දෙල් වෙනුවෙන් තහංචි

0
12


කහපාටට පැහිලා තිබෙන දෙල් ගහේ ගෙඩි දැක්කාම ඇයට හිතුනේ දෙල් වෑංජනයක් කන්න ඇත්නම් තියන සිතුවිල්ලයි. ඒත් දරු පැටියාගේ මුහුණ දකින්න දැන් බොහොම ආසන්න කාලයක සිටින නිසා ඇයට දෙල් කන්න වැඩිහිටියන්ගෙන් අවසරයක් නැහැ.”දෙල් උෂ්ණයි…මේ දවස්වල කන්න හොඳ නැහැ….” ඒ වගේම මීට අවුරුදු තුනකට ඉස්සර ලොකු පුතාට කිරි දෙන කාලයේදීත් දෙල් කන්න අවසර තිබුනේ නැහැ. එතකොට කිව්වේ කිරි දෙන අම්මා දෙල් කෑවොත් දරැවාට රත ගෙඩි එන බවයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් දෙල් වෙනුවෙන් ගැබ්බර අම්මාට වගේම කිරි දෙන අම්මාටත් තහංචි තිබුනා. එදා දවසේ තිබුන මේ සම්මත අදහස් තුළ විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයකුත් තිබුනා. ඒ නිසා එදා අම්මලාගෙන් ලැබුන තහංචි අපිට යල් පැන ගිය බව කියමින් ඉවත දාන්නත් බැහැ.කොහොම වුනත්…,

අපි දෙල් තම්බලා ආහාරයක් විදිහට අනුභව කරනවා. මෙහිදී පොල් එකතු කරගන්නවා. එයින් දෙල්වල තිබෙන උෂ්ණ බව අඩුවෙනවා. ඒත් සමහර උදවිය මෙතැනදී එක් වැරැද්දක් කරනවා. ඔවුන් දෙල් ආහාරයට ගන්න කොච්චි සම්බෝලයක් හදා ගන්නවා. කටගැස්මක් විදිහට නම් බොහොම අපූරුයි. ඒ වුනාට කොච්චි යොදා ගත්තාම දෙල්වල ගිනියම් බව තවත් වැඩි වෙනවා. කටගැස්මක් විදිහට නම් ඉතාම රසයි.

ඉස්සර කාලයේ පටන්ම දෙල් ව්‍යංජනයක් පිසින විට නිවිති කොළ එක් කර ගත්තා. නිවිතිවල සිරුර නිවන හැකියාව තිබෙනවා. ඒ වගේම දෙල් වෙනුවෙන් යහමින් කිරි එකතු කර ගැනීමත් හොඳයි. පොල්කිරි වලිනුත් දෙල්වල ගිනියම් බව අඩු වෙනවා. සමහර උදවිය දෙල් පිසගෙන එයට දෙහි යුෂ එක්කරගන්නවා. එයින් අපූරු රසයක් ලැබෙනවා වගේම දෙල් වල ගුණ අවශෝෂනය කර ගැනීම පහසුයි.

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල් කීපයක්ම තිබෙනවා.හැම ආහාරයක්ම අපි ලබා ගනිද්දී එහි අගුණ බව අඩුකරන්න, ගුණය වැඩි කරන්න විවිධ පිලිගැනීම් තිබෙනවා. දෙල් ව්‍යංජනයක් පිලියෙල වුනා නම් කෙලවල්ලෝ , බල, හුරුල්ලෝ වැනි උෂ්ණ මාලු ආහාරයට ගැනීම සුදුසු නැහැ.ගැස්ට්‍රයිටිස් තිබෙන අයට දෙල් නිසා රෝග තත්වය වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා පවුලේ අම්මා විදිහට දෙල් පිලියෙල කරනවා නම් අතුරු ව්‍යංජන මගින් දෙල්වල අගුණ නැති වීම වැදගත්.

දෙල් කල් තබා ගන්න පුලුවන්.දෙල් වාරයට ගස් පල්ලේ කුණුව යන දෙල් අවාරයට ආහාරයට ගන්නා විදිහට සකස් කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව කපලා ලුණු ස්වලපක් එක් කරලා වසා තබන්න. එය යාන්තමින් මෙලෙක් බවට පත් වුනාම හොදින් හිරු රැස් ලැබෙන අව්වක වේලාගෙන සුලං නොවදින සේ අසුරා තබන්න. අවාරයට මේවා පිස ගන්න පුලුවනි. උයන්න පෙරාතුව පොගවා ගන්න. ඊට පසුව සාමාන්‍ය විදිහට තුනපහ එක් කරල උයා ගන්න.

රසකැවිල්ලක් විදිහටත් දෙල් පිළියෙල කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව ලියා ගෙන තෙලෙන් බදින්න. ඊට පසුව සීනි උකු ද්‍රාවනයක් විදිහට උනු කර ගෙන මෙම බැදගත් දෙල් එහි දවටන්න. සුලං නොවදින විදිහට අසුරා ගෙන රස බලන්න පුලුවනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here