ආරක්‍ෂක නි. ඇමැතිට එරෙහි විශ්වාසභංගය පිළිගන්න බැහැ – කථානායක දැනුම් දෙයි

0
7

ස්ථාවර නියෝගවල නෑ කියා විශ්වාසභංගය බැහැර කරන්න බැහැ – විපක්‍ෂ නායක

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කථානායකවරයා එසේ පැවසුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 32 දෙනකු විසින් පසුගිය අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන ලද යෝජනාව, පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව විශ්වාසභංග යෝජනාව නොගැළපෙන බවත් නිසි පරිදි පිළිවෙළකට එය සකස් කර නොමැති බවත් සඳහන් කළ කථානායකවරයා අදාළ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව සඳහන් කළේය. එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙසේද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව 2025.08.12 වන දින ඉදිරිපත් කරන ලද ‘විශ්වාසභංග යෝජනාව’ නම් යෝජනාව සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන්නට කැමතියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ ස්ථාපිත පාර්ලිමේන්තු භාවිතයන් සහ පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව මම හොඳින් සලකා බැලුවෙමි.

මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පොදු මන්ත්‍රී මණ්ඩලය, ඉන්දියාවේ ලෝක් සභාව සහ ඔස්ටේ්‍රලියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වැනි අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනයන්හි අනුගමනය කරන සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටි ද මම අධ්‍යයනය කළෙමි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 43 සහ 44 වගන්ති යටතේ, සාමූහික සහ තනි අමාත්‍ය වගකීම අමාත්‍ය මණ්ඩලයට පැවරේ. නියෝජ්‍ය අමාත්‍යවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු නොවන අතර වර්තමාන සන්දර්භය තුළ මෙම සභාවට සෘජු ව්‍යවස්ථාමය වගකීමක් දරන්නේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම පිළිගන්නේ විශ්වාසභංග යෝජනා සමස්තයක් ලෙස රජයට එරෙහිව ගෙන ඒමට හැකි බවත්, පූර්වාදර්ශය අගමැතිට හෝ තනි කැබිනට් අමාත්‍යවරයකුට සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා පිළිගනී. නමුත්, නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එවැනි යෝජනාවක් සඳහා විධිවිධාන නොමැත.

එබැවින්, අද එවැනි යෝජනාවක් පිළිගැනීමට සිදුවුවහොත්, එය ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තු පූර්වාදර්ශයන්ට පටහැනිව අනවශ්‍ය පූර්වාදර්ශයක් ස්ථාපිත කරනු ඇත.

ඒ අනුව, මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එහි වර්තමාන ස්වරූපයෙන් පිළිගත නොහැකි බවත් මම මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.

එහෙත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල වූ අතර එහිදී ඇති වූ සංවාදය පහත පරිදිය.

ගයන්ත කරුණාතිලක මහතා- අගෝස්තු මාසේ 12දා විපක්ෂ මන්ත්‍රීවරුන් ඔබතුමා මුණගැහිලා මේ විශ්වාසභංග යෝජනාව භාරදුන්නා. 19දා ඔබතුමා දැනුම් දීමක් කළා විශ්වාසභංගය ලැබුණු බවත් ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කරලා තීන්දුවක් දෙනවා කියලත්. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රැස්වීමේදී අපි මේ ගැන විමසූ විට ඔබ කිව්වා ලේකම් මණ්ඩලයේ වාර්තාවක් කැඳවලා තිබෙනවා කියලා. ඒ වගේම අධිකරණ ක්‍රියාවලියට මෙය බලපානවද කියා බලන්න නීතිපති උපදෙස් ගත් බව.

අපි දන්න තරමින් මේ වාර්තා දෙකම ඔබට ලැබිලා තිබෙනවා. ඕනෑම මන්ත්‍රීවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. ඒ වාර්තා දෙකේ අඩංගු කාරණා ගැන අපි දන්නේ නෑ. අපි දන්න විදිහට නීතිපති උපදෙස් දී තිබෙන්නේ නීතිමය බාධාවක් නෑ කියලයි. ලේකම් මණ්ඩලය දීලා තිබෙන්නේ මොකක්ද කියලා අපි දැනගත යුතුව තිබෙනවා. ඒ නිසා අපේ දැනගැනීමට ඒ වාර්තා දෙක සභාගත කරන්න.

