මාක­ඳුරේ මදූෂ්ට වෙඩිතැබීම ගැන පුළුල් විම­ර්ශ­න­යක්

0
3

සුප්‍රකට පාතාල අප­රා­ධ­ක­රු­වෙක් මෙන්ම මත්කුඩු ජාවා­ර­ම්ක­රු‍‍වෙක් වන මාක­ඳුරේ මදූෂ් නමැත්තා කොළඹ අප­රාධ කොට්ඨා­ස­ය­භා­රයේ සිටි­යදී වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව මරු­මු­වට පත්වීම සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ආරම්භ කර ඇත.

මෙම මර­ණය 2020 වසරේ ඔක්තෝ­බර් 20දා අලු­යම් කාල­යේදී සිදු­වන්නේ මාලි­ගා­වත්ත පොලිස් වසමේ ආර්. ප්‍රේම­දාස ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණය ආස­න්නයේ පිහිටි තට්ටු නිවාස සංකී­ර්ණ­ය­ක­දීය.

මත්කුඩු කිලෝ 22ක් ඇති ස්ථාන­යක් පෙන්වී­මට මාක­ඳුරේ මදූෂ් එම නිවාස සංකී­ර්ණ­යට රැගෙන ගිය අව­ස්ථා­වේදී පාතා­ලය විසින් ඔහුට වෙඩි තබා ඝාත­නය කළ බව පොලී­සියේ නිල ප්‍රකාශ මඟින් එකල කිය­විණි.

මෙම ඝාත­නය සම්බ­න්ධ‍යෙන් විම­ර්ශන මාලි­ගා­වත්ත පොලී­සිය මඟින් සිදු­ක­ළද වසර 05කට වැඩි කාල­යක් ගත වී ඇතත් කිසිදු සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව නැත. මේ තත්ත්වය මත මාක­ඳුරේ මදූෂ්ගේ පවුලේ සාමා­ජි­ක­යන් මෙන්ම සිවිල් සංවි­ධාන ක්‍රියා­කා­රි­ක­යන් දිගින් දිග­ටම බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටියේ මාලි­ගා­වත්ත පොලී­සිය යටතේ ඇති විම­ර්ශන, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රන ලෙසය. ඒ මෙම ඝාත­නය හා බැඳුණු අබි­ර­හ­සක් ඇතැයි සඳ­හන් කර­මිනි.

පාතා­ලයේ ගෝඩ් ෆාද­ර්ව­ර‍යෙක් ලෙස වැජ­ඹුණු මාක­ඳුරේ මදූෂ් ඩුබා­යිහී රැඳී සිටි­මින් මිනිස් ඝාතන හා මත්කුඩු ජාවා­රම මහා පරි­මා­ණ­යෙන්ම ‍ෙමහෙ­ය­වූ­වෙක් බව සඳ­හන්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වැට­ලීම් අංශයේ ස්ථානා­ධි­පති ලෙස කට­යුතු කළ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජී­වට වෙඩි තබා ඝාත­නය කිරී­මට තැත් කිරීම, කළු­තර, එත­න­ම­ඩ­ලේදී බන්ධ­නා­ගාර බස් රථ­ය­කට වෙඩි තබා පාතා­ලයේ සමයං ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් 05 දෙනෙක් ද, බන්ධ­නා­ගාර නිල­ධා­රීන් දෙදෙ­නෙක් ද ඝාත­නය කර­වන්නේ යැයි සඳ­හන් වූයේද මාක­ඳුරේ මදූෂ්ය.

සිය දිය­ණිය‍ගේ උප­න්දින සාදය පව­ත්ව­මින් සිටි­යදී මාක­ඳුරේ මදූෂ් ඇතුළු පිරි­සක් ඩුබායි පොලී­සි­යට තරු පන්තියේ හෝට­ල­ය­කදී 2019 වසරේ පෙබ­ර­වාරි 05දා කොටු­වන්නේ ඔය අත­ර­තු­ර­දීය. ඩුබායි පොලී­සිය විසින් ඔහු සමඟ එදා ශ්‍රී ලාංකි­ක­යන් 31 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. ඒ අතර කුප්‍ර­කට පාතාල අප­රා­ධ­ක­රු­වන් වූ කංජි­පානි ඉම්රාන්, රොටඹ අමිල ඇතුළු පිරි­සක් ද ගායක පිය පුතු දෙප­ළක් ද, රංගන ශිල්පි­යෙක් ද, බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙක් ද ඇතුළු සමා­ජයේ විවිධ තරා­ති­ර­ම්වල අය ඒ අතර වූහ. බොහෝ දෙනෙක් මෙරට සිට එම සාදය සඳ­හාම ඩුබායි ගිය අය බව හෙළි­විය.

