සිව්වැනි එක්දින තරගයේ ජය කොදෙව්වන්ට

0
12

19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යොවුන් කණ්ඩායම අතර පැවැති සිව්වැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමත්විය. මේ අනුව තරග 7 කින් සමන්විත දෙරට අතර තරගාවලිය දෙපිළම 2-2ක් ලෙස සමව පසු වෙති.

කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 39.3 කදී සියලු දෙනා ලකුණු 182කට දැවී ගිය අතර එම ඉලක්කය හඹා යෑමේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඔවුන්ට පන්දුවාර 35කදී ලකුණු 166ක ඉලක්කයක් හිමිවිය. අවසන් පන්දු 6 දී කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් ලබා ගත යුතු වූ අතර එම පන්දු වාරය යැවූ සෙත්මික සෙනෙවිරත්නට එරෙහිව පළමු පන්දුවට හයේ පහරක් සහ සිව්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ ශකුඒන් බෙලේ කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියේය.

ඉලක්කය කුඩා වුවද සටන අත් නොහළ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ මුළු ලකුණු සංඛ්‍යාව 22ක්ව තිබියදී ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාම තරග නරඹන්නන් බවට පත් කිරීමට සමත්වූහ. ඒ අතර අංක 3 පිතිකරු එර්ෂිනෝ ෆොන්ටේන්ව කඩුලු අතර දිව යෑමේදී රමිරු පෙරේරා විසින් හසුකරගන්නා ලද දුවද්දී දැවී යෑම ද ඇතුළත් විය. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට එක් වුණු නායක ජොෂුවා ඩෝන් පන්දු 73කදී ලකුණු 50ක්ද බ්‍රෙන්ඩන් බූඩූ පන්දු 52කදී ලකුණු 34ක් වශයෙන් එම කඩුල්ලට 76ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා ප්‍රවේශය එක් කළහ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ලකුණු 02ක් ඇතුළත දවා ගැනීමට චාමික හීනටිගල සහ රමිරු පෙරේරා සමත් වීමත් සමග නැවතත් තරගය දෙපිළටම විවෘත විය. කෙසේ වෙතත් 7 වැනි කඩුල්ලට එක් වුණු ජොනතන් වෑන් ලංග් (23) සහ ශකුආන් බෙලේ (41★) කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර බෙලේ ජය සනාථ වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. පන්දු 31 කට මුහුණ දුන් බෙලේ රැස් කරන ලද ලකුණු 41ට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය.

මේ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ විරාන් චමුදිත (24) සහ දිමන්ත මහවිතාණ (34) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සාර්ථක ආරම්භයක් එක් කළද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 182 කට සීමා විය.

ආරම්භක පිතිකරුවන් හැරුණු කොට ගෙන ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූයේ නායක විමත් දින්සර (22) සහ චාමික හීනටිගල (21) පමණි. පිත්තට අමතරව පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශකුඑන් බෙලේ ලකුණු 35 කට කඩුලු 4ක් දවාලූවේය.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 39.3 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (දිමන්ත මහවිතාණ 34, විරාන් චමුදිත 24, සෙනුජ වෙකුණගොඩ 17, කවීජ ගමගේ 15, විමත් දින්සර 22, චාමික හීනටිගල 21, ආදම් හිල්මි 16, ශාකුඑන් බෙලේ 35/4, සැකර් කාටර් 34/2, බ්‍රෙන්ඩන් බුඩූ 01/2)

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 34.4 කදී කඩුලු 8ක් දැවී ලකුණු 167 යි – (ජොෂුවා ඩ්‍රෝර්න් 50, බ්‍රෙන්ඩන් බූඩූ 34, ජොනතන් වෑන් ලංග් 23, ශකුඑන් බෙලේ 41★, සෙත්මික සෙනෙවිරත්න 22/2, කුගදාස් මාතුලන් 45/2, විරාන් චමුදිත 47/1, චාමික හීනටිගල 21/1, රමිරු පෙරේරා 13/1)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here