බලපෑම් නැති පොලිසිය අපරාධ දුරු කරන බව අපට ෂුවර් ය

0
8

ලංකාවේ කුඩු බිස්නස් එකේ පරිහානිය උදෙසා පොලිසිය ආරම්භ කර ඇති සටන බෙහෙවින් උත්කෘෂ්ට බව අපගේ හැඟීම වේ. හැබැයි මෙසේ ක්‍රියාත්මක වීම සඳහා ආණ්ඩුවේ අවසරය පොලිසියට අවශ්‍ය ය. කුඩුකාරයන් ඉස්සරහ ආණ්ඩුව ඇඹරෙන්නට පටන් ගත්තොත් ඒ ඇඹරිල්ල ඒ ආකාරයෙන්ම ඇඹරෙන්නට පොලිසියට සිදු වේ. මෙතෙක් කාලයක් ආණ්ඩු බොහොමයක් යටතේ මේ රටේ කුඩු කර්මාන්තය සහ පාතාල කර්මාන්තය යන විනාශකාරී සාධක දෙක ඉදිරියේ විවිධ ආණ්ඩු ඇඹරෙන හැටි අපි දැක ඇත්තෙමු. සමහර විට ලොකු කුඩු මුදලාලි කෙනකු නොව සාමාන්‍යයෙන් එදා වේල උපයාගෙන කුඩු ගසන පුද්ගලයා දක්වා වූ ඕනෑම එකෙකු අත්අඩංගුවට ගත් විට එම වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ටත් එම වැටලීමට ඕඩර් ලබාදුන් උසස් පොලිස් නිලධාරීන්ටත් කිලිනොච්චිය, ඕමන්තේ, පේදුරුතුඩුව වැනි පොලිස් ස්ථානවලට මාරු ලැබිණ. මේවාට විරුද්ධව කොතරම් කතා කළත් කිසිදු ප්‍රයෝජනයක් සිදුවුණේ නැත. 2015 දක්වා මේ රටේ තිබූ ආණ්ඩුව කුඩු වැටලූ නිර්භීත පොලිස් නිලධාරියකුට වෙනත් පොලිසියකට මාරුවක් ලබා දුන්නේ ය. එම නිලධාරියාට සේවය සඳහා අලුත් පොලිසියට යෑමට තිබුණේ කුඩු මුදලාලිලා පේළියක් පදිංචි වී සිටින පාරක් දිගේ ය. මේ නිලධාරියාට වාහනයක් තිබුණේ නැත. එම පාරේ බස් ගමන් කළේ ද නැත. ඒ නිසා එම නිලධාරියා පයින්ම ගොස් සේවයට වාර්තා කළේ ය. අදාළ ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ගේ අභිප්‍රාය වූයේ පාර දෙපැත්තේ පදිංචිව සිටින කුඩු මුදලාලිලා ලවා පෙර කී පොලිස් නිලධාරියාට වෙඩි තැබීමට සැලැස්වීම ය. කුමක් හෝ හේතුවක් නිසා එම කුඩු මුදලාලිලා අදාළ නිලධාරියා හට වෙඩි තැබුවේ නැත. දිනක් දිවයින කර්තෘ මණ්ඩලයට පැමිණි පෙර කී පොලිස් නිලධාරියා තමන්ට අත්වූ ඉරණම ප්‍රකාශ කළේ ය. ඒ මොහොතේ දී ඔහුගේ ඇස්වල කඳුළු තිබෙනු අපි දුටුවෙමු. මේ සිද්ධිය ගැන අපි කතුවැකියක් ද ලිව්වෙමු. යම් හෙයකින් කුඩු මුදලාලිලා මේ නිලධාරියාව ඝාතනය කළොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව අපි සඳහන් කළෙමු. ඉන් ස්වල්ප දිනකට පසු මේ නිලධාරියාට වෙනත් පොලිසියකට මාරුවක් ලැබිණ. එහෙත් තවත් ස්වල්ප කාලයකට පසු කුඩ්ඩෝ පිරිසක් ඔහුට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. ඉස්පිරිතාලවල දොස්තරලා මහන්සි නොවන්නට ඔහු අද අඩි හයක් වළපල්ලේ ය.

