පසුගිය පාස්කු ඉරිදා සිදු වුන අවාසනාවන්ත සිදුවීම කොහොත්ම සරලව හිතන්න අපිට බැහැ. ඒකට එක් හේතුවක් තමයි නැති වුන භෞතික සම්පත් අපිට කවදා හෝ දිනක නැවත උපයා ගන්න පුලුවනි. ඒත් දරුවන්ට අහිමි වුන දෙමව්පියන්…දෙමව්පියන්ට අහිමි වුන දරුවන් අතර තිබෙන ලේ , මස්, ඇටමිදුලු තුලට වැදුන බන්ධනය ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. ඒත් මේ කම්පනයසමග දරුවන් ජීවත්වීම එතරම් ගැලපෙන දෙයක් නොවෙයි.
වැඩිහිටියන්ගේ ජීවිතයේදී යම් යම් හැලහැප්පීම් සිදු වෙලා ඒ අත්දැකීම්වලට ඔවුන් මුහුණ දීමෙන් පන්නරය ලබා ගෙන සිටින පිරිසක්. ඒ නිසා නැවත කෙසේ හෝ පවතින ජීවිතයට අකමැත්තෙන් හෝ අනුගත විය යුතු බව ඔවුන් දන්නවා. නමුත් දරුවන් කියන්නේ ඒ වගේ වපසරියක අත්දැකීම් ඇති පිරිසක් නොවෙයි. ඒ නිසාම ඔවුන්ට නැවත නැගී සිටින්න පහසු නැහැ.මෙයින් අදහස් වෙන්නේ සිදු වුන සියල්ල අතීතයට එක් කරල හෙට වෙනුවෙන් ජීවත්වෙන්න කියන උපදෙස ඔවුන්ට දිය යුතුය කීම නොවෙයි. පවුලක තිබුන ශක්තිය නැති වීමේ කම්පනය පිටස්තර සිටින අපටත් දැනෙනවා නම් දරුවන්ට ඒ ගැන ඇති පසුබිම ගැන කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ නගා සිටුවීම බොහොම අසීරු කටයුත්තක්…
තමන්ගේ සමීපතයින් අහිමි වීමේ වේදනාව නිසා ඔවුන්ට ජීවිතය පවා එපා වෙන තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා මේ දරුවන් සමීපයේම සිටින්න දැන් කාලය ඇවිත්. සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ල එය හිතේ ඇති වී පැය ගනනකින් නැවත නැති වෙන මානසික තත්වයක් තිබෙන නිසා දරුවන් කිසිම විටෙක තනි කරන්න එපා. ඔවුන් සමීපයේම සිටින්න. එවිට එවන් සිතුවිල්ලක් ඇති වුනත් ඔබගේ අවධානයෙන් දරුවා මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා.
මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් දරුවන්ට ඔවුන්ගේ දුක තුනී වෙන තෙක් අඞන්න වැලපෙන්න ඉඩ දෙන්න. ඒ සදහා බාධා කරන්න එපා. කඳුල නිසා දුක දිය වෙන්න පුලුවනි. එහෙම නැතුව හිර කර ගෙන සිටියොත් අනාගතයේදී විවිධ මානසික ගැටළුවලට මුහුණ දීමට පුලුවනි.
හිරෝෂිමා බෝම්බ ප්‍රහාරයෙන් ජපානයේ දරුවනුත් අපේ රටේ වගේම මහත් වූ අසරණතාවයට පත් වුණා. එහිදී ඔවුන් දරුවන් මුල් කර ගෙන ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි.
ජපන් ජාතිකයින් දරුවන් වෙනුවෙන් සුදොකු , චෙස්, වැනි ක්‍රිඩාවන් වගේම දෑලිස වැන ගණිත ක්‍රියාකාරකම් හඳුන්වා දුන්නා. ඒ නිසා දරුවන්ගේ කාලය නිකරුනේ ගෙවුනේ නැහැ. අදික විවේකයටත් මානසික ප්‍රශ්න නැවත නැවත ආවර්ජනයට පරිසරය සකස් කරනවා. සුදොකු ක්‍රිඩාව නිසා තවත් පැත්තකින් මොළයටත් ව්‍යායාමයක් ලැබුණා. චෙස් ක්‍රිඩාව මගිනුත් දරුවන්ගේ මොළයට හොඳ ව්‍යායාමයක්. ඒ නිසා දරුවන්ගේ හිතේ පැවැති මානසික හිස්කම නොදැනීම නැති වී ගියා.
ඒ වගේම ජපානයේදී තවත් ක්‍රමයක් අනුගමනය කලා. ඔවුන් ළදරු පාසල් දරුවන්ටත් වැසිකිළි සහ කැසිකිලි පිරිසිදු කිරීමට උපදෙස් දුන්නා. මේ පුංචි පැටවුන්ට මේ වගේ කටයුතු කිරීම අපහසු යැයි ඔවුන් හිතුවේ නැහැ. ඒත් මේ දරුවන්ගේ ජීවිතය එතැනින් පටන් ගත්තා. මේ අපේ පාසලයි…කියන සංකල්පයෙන් පටන් ගත්තු හැඟීමෙන් දරුවන් පමණක් නොවෙයි, ජපානයත් ඉදිරියටම ගියා. ඉතින් අපේ දරුවන්ටත් ඉදිරියට යන අත්වැලට ශක්තිය අපේ වැඩිහිටියන් වෙතින් ලැබිය යුතුමයි
දරුවන්ගේ හිතේ හයිය අපිට සමාන මිණුමකින් මනින්න බැහැ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස්. වරක් එංගලන්තයේ හැරී කුමරු ඔහුගේ මව ඩයනා කුමරියගේ වියෝව ගැන කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ජීවිතයේ හිස්කම නිසා තමා මානසිකම බිඳ වැටුන බවත් ඒ නිසා මානසික උපදේශන පවා ලබා ගැනීමට සිදු වුන බවත්ය. පවුලේ බැදීමක් තමන්ගෙන් නොසිතූ අවස්ථාවකදී අහිමිවීම මතුපිටින් නොපෙනුනත් දරුවන්ට තදින්ම බලපාන්න පුලුවන්. ඒ නිසා දරුවෙකුගේ හැසිරීමේ යම් යම් වෙනස්කම් තිබෙනවා නම් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීමත් වැදගත්. එවිට දරුවාගේ කඩා වැටුන හිත නැවත ගොඩ නැගීමට අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා
Saru FM Media