වැඩි ඡන්ද 150 කින් : සංශෝධන රහිතව
පක්‍ෂව ඡන්ද 151ක්
චාමර පමණක් විරුද්ධ වෙයි
කථානායක ඊයේම පනත සහතික කරයි
ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත ඊයේ (10දා) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සංශෝධන රහිතව සම්මත කෙරිණ. එහිදී පනතට පක්ෂව ඡන්ද 151ක්ද, විපක්ෂව ඡන්ද 01ක්ද ප්‍රකාශ විය. ජාතික ජන බලවේගය ආණ්ඩු පක්ෂය සමග යාපනය ස්වාධීන මන්ත්‍රී වෛi රාමනාදන් අර්චුනා මහතා ද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පමණක් පනතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. එම පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් සභාවේ සිටියේ නැත.
පනත පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂවල මන්ත්‍රීන් සභා ගැබෙන් නික්ම ගොස් තිබිණ.
මෙම පනත සම්බන්ධයෙන් පැවැති විවාදය අවසානයේදී සභානායක බිමල් රත්නායක මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටි බැවින් පනතට ඡන්ද විමසීමක් සිදු කිරීමට කථානායකවරයා කටයුතු කළේය. කෙසේවෙතත් මෙම විවාදයේදී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පුතුන් වූ සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අදහස් දැක්වූවේ නැත. ඔවුන් නියෝජනය කරන සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ හිටපු ජනාධිපතිවරුන්ට යම් වරප්‍රසාද ප්‍රමාණයක් හිමිවිය යුතු බවය.
පනත සම්මත කළ පසුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට මෙන්ම හේමා ප්‍රේමදාස මහත්මියට ද මෙතෙක් ලැබුණු නිල නිවාස හෝ එම මාසික දීමනා මෙන්ම ඔවුන්ගේ ලේකම්වරුන්ගේ සියලුම පහසුකම් ද ඉවත් කෙරේ.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට මෙතෙක් ලද මාසික විශ්‍රාම වැටුප ද අහිමි වේ.
කෙසේ වෙතත් හිටපු ජනපතිවරයන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් නව පනතින් කිසිවක් දක්වා නොමැතිවීම විශේෂත්වයකි.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය ඊයේ හෝ මෙම සතියේ විවාදයට ගැනීමට නියමිත නොවූ නමුත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා විසින් ඊට පෙර දින (පෙරේදා) ප්‍රකාශයට පත් කළ බැවින් මෙය හදිසියේම විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණි.
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පනතට සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව මෙය 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස එය ඊයේ සිටම බලාත්මක වනු ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන
Saru FM Media