කථානායක- මා කළ නිවේදනය වචනයක් වචනයක් පාසා පරිශීලනය කරන්න. මීට අමතරව පාර්ලිමේන්තු විවාද, කොමන්වෙල්ත්, යූකේ හවුස් ඔෆ් කොමස්, ලෝක් සභා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ අධ්‍යයනය කිරීමේ වාර්තා ලබා දෙන්න පුළුවන්. එකඟතාවයක් නොමැති නම් ඊට අනුව කටයුතු කරන්න. අර වාර්තා සභාගත කිරීම ගැන මම සලකා බලන්නම්.

විපක්ෂ නායක- ඔබගේ තීන්දුව ගැන අපේත් අදහස් කියන්න කැමතියි. ඔබ සඳහන් කළා විවිධ සම්ප්‍රදායන් ගැන සහ ඒවා ගැන සොයා බලා තීන්දුව ප්‍රකාශ කළා කිව්වා.

කථානායක- මේකට විවාදයක් දෙන්න බෑ.

විපක්ෂ නායක- විවාදයක් නොවෙයි.

කථානායක- ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තමයි නිවේදනය නිකුත් කළේ.

විපක්ෂය – විපක්ෂ නායකතුමාට කතා කරන්න දෙන්න. අපි විශ්වාසභංගයක් ගේනවා ඔබතුමාට විරුද්ධව. අපිටත් කියන්න තිබෙනවා ගොඩාක් දේවල්.

විපක්ෂ නායක- විවාදයක් නොවෙයි, අර්ස්කින් මේ, කවුල් ඇන්ඩ් ෂඩ්ඩර් සහ කීර්තිමත් මහ ලේකම්වරියක් ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසේකර මහත්මිය ඉදිරිපත් කළ සම්ප්‍රදායන් දෙස බැලුවාම නියෝජ්‍ය ඇමැතිවරයෙක් කියන්නේ විධායකයේ කොටසක්. එහෙම වෙනකොට ස්ටෑන්ඩින් ඕඩර්ස්වල සඳහන් වුණේ නෑ කියලා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කරන්න බෑ.

කථානායක- මා ඉදිරිපත් කළ නිවේදනය කියවන්න. එතකොට හරි.

විපක්ෂයෙන් ඝෝෂා. බය වෙන්න එපා මේක ගේන්න දෙන්න අනීතිය ක්‍රියාත්මක කරන්න එපා.

කරුණාකරලා අපටත් සවන් දෙන්න ඔබගේ ප්‍රකාශය පදනමක් ඇතුව ඉදිරිපත් කළා වගේම අපේ මතයත් අහන්න. නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග ගෙන ඒම ගැන ස්ථාවර නියෝගවල නිශ්චිත යමක් නොතිබුණත් ඒ නිශ්ශබ්දතාවයෙන් දැක්වෙන්නේ විශ්වාසභංගයක් ගේන්න බෑ කියන එක නොවෙයි. 45/3 ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංගයක් ගෙන ඒමේ අවස්ථාව තිබෙනවා. මේ සියල්ල දෙස බැලූ විට ගේන්න පුළුවන්. ඒ වගේම නීතිපති දුන් උපදෙසත්, ලේකම් මණ්ඩලය ලබා දුන් වාර්තාවත් අපට බලන්න ඕනා. ඒක සභාගත කරන්න. ඒක පරිශීලනය කරලා මේ සභාවට අපේ මතයත් කියන්න දෙන්න. නියෝජ්‍ය ඇමැතිවරයකුට විශ්වාස භංගයක් ගේන්නත් පුළුවන්. සෙන්සර් මෝෂන් (දොස් පවරන යෝජනාවක්) ගේන්නත් පුළුවන්.

සභානායක බිමල් රත්නායක මහතා – කථානායකවරයා නියෝගයක් දුන්නාට පසුව ඒ ගැන විවාදයක් කරන්න ස්ථාවර නියෝග අනුව ඉඩ නෑ. අපි ආණ්ඩුවක් ලෙස කියා තිබෙනවා මේ ගැන ඕනෑ වේලාවක විවාද කරන්න ලැහැස්තියි කියා. නමුත් ඒක ස්ථාවර නියෝගවලට අනුකූල ද කියා බලන එක කථානායකවරයාගේ වගකීම. ඔබතුමා තීරණය කරනවා නම් ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග අනුව බැහැ කියලා ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය. නැතුව මේ යෝජනාව ගැන අපට ප්‍රශ්නයක් නෑ.