ජාත්‍ය­න්තර පොලිස් රතු නිවේ­ද­න­යට අනුව සහ එව­කට පැවති රජයේ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් පෞද්ග­ලි­කව සිදු­කළ රාජ්‍ය­තා­න්ත්‍රික මැදි­හ­ත්වීම මත මාක­ඳුරේ මදූෂ් එම වසරේ මැයි 05 වැනිදා මෙර­ටට භාරදී තිබුණි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් ඩුබායි ගොස් ඔහුව මෙර­ටට රැගෙන ආවේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගුව­න්තො­ටු­පො­ළේදී ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම් නියෝග මත මාස 18ක කාල­යක් රඳ­වා­ගෙ­නද විම­ර්ශන පව­ත්වනු ලැබීය. මේ කාලය තුළ මදූෂ් සමී­පව ඇසුරු කළ බව කියන විවිධ තරා­ති­ර­ම්වල දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ තොර­තුරු ද අනා­ව­ර­ණය වී තිබුණි. ඒ අතර ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යන් කිහිප දෙ‍ෙනක් ද සිටි­යහ. ඒ අතර ඇමැ­ති­ව­රුන්ගේ නම් ද කියවී තිබුණි.

මාක­ඳුරේ මදූෂ්ට මෙරට සහ ඩුබා­යිහි ඇති දේපොළ ඇතුළු වත්කම් ගැන පවා තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි­ක­ර­ගෙන තිබුණි. ඒ අනුව මත්කුඩු සමඟ නම බැඳුණු දේශ­පා­ල­න­ඥ‍යෙක් පවා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අවශ්‍ය මූලික විම­ර්ශන කට­යුතු පවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ආරම්භ කරනු ලැබීය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එකල ප්‍රධා­නියා ලෙස සේවයේ නිර­තව සිටියේ මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙන­වි­රත්න සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහ­ත්ව­රුන්ය.

යහ­පා­ලන ආණ්ඩුව පෙරළී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති ධුර­යට පත්වී­මත් සමඟ ශානි අබේ‍සේ­කර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිට ගාල්ල නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ පෞද්ග­ලික සහ­කාර ලෙස ස්ථාන මාරු­ක­ර­මින් මාක­ඳුරේ මදූෂ් සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශන අඩ­පණ කිරී­මට කට­යුතු කර තිබුණු බව පොලී­සියේ ප්‍රසිද්ධ රහ­සකි. මාක­ඳුරේ මදූෂ්ගේ මත්කුඩු ජාවා­රම සම්බ­න්ධ‍යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඒ වන විටත් විම­ර්ශන පව­ත්ව­මින් සිටි දේශ­පා­ල­න­ඥ­යාද ප්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධුර­ය­කට ද පත්විය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාරයේ සිටි මදූෂ්ව හිටි­හැ­ටි­යේම කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට 2020 වසරේ ඔක්තෝ­බර් 16 වැනිදා හෝ ආසන්න දින­කදී භාර දුන්නේය. ඒ ඉහළ නියෝ­ග­ය­කින් බව සඳ­හන් කර­මිනි.

කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගෙන පැය 24ක් යන්නට මත්තෙන් මදූෂ්ගේ තොර­තුරු මත යැයි සඳ­හන් කර­මින් කොටි­කා­ව­ත්තෙන් හෙරො­යින් කිලෝ 10ක් හෝ ඒ ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගත්තේය. ඒ වන­වි­ටත් මාස 18ක කාල­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන සිටි මදූ­ෂ්ගෙන් එත­රම් මත්කුඩු තොග­යක් තබා මත්කුඩු ග්‍රෑම් 01ක් වත් සොයා ගෙන තිබු‍ණේ නැත. එ‍හෙත් මදූෂ්ගේ පිටු­පස සිටි දේශ­පා­ලන ජාල­යත් පොලී­සියේ සහ බන්ධ­නා­ගා­රයේ පිරිස් සම්බ­න්ධ­යෙ­නුත් බොහෝ තොර­තුරු හෙළි­කර ගෙන තිබුණි.

