එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටී.
“Support for lasting peace in Ukraine” නමැති මෙම යෝජනාව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර වසර හතරක් පිරෙන අවස්ථාවේදී ඉදිරිපත් කර තිබුණි.
193 සාමාජිකයන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී එය සම්මත වූයේ රටවල් 107ක් පක්ෂව, 12ක් විරුද්ධ වෙමින් සහ 51ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන්ය.
ශ්‍රී ලංකාව, ඉන්දියාවට අමතරව බහරේන්, බංග්ලාදේශය, බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය ද ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතරට අයත් විය.
මෙම යෝජනාව තුළ ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ සන්ධානයේ ප්‍රකාශිත ව්‍යවස්ථාව අනුව සාධාරණ, මුළුමනින්ම සහ ස්ථාවර සාමයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය නැවතත් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම යුද්ධයට සම්බන්ධ සියලු යුද සිරකරුවන් සම්පූර්ණයෙන් හුවමාරු කිරීම, නීතිවිරෝධී ලෙස රඳවා තබා ඇති සියලු පුද්ගලයින් නිදහස් කිරීම, වැදගත් පියවරක් ලෙස ද මෙම යෝජනාවේ සඳහන් කර ඇත.
තවද, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සීමා ඇතුළුව යුක්රේනයේ ස්වාධීනත්වය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවයට දැඩි කැපවීම යළිත් මේ තුළින් තහවුරු කර ඇත.
Saru News
