පාර්ලිමේන්තුවට යම් දෙයක් ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් තිබෙනවා. එය අනුගමනය කරන්නේ නැතුව ඕනෑම දෙයක් මේකට ඇතුල් කරගන්න හදන එකට අපි විරුද්ධයි. ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග සහ කථානායකගේ නියෝගය අනුව ක්‍රියා කරන්න කියලයි අපි කියන්නේ. කථානායකගේ නියෝගය අනුව ක්‍රියා කරනවා නම් අපි ඕනෑම අවස්ථාවක මේක විවාද කරන්න ලැහැස්තියි. දැන් කථානායකතුමාට තර්ජනය කළා මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මේ විශ්වාසභංගය ගේන්න දුන්නේ නැති නම් කථානායකතුමාට විරුද්ධවත් විශ්වාසභංගයක් ගේනවා කියලා.

විපක්ෂය – ඔව් අපි ගේනවා තමයි.

කථානායකතුමා පත්වෙලා තිබෙන්නේ නිසි ඡන්දයකින්. එතුමා පරාජය කරන්න මේ අයට බෑ. මේකද විපක්ෂ නායකගේ ස්ථාවරය? ඒ තර්ජනය ද ස්ථාවරය? කථානායකවරයාගේ තීන්දුවට එරෙහිව විවාදයක් ගේන්න අවස්ථාවක් නෑ.

නිසාම් කාරියප්පර් මහතා- විපක්ෂය අත්සන් කළ විශ්වාසභංග යෝජනාව කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව හංගලා සාමාන්‍ය නිවේදන යටතේ ලබාදීම වැරදියි. ඒ ගැන ඔබ පෙර දැනුම්දීමක් නොකිරීම වැරදියි.

කථානායක- ඔබේ ප්‍රකාශය වැරදියි.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා – සභානායකතුමා කිව්වා මම කථානායකතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කිව්වා කියලා. විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රකින්නේ නැත්නම් අපිට ඒ දේ කරන්න වෙනවා. විශ්වාසභංගයක් පළමුවෙනි වතාවට තමයි මේ ප්‍රතික්ෂේප වුණේ. ඓතිහාසිකයි. ඒ විතරක් නොවෙයි විපක්ෂ නායකවරයකුට විරුද්ධවත් 1978 දී විශ්වාසභංගයක් ගෙනත් තිබෙනවා. ඉන්දියාවේ හිටපු උප ජනාධිපතිවරයකුට විරුද්ධවත් විශ්වාසභංගයක් ගෙනත් තිබෙනවා.

ආරක්ෂක කටයුතු ගැන පාර්ලිමේන්තුවේ ඇමැතිවරයෙක් නෑ. ඇමැතිවරයා ජනාධිපති. පාර්ලිමේන්තුවේ එය නියෝජනය කරන්නේ නියෝජ්‍ය ඇමැතිවරයායි. ඒ නිසා මේක සලකා බලන්න.

චමින්ද විජේසිරි මහතා- ඔබතුමාගේ අභිමතය කියන කාරණාව හැමදේකටම නෑ. ස්ථාවර නියෝග 78, 79 සහ 80 අනුව ඔබතුමා ක්‍රියා කරන්නේ නැත්නම් කරන්න තියෙන්නේ කථානායකට විරුද්ධවත් විශ්වාසභංගයක් ගේන එක. හැමදේම ඔබතුමාගේ අභිමතය අනුව කරන්න බෑ. අපි ගෙනාපු යෝජනාව ඔබතුමා අනීතිකව පාවිච්චි කරනවා.

අජිත් පී. පෙරේරා මහතා- ඔබතුමාගේ නිවේදනයේ විවිධ දේවල් ගැන කිව්වා. හැබැයි කිසිම තර්කයක් නෑ. ඔබතුමාට නීතිපතිවරයාගේ මතය ලැබුණා. එහි කියවුණේ නීතිවිරෝධී කිසිවක් මෙහි නෑ කියන එක. ඔබට ලේකම් මණ්ඩලයේ මතය ලැබුණා, එය අපි දන්නේ නෑ. ඔබ කිව්වේ ඒක බැලුවා. මේක බැලුවා. ඒ නිසා මම ප්‍රතික්ෂේප කරනවා කියලා. මේ තරම් බරපතළ කාරණයක් ගැන ඒ තරම් සංක්ෂිප්ත වෙන්න බෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here