අවධමනය අවසන් උද්ධමනය ඉහළට..

0
7

මෙතෙක් පැවැති අවධමන තත්ත්වයේ අවසානය සනිටුහන් කරමින් 2025 අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ධන අගයකට පත්ව තිබේ. මේ අවධමන තත්ත්වය අඛණ්ඩව මාස 11 ක් පැවති අතර, එම අවධමන තත්ත්වයෙන් පසුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජූලි මාසයේ පැවති සියයට 0.3ක අවධමනයට සාපේක්ෂව, 2025 අගෝස්තු මාසයේ දී සියයට 1.2 ක ධන අගයක් වාර්තා කර ඇත. මේ කරුණු හරිහැටි තේරුම් ගැනීමට නම් ‘උද්ධමනය’ සහ ‘අවධමනය’ යන්නෙහි නිවැරදි අදහස දැනගෙන සිටිය යුතු වේ. උද්ධමනය යනු ආර්ථිකයක සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යෑම ලෙස ඉතා සරලව හඳුන්වා දිය හැකිය. උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීම බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යමින් තිබේ. ඒ නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑම නොව සමස්තයක් ලෙස මිල මට්ටමේ ඉහළ යෑම බව තේරුම් ගැනීම වැදගත් වේ. එසේම මේ අනුව ‘අවධමනය’ යනු එහි ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් ‘අවධමනය’ යනු සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්‍ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය සහ අවධමනය ඇස්තමේන්තු කළ හැකිය.

ආහාර උද්ධමනය 2% දක්වා ඉහළට

ඉකුත් අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 1.2 ක ධන අගයක් වාර්තා කර ඇත. මේ අනුව කලින් සඳහන් කළ පරිදි මෙතෙක් පැවති අවධමන තත්ත්වයේ අවසානය ද සටහන් වී ඇත. එසේම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 1.5 සිට 2025 අගෝස්තු මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය. 2024 සැප්තැම්බර් මාසයේ සිට ඍණ අගයක පැවැති ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ද, 2025 ජූලි මාසයේ පැවති සියයට 1.2 ක අවධමනයට සාපේක්ෂව 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.8ක ධන අගයක් වාර්තා කර ඇත. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2025 ජූලි මාසයේ වාර්තා වූ සියයට 1.6 සිට 2025 අගෝස්තු මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉදිරි කාලයේ උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

ඉදිරි කාලය තුළ දී උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස්, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව සියයට 5 ඉලක්කය කරා ගමන් කරනු ඇති බවට පුරෝකථන මගින් පෙන්නුම් කෙරෙන බව මහ බැංකුව කියයි.

මුදල් ප්‍රතිපත්තිය සහ මිල ස්ථායීතාව

මහ බැංකුව කරන්නේ රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය එනම්, පොලී අනුපාතිකය සහ මුදල් ප්‍රමාණය (එනම් මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි. 2023 සැප්තැම්බර් 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක විය. ඒ සමග මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගනු ලබයි. මහ බැංකුවේ ප්‍රාථමික අරමුණ වන දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ නම්‍යශීලී උද්ධමනයක් ඉලක්ක කොටගත් රාමුව හා අනුකූලව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී තිබේ.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරන්නේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) මගිනි. නැගී එන ආර්ථික වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන ඇගයීම සහ දේශීය මිල ස්ථායිතාව තහවුරු කිරීමේ මහ බැංකුවේ මූලික අරමුණ ඉටු කර ගැනීමේ අරමුණින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බැලීම සඳහා මුදල් ප්‍රතිපත්තියේ සුදුසු අනාගත දිශානති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙකී මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරයයි. (මේ තොරතුරු මහ බැංකුවේ වෙබ් අඩවියේ සඳහන් වේ.)

වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුව

ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායිව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ දී සිය මුදල් ප්‍රතිපත්තිය නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ක්‍රියාත්මක කරනු ලබන බව මහ බැංකුව කියයි. රජය සහ මහ බැංකුව අතර ඇතිකර ගත් වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුකරණ ගිවිසුම 2023 ඔක්තෝබර් 05 වැනි දින රජයේ ගැසට් පත්‍රයෙහි පළ කර තිබේ. දැනට නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් ක්‍රියාත්මකය. එම රාමුව යටතේ සිදු කෙරෙන මුදල් ප්‍රතිපත්තිය මගින් මූර්ත ආර්ථිකයට අවම බලපෑමක් ඇති වන පරිදි උද්ධමන ඉලක්කයක් වටා උද්ධමනය ස්ථායිව පවත්වා ගැනීමට අරමුණු කරන බව ද මහ බැංකුව කියයි. වර්තමානයේ දී, මහ බැංකුව සහ මුදල් අමාත්‍යවරයා අතර ඇතිකර ගත් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම (ගැසට් නිවේදනය) මගින් තීරණය කර ඇත්තේ උද්ධමනය සියයට 5 ක මට්ටමේ පවත්වා ගෙන යෑමටය. එහෙත් පසුගිය කාලයේ මේ ඉලක්කයෙන් බැහැරව උද්ධමනය ඍණ තත්ත්වයට පත් වූ අතර මේ ගැන මහ බැංකුවට පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කිරීමට ද සිදු විය.

