ගර්ල් ඩේට් එකකට හොඳම තැන් 7ක් කොළඹ රටෙන්

0
10


ගර්ල් ඩේට් කියන්නේ වෙන මේ කුණුහරුපයක් හෙම නෙවේ ඉතින්. ගෑල්ලමයි දෙතුන් දෙනෙක්ට (හොඳා……ම යාළුවො වුණා ම වඩාත් හොඳයි) සෙට් වෙලා කයියක් දාන්න, සෙල්ෆි විසි තිස්දාහක් ගන්න සරල ව කියනවා නම් තමන්ගේ සමීප යෙහෙළියන් හමුවෙන්න යන එක තමයි ඔය. ඕකට ඉතින් තැනත් බලපානවා. අන්න ඒ නිසා එහෙම ගර්ල් ඩේට් එකකට යන්න හොඳ තැන් කීපයක් ගැනයි මේ කතාව.

 

1. Jagro

මේ කියන්නෙ බත්තරමුල්ලෙ තැන ගැනයි. බොරැල්ල පැත්තේ ඉඳන් එනවා නම් දියතට කලින් බස් හෝල්ට් එකෙන් බැහැලා පාර පනින්නයි තියෙන්නේ. මෙතනින් පටන් ගත්තේ බජට් එක ගැනත් හිතලයි. බජට් එකට සෙට් වෙන්න කෑම සහ පරිසරය එකට නැගලා යන මේ වගේ තැනක් ගැන ලේසියෙන් ආයෙ මතකෙට එන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි ආශ්‍රිත කෑමවලින් ලංකාව පිස්සු වැට්ටුවට මොකෝ ඉතින් Jagro දැන් සේවරි පැත්තටත් වැඩ. ගෑල්ලමයි කොහොමත් ස්වීට් නිසා ගැලපෙනව මෙතන ඕනවටත් වැඩියෙන්. මෙතන පුදුමාකාර නිදහස්. කවුරුත් කාටවත් මල වදයක් වෙන්නෙත් නෑ. කෑමත් හොඳයි. Jagro එකේ උඩ තට්ටුව නිකන් ගෙදර වගේ හැඟීමක් තමයි තියෙන්නෙ. කියනවට ගිහින් බලන්නකො.

 

2. The Exchange Pub & Restaