින් ඉගෙන ගන්නා නිසයි. අන්න ඒ වගේ අ‍පේ ක්‍රියාවන්වලට අනුව අපේ දරුවෝ හරි දේ වගේම වැරදි දේත් ‍තම මනස තුළ රෝපණය කර ගත හැකියි. 

හිතන්න, ඔබ ඔබේ දරුවගෙන් යම් උදව්වක් බලාපොරොත්තු වෙනවා. එය සිදු කළ පසු ඔබ අනිවාර්යෙන්ම දරුවාට ස්තුති කළ යුතුයි. එවිට අනිවාර්යෙන්ම ඔබේ දරුවත් නිතැතින්ම එය ඉගෙන ගන්නවා. කවුරු හෝ ඔබට උදව්වක් කළොත් ස්තුතිය කියන්න කියා ඔබ දරුවාට කියා දුන්නට වඩා ඔබ එය ක්‍රියාවෙන් සිදු කළොත් එය ඉතා ශීඝ‍්‍රයෙන් දරුවාගේ මොළය මගින් උකහා ගන්නවා. අපි දෙමව්පියෝ විදියට බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. දරුවන්ට යහගුණ, හරි වචන, හොඳ පුරුදු කියලා දෙනව නම් එය ක‍්‍රියාවෙන් පෙන්වන්න. එවිට දරුවෝ නිරායාසයෙන්ම එය ඉගෙන ගන්නවා. 

ජාතක කතා ආශ‍්‍රයෙන්, ආගමික ඉගැන්වීම් ආශ‍්‍රයෙන් වගේම විවිධ විවිධ පණිවිඩ රැගත් විවිධ පොත් ඇති අතරම එවැනි ආදර්ශමත් කතා දරුවාට කියවීමට දීමෙන් නිතැතින්ම යහ පුරුදු ඉගෙන ගැනීමට ඇති හැකියාව වර්ධනය වෙනවා. 

ඔබ මොන ආගමේ වුණත් ඉරිදට ගොඩක් ආගමික ස්ථානවල විවිධ විවිධ දහම් පාසල් පැවැත්වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ දරුවා දහම් පාසලට යොමු කරන්න, නැත්නම් ඔබේ දරුවට පූජ්‍ය පක්‍ෂය ආශ‍්‍රය කරන්න අවස්ථාව සලසා දෙන්න. මෙමගින් දරුවාගේ චරිත සංවර්ධනය කරන්න ඔබට දායක වෙන්න පුළුවන් ප‍්‍රමාණය අතිමහත්. දහම් පාසලකින් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් ඒ ඒ ආගමික පසුබිම සම්බන්ධ දේවල්ම විතරක් නෙවෙයි. දහම් පාසලකින් චරිත සංවර්ධනයට, යහ පුරුදු ඉගෙන ගැනීමට, ඒවා භාවිත කිරීමට ලොකු අත්වැලක් ලැබෙනවා. ඉතින් අනිවාර්‍යයෙන්ම ඔබේ දරුවා ඔබට අවශ්‍ය නම් යහපත් පුරවැසියෙක් විදියට රටට දායාද කරන්නට දහම් පාසලත් සමග එක්කාසු කිරීම වැදගත් තීරණයක් බව කිව යුතුමයි

ඇගයීම දරුවන්ගේ හොඳ ලක්‍ෂණ තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට ඔවුන්ට රුකුලක් බව අමතක කරන්න එපා. යම් කිසි හොඳ දෙයකදී හොඳ/ධනාත්මක ප‍්‍රතිචාරයක් දරුවාට දක්වන්න ඔබට පුළුවන් නම් වගේම එය අගය කරමින් එය කතා කරන්නත් අනිත් පුද්ගලයින් ඉදිරියේ එය වර්ණනා කරමින් කතා කරන්නත් ඔබට පුළුවන් නම්  දරුවා නිතැතින්ම ඒ වගේ හැසිරීම් රටා ඉදිරියට පවත්වාගෙන යන්නට ලොකු රුකුලක් වනවා. 