2024 වසරේ සැප්තැම්බර් මස සිට උද්ධමනය ඍණ අගයක එනම් අවධමන තත්ත්වයක් මේ රටේ පැවතුණි. මෙම අවධමන තත්ත්වය සඳහා බලශක්ති සහ ප්‍රවාහන සම්බන්ධ මිල අඩු කිරීම් මෙන්ම පෙර වසරවලට සාපේක්ෂව ආහාර මිල ගණන් අඩු වීම ද සැලකිය යුතු ලෙස දායක වූ බව මහ බැංකුව අගෝස්තු මස නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ. එහි මෙසේ ද සඳහන් වේ.

“ප්‍රධාන වශයෙන්ම ආහාර උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් 2025 වසරේ මාර්තු මස සිට අවධමන තත්ත්වය ලිහිල් වෙමින් පවතින අතර, වසර තුළ බලශක්ති මිල ගණන් ඉහළ නංවමින් සිදු කළ සංශෝධනයන් ද මෙයට දායක විය. දැනට පවතින කෙටිකාලීන අවධමන කාලපරිච්ඡේදය නිෂ්පාදකයන්ගේ හැසිරීමට හෝ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර බලපෑමක් සිදු කර නොමැති අතර, එය ගෘහ ඒකකවල ජීවන වියදම් බර යම්තාක් දුරකට ලිහිල් කිරීමට දායක වී ඇත. 2025 වසරේ තෙවන කාර්තුවේ දී අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇත. මැදිකාලීනව, උද්ධමන ගමන්මගෙහි තාවකාලික ඉහළ යෑම් ඇති වුවත්, උද්ධමනය 5% ඉලක්කය ආසන්නයේ ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ. වර්තමානයේ පහළ ධන අගයක පවත්නා මූලික උද්ධමනය, ක්‍රමයෙන් ඉහළ ගොස් මැදි කාලීනව ස්ථාවර වනු ඇතැයි අපේක්ෂිතය. උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑම හෝ පහළ යෑම සඳහා බලපෑ හැකි අවදානම් පවතී. කෙසේ වෙතත්, ඉදිරි කාලයේ දී උද්ධමන පුරෝකථන සාක්ෂාත් වීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුව වඩාත් තුලිත ඉදිරි දැක්මක් සපයයි. ආර්ථිකයේ ඉල්ලුම් පදනම් කරගත් උද්ධමන පීඩන අඩුවීම මධ්‍යයේ මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගත්තේය. ආර්ථිකයේ සියලුම ප්‍රධාන අංශ ආවරණය වන පරිදි පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රසාරණය වේගවත් කිරීමට පහසුකම් සලසමින් වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වී ඇත.”

මේ වාර්තාවේ සඳහන් වූ පරිදිම කෙටිකාලීන අවධමන තත්ත්වය අවසන් වී ධන උද්ධමනයක් වාර්තා වී ඇත. එම අවධමන තත්ත්වයට හේතු ද මහ බැංකුව විසින් එහි සඳහන් කර තිබේ. එසේම උද්ධමන ඉලක්කයෙන් පිට පැනීම රටේ ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර බලපෑමක් සිදු කර නොමැති බව පෙන්වා දී ඇති මහ බැංකුව තවදුරටත් කියන්නේ ලබන වසරේ (2026) මැද භාගයේ දී සියයට 5 ක ඉලක්කගත මට්ටමට උද්ධමන ළඟා වනු ඇති බවයි.

විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය

ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ බලවත් අවිනිශ්චිතතා උද්ගතව ඇත. එසේ වුවත් මේ වසරේ (2025) මේ දක්වා කාලයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය හොඳ තත්ත්වයක තිබේ. එනම් එම අංශය එම අවිනිශ්චිතතා හමුවේ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අපනයන ආදායමට සාපේක්ෂව ආනයන වියදම් ඉහළ යමින් වෙළෙඳ හිඟය වර්ධනය වෙමින් තිබේ. මේ දිනවල ඉලෙක්ටි්‍රක් වාහන ඇතුළුව නොයෙකුත් වර්ගයේ අලුත් අලුත් රථවාහන මහ පාරේ බහුලව ධාවනය වනු දැකිය හැකිය. මෙරට මෝටර් රථ වාහන ආනයනය මෙසේ ඉහළ යෑම ද ආනයන වියදම් වැඩිවීමට හේතු වී ඇත. මෙලෙස ආනයන ඉල්ලුම පුළුල් වුවද වෙනත් විදේශ විනිමය ඉපැයුම් වර්ධනය වෙමින් තිබේ. මේ අනුව සංචාරක පැමිණීම් වර්ධනය වෙමින් සංචාරක ඉපැයුම් වර්ධනය වී තිබේ. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන වාරිකය ලැබීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පමණක් අවප්‍රමාණය විය. අප මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ, 2022 වසරේ අප්‍රේල් 12 වැනිදා රටේ සියලුම ණය ගෙවීම් අත්හිටුවීමට එවකට රජය ක්‍රියා කළේ නැත. ඒ නිසා තෝරාගත් ණය ගෙවීම් අත්හිටුවීම හැර අනෙකුත් ණය සේවාකරණ අවශ්‍යතා රජය විසින් සපුරාලමින් තිබේ. ඒ අතරම රටේ විදේශ සංචිත මට්ටම ද වර්ධනය කරගත හැකිව ඇත. ඒ අනුව දළ නිල සංචිත මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට වඩා ඉහළ මට්ටමක පවත්වා ගනිමින් තිබේ. එහෙත් 2028 වසර වන විට මහ බැංකුව සතු විදේශ සංචිත මට්ටම තවත් සැලකිය යුතු ලෙස වර්ධනය කරගත යුතුව ද තිබේ. මේ නිසා තවදුරටත් අයිඑම්එෆ් ණය වැඩසටහන ප්‍රකාරව එම ගමන් මාර්ගයේ අවශ්‍ය ඉලක්ක හා කොන්දේසි සපුරමින් ගමන් කිරීමට රජයට සිදුවෙනු ඇත.

අපේක්ෂිත ආර්ථික වර්ධන මාර්ගය

ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වුවත් ජනතාව තාමත් සිටින්නේ අමාරුවෙන් බව අප නොයෙක් විට සඳහන් කර ඇත. ආර්ථික අර්බුදය හමුවේ, බඩු මිල වට කිහිපයකින් වැඩි වී, උද්ධමනය සියයට 70 කට අධිකව විශාල ලෙස ඉහළ ගොස් ජනතාවගේ ජීවන වියදම වේගයෙන් වර්ධනය වූ බව අප දනිමු.

එහෙත් එයට සාපේක්ෂව ජනතාවගේ ආදායම් මාර්ග පසුගිය කාලයේ වර්ධනය වී නැත. ඒ නිසාම බොහෝ දෙනෙක් දුප්පත්කමට ද ඇද වැටී ඇත. එහෙත් මේ දුප්පත්කම අස්වැසුම ලබා දී හෝ වෙනත් සහනාධාර ලබා දී විසඳිය හැකි දෙයක් නොවේ. ඒ සඳහා අප සිතන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය වේගවත් කරගෙන ඉහළ ආර්ථික වර්ධන ගමන් මාර්ගයක් වෙත පිවිසිය යුතුව තිබේ. ඉදිරි ආර්ථික වර්ධන අපේක්ෂා ගැන මහ බැංකුව මෙසේ කියයි.

“2025 වසරේ මේ දක්වා කාලයේ දී දක්නට ලැබුණු වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, ඉදිරි ආර්ථික දර්ශක මගින් පිළිබිඹු වන පරිදි කෙටි කාලීන ආර්ථික වර්ධනය අපේක්ෂිත වර්ධන මාර්ගය ඔස්සේ ගමන් කරනු ඇත. ප්‍රමාණවත් පරිදි ණය ප්‍රසාරණය වීම, සමස්ත ඉල්ලුම යථා තත්ත්වයට පත් වීම, ව්‍යාපාරික විශ්වාසය වැඩි දියුණු කෙරෙන ස්ථාවර ප්‍රතිපත්ති මෙන්ම ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලු විසඳීම සඳහා අඛණ්ඩ ප්‍රතිපත්තිමය ප්‍රයත්න මෙම වර්ධන ප්‍රවණතාවට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.”

ආර්ථිකයේ ඉදිරි දැක්මට බලපෑම්

දැන් තිබෙන්නේ අපේ ආර්ථිකයේ ඉදිරි දැක්ම වෙනස් කිරීමට බලපෑම් සිදු කළ හැකි ජාත්‍යන්තර ආර්ථික පරිසරයකි. එනම් වේගයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳ තත්ත්වය, ගෝලීය ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ උද්ගත වන භූ දේශපාලනික අර්බුද ආර්ථිකයේ ඉදිරි දැක්ම වෙනස් කිරීමට හේතු විය හැකිය. මේ නිසා මැදිකාලීනව ආර්ථික වර්ධනය පවත්වා ගෙන යෑම සහ ආර්ථිකයේ සෑම පාර්ශ්වයකටම සමානව ප්‍රතිලාභ හිමිවන බව සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමග වර්ධනය ඉහළ නැංවීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව මහ බැංකුව සඳහන් කරයි. මෙහි ආර්ථිකයේ සෑම පාර්ශ්වයකටම සමානව ප්‍රතිලාභ හිමිවන බව සහතික කර ගැනීම යන්න ඉතාමත් වැදගත් සඳහනක් බව කිව යුතුමය.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here