කොටි­කා­ව­ත්තෙන් මත්කුඩු කිලෝ 10ක් සොයා ගැනී­මෙන් දින 03කට පසු එනම් 19 වැනිදා රාත්‍රී කාල­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මාක­ඳුරේ මදූෂ්ව මාලි­ගා­වත්තේ මහල් නිවාස සංකී­ර්ණ­යක් වෙත රැගෙන යන්නට සූදා­නම් වන්නේ එම නිවාස සංකී­ර්ණයේ 10 වැනි මහලේ සඟවා ඇතැයි මදූෂ් විසින් හෙළි­කළා යැයි කියනු ලබන තවත් මත්කුඩු කිලෝ 22ක් සොයා ගැනී­ම­ටය.

එම නිවාස සංකී­ර්ණය පැල්පත් හා මුඩුක්කු ඉවත් කර කොළඹ ඛෙත්තා­රාම නිවාස සංකී­ර්ණය ආස­න්නයේ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය විසින් ඉදි­කළ ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණ­යකි. මාක­ඳුරේ මදූෂ් ඩුබායි බලා යන විට මෙම නිවාස සංකී­ර්ණය ඇති භූමියේ තිබෙන්නේ පැල්පත් හා මුඩු­ක්කුය. මෙම නිවාස සංකී­ර්ණය ජන­තාව වෙනු­වෙන් විවෘත කරනු ලබන්නේ ද යහ­පා­ලන ආණ්ඩුව සම­යේ­දීය. මාක­ඳුරේ මදූෂ් මෙම නිවාස සංකී­ර්ණ­යට සිය ජීවි­තයේ කිසිදු අව­ස්ථා­වක පය තබා තිබු‍ණේ නැත. මදූෂ්ව රැගෙන එම නිවාස සංකී­ර්ණ­යට රැගෙන යන්නේ එම නි‍ෙවස පෙන්වී­මට යැයි පොලී­සිය එකල කීවේය.

නිවාස සංකී­ර්ණය තුළදී පොලිස් නිල­ධා­රීන්ගේ අත්අ­ඩං­ගුවේ මාංචු පිටින් සිටි මදූෂ්ට නාඳු­නන පුද්ග­ල­යෙක් ළඟ­ටම පැමිණ ඔළු­ව­ටම වෙඩි තබා පලා­ගිය බව පොලී­සිය නිල වශ‍‍‍යෙන් එකල කීවේය.

මාක­ඳුරේ මදූෂ්ව එදා මහා රෑ මෙම තට්ටු නිවාස සංකී­ර්ණ­යට රැගෙන එන බව දැන සිටියේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් දෙතුන් දෙනෙක් සහ පොලිස් ප්‍රධා­නීන් කිහිප දෙනෙක් පමණි. එසේ තිබි­යදී මදූෂ්ව ගොඩ­නැ­ඟි­ල්ලට රැගෙන යන අව­ස්ථා­වේදී අවි ගත් පොලිස් නිල­ධා­රීන් ඉදි­රි­පිට මාක­ඳුරේ මදූෂ්ට වෙඩි තැබී­මට හැකි­යා­වක් තිබේ­දැයි අද­ටත් ඇත්තේ සැක­යකි. අප­රාධ පරී­ක්ෂණ ‍ෙදපා­ර්ත­මේ­න්තු­වට විම­ර්ශන පවරා ඇත්තේ මේ තත්ත්වය මතය.

මදූෂ්ගේ මෙම අබි­ර­හස් මර­ණ­යත් සමඟ මදූෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි දේශ­පා­ල­න­ඥ­යන් ඇතුළු පිරිස් සිටින්නේ අද­ටත් නිද­හසේ හුස්ම ගනි­මිනි. කළු සල්ලි­ව­ලින් මදූෂ් අත්පත් කර­ගත් කෝටි ප්‍රකෝටි ගණ­නක් වූ දේපොළ ආගිය අතක් නොමැ­තිය. මේ දේවල් ගැන දැන් නැව­තත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මුල සිටම විම­ර්ශන ආරම්භ කෙ‍රෙනු ඇතැයි පොලිස් අභ්‍ය­න්තර ආරං­චි­මාර්ග සඳ­හන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here