අතීතයේ දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහාය ලබාගත් බවට කරුණු හෙළිව ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මීරිගම පොලිස් ස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන කිසිවෙකුටත් තර්ජනයක් ඇති වීමට ඉඩක් තබා නොමැති බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේක වර්ධනය වූ දිශානතියක් තියෙනවා. මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වුණේ දේශපාලන අනුග්‍රහය සහිතව. මේකට උදාහරණ අවශ්‍ය නෑ දේශපාලකයෝ තමා මේක වර්ධනය කළේ. පාලන බලය පවත්වාගෙන යන්න පාතාලය උපයෝගී කරගත්තා. සංවිධානාත්මක අපරාධකරුවෝ උපයෝගී කරගත්තා. මත්ද්‍රව්‍ය සල්ලි භාවිත කළා. දැනට අනාවරණය වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා සමහර දේශපාලන පක්ෂ රැස්වීම් සංවිධානය කටයුතු සඳහා යොදා ගත්තා කියලා. ඉතිහාස පසුබිම මත තමා මේක බලන්න ඕනේ. ඒ නිසා ක්‍රමක් ක්‍රමයෙන් දේශාපලන සබඳතා ඉවත් කරලා තියෙනවා. දැන් මේක පාලනය කරන්න පොලීසිය කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් එකම කණ්ඩායමක්. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරමේදී ඇති වෙන ගැටලු සහ ආරවුල් හරහා මේ ඝාතනයන් සිද්ධ වෙනවා. අපි ඝාතනයන් අනුමත කරන්නේ නෑ. අපි උත්සාහ කරනවා ඒ ඝාතන පාලනය කරන්න. සිද්ධි සිද්ධි වෙනවා. පාතාල කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තියෙනවා විදේශගතව. රතු නිවේදන මත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ගමන් මේ සිද්ධි වෙන්නේ. සංඛ්‍යා ලේඛන බලද්දි හැම වසරකම මෙවැනි සිද්ධි වෙලා තියෙනවා. මේක සමාජය එක්කම පාලනය කරන්න කටයුතු කරනවා.”
මේ අතර සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, එම පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් කර ඇති බවය.
ඉදිරි සති දෙක ඇතුළත එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, අනතුරුව තවත් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
Saru News