අපිට පුළුවන් නම් දරුවන්ට අපේ ජීවිතයේ විවිධ වැදගත් සිදුවීම් අලලා අපි පාඩම් ඉගෙන ගත්ත තැන් අලලා දරුවන් සමග කතා කරන්නට එමගින් දරුවන්ට ගොඩක් දේවල් ඉගෙන ගත  හැකියි. අපිට පුළුවන් අපි චූටි කාලේ මේ වගේ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා, ඒ වගේ සිදුවීමකදී මම මේ විදියට තමයි කටයුතු කළේ, මට ඒකෙන් මේ වගේ ප‍්‍රතිචාරයක් ලැබුණේ යනාදි වශයෙන් දරුවා සමග ඔබට කතා කරන්න අවස්ථාව සලසා ගත්තොත් දරුවාගේ චරිතයසංවර්ධනය වෙනුවේ ඔබට අනිවාර්යෙන්ම ලොකු අත්වැලක් විය හැකියි. 

ඔබ, ඔබේ දරුවාට ඇහුම්කන් දෙන අම්මෙක් තාත්තෙක් නම් පාසලේ සිදුවන සිදුවීම්, නිවසේ සිදුවන සිදුවීම් පිළිබඳව නිතැතින්ම දරුවා හරහා ඔබට අවබෝධයක් ලබාගත හැකියි. දරුවා වැරදි ක‍්‍රියාමාර්ගයකට යොමු වී නම් ඔහුව නිවැරදි කරන්නටත් ඒවගේම දරුවා විසින් යම් කිසි හොඳ දෙයක් කර ඇත්නම් එය ඇගයීමටත් ඔබට අවස්ථාව හිමි වෙනවා. 

වැඩිහිටි අපි සැමවිටම වටහා ගත යුතු දෙයක් වන්නේ අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ කියන කරුණයි. ඔබ කෙහෙත්ම අකැමතියි  ඔබේ දරුවා හිරගෙදරක, මහමග දුක්විඳිනවා දකින්න. එසේ නම් ඔබ අද කළ යුත්තේ ඔබ අද දවසේ ගත යුතු නිවැරදි තීරණය ගැනීමයි. අද වන විට අපි අපේ ජීවිත තරගයට නොදැනුවත්වම අවතීර්ණ වෙලා. ඒ තරගය නිසා හොඳ පුරුදු/යහපත් ගති පැවතුම් අපිට අමතක වෙලා. ඒත් අපි ඒවා අපේ දරුවන්ට ඉගැන්නුවොත්  අනාගතයේ අපේ දරුවෝ ලස්සන ජීවිත ගත කරනවා දකින්නට හැකියි. 

ඉතින් අපේ දරුවන්ට පුංචි කාලයේදීම එකිනෙකාට ගරු කරන්න ඉගැන්නුවොත් අනිවාර්යෙන්ම ඔවුන් වැඩිවියේදී අනෙකාට ගරු කරන්න පුරුදු වෙනවා. ඉතින් මේ විදියට පුළුවන් නම් හරිදේ මොකක්ද වැරදි දේ කුමක්ද, කියලා දරුවන්ට කුඩා කාලයේම හඳුන්වලා දෙන්න, ක‍්‍රියාවෙන් පෙන්නලා දෙන්න දරුවෝ අනිවාර්යෙන්ම ඔබව අනුකරණය කරමින් ඔබට අවශ්‍ය මාර්ගයේ ගමන් කරාවි. කක්කුට්ටා ඇදේ යන ගමන් ඔවුන්ගේ දරුවන්ට කෙලින් යන්න කියලා හරි යන්නේ නැහැ. ඒක නිසා අපි ඉස්සෙල්ලා කෙලින් යන්න  ඕන. එහෙම වුණොත් අපේ පැටවු අපි පිටිපස්සේ කෙලින් එයි. 

 

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ භාෂා හා කථන ව්‍යාධිවේදී, ආචාර්ය නිමීර වීරරත්න මහතා 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here