මේ ආණ්ඩුව එවැනි පහත් තත්ත්වයකට පත් නොවීම ගැන අප තුළ විශාල සතුටක් මෙන්ම ගෞරවයක් ද තිබේ. මේ ආණ්ඩුව තරම් කුඩු ඇල්ලූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නොවීමට ඉඩ තිබේ. පසුගිය දිනක පොලිසිය විශාල මත්ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක් වැටලුවේ ය. අයිස් නමැති රසායනික මත්ද්‍රව්‍ය සෑදීමට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් එම කම්හලේ තිබිණ. මේ අයිස් කර්මාන්ත ශාලාවේ චෙයාර්මන් ලෙස කටයුතු කරන්නේ කෙහෙල්බද්දර පද්මේ ය. ඔහු හෙරොයින් නිෂ්පාදනාගාරයක් ලංකාවේ ඇති නොකොට අයිස් නිෂ්පාදනාගාරයකට යොමු වුණේ ඇයි? පිරිපහදු කළ අබිංවලින් හෙරොයින් සාදනු ලැබේ. මේ සඳහා අබිං ලබා ගැනීමට පොපි නමැති ගස් වර්ගය වගා කර ඒවායේ තිබෙන මල්වල කිරි ලබාගත යුතු ය. එය දුෂ්කර ව්‍යායාමයකි. ලංකාවේ දේශගුණයට පොපි වගාව නොගැළපේ. එම වගාව සුදුසු වන්නේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වැනි වියළි නමුත් සීතල දේශගුණයක් තිබෙන රටවලට ය. අබිං යනු කාබනික මත්ද්‍රව්‍යයක් නිසා එහි මිල ඉතා වැඩි ය. එහෙත් අයිස් මත්ද්‍රව්‍යයේ මිල ඉතාම අඩු ය. බැලූ බැල්මට අයිස් මත්ද්‍රව්‍ය පෙනෙන්නේ තුනී වීදුරු කැබලි ලෙස ය. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ මෙතැම්ෆෙටමයින් ය. මෙය 100% ක්ම කාබනික නොවන කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයකි. මේ රසායන ද්‍රව්‍යයට අමතරව තවත් රසායනික ද්‍රව්‍ය කිහිපයක් අයිස් සෑදීම සඳහා යොදාගනී. ඒවායේ නම් අප මෙහි නොලියන්නේ මේ රටේ සිටින ඇතැම් මෝඩයන් පිටකොටුවේ කෙමිකල් කඩවලට ගොස් එම රසායනික ද්‍රව්‍ය මිලට ගෙන අයිස් සෑදීමට ඉඩ ඇති නිසා ය. කෙහෙල්බද්දර පද්මේගේ අයිස් කන්ටේනර් ඇල්ලුවේ රොහාන් ඕලුගල විසිනි. ඒ සඳහා අවශ්‍ය බලය සහ නිදහස මේ ආණ්ඩුව විසින් සහකාර පොලිස් අධිකාරි ඕලුගලට ලබාදී තිබේ. අවංක පොලිස් නිලධාරීන්ට අවශ්‍ය බලය සහ නිදහස ලබාදුන් විට ඔවුහු පගා ගැසීමෙන් වැළකී තම ඩියුටිය හරියටම කරති. වලානේ පිහිටි දූෂණ මර්දන ඒකකය ද එසේ නිර්භීත ලෙස ක්‍රියාකරන පොලිස් ඒකකයකි. හොර සල්ලි අච්චු ගැසීමේ සිට කුඩු බිස්නස් හරහා පාතාල ක්‍රියාකාරකම් දක්වා වූ ඕනෑම දෙයක් වැටලීමට වලානේ දූෂණ මර්දන ඒකකයට බලය තිබේ. පසුගිය ආණ්ඩුවල සිටි ඇතැම් දේශපාලනඥයන්ට මේ ඒකකය මාර වාතයක් විය. සමහර වැටලීම්වලදී වලාන දූෂණ මර්දන ඒකකයේ ලොක්කාට දේශපාලනඥයන් දුරකථන ඇමතුම් සිය ගණන් දෙන්නට ඇති. එහෙත් ඒ ලොක්කා සහ ඒ පොලිසිය දේශපාලන අණට ඇඹරෙන ඒකකයක් නොවේ. එය ඇඹරෙන්නේ පොලිස්පති ඉදිරියේ පමණි.

පොලිසියේ ජීවන තත්ත්වය උසස් කර ඔවුන්ට හොඳ වැටුප් ලබාදී පහසුකම් සැලසීමට ආණ්ඩුවට හැකි නම් මේ රටේ අපරාධ මර්දනයත්, කුඩු මර්දනයත් දෑවුරුද්දක් වැනි කෙටි කාලයකින් කළ හැකි බව අපගේ අදහස වේ. මෙයට අවුරුදු කිහිපයකට පෙර පිලිපීනයේ සිටි ජනාධිපතිතුමා දුටු තැන කුඩුකාරයන් මරාදමන ලෙස තම රටේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ පිලිපීනයෙන් කුඩු අතුරුදන් විය. එම ජනාධිපතිතුමා ධුර කාලය නිමවී ගෙදර ගිය පසු නැවත වතාවක් කුඩ්ඩෝ රජ වූහ. ලංකාව වැනි සිංහල බෞද්ධ රාජ්‍යයක් තුළ එසේ ක්‍රියාත්මක වීමට හැකියාවක් නැත. අප යා යුත්තේ තනිකරම නීත්‍යනුකූල මාර්ගය ඔස්සේ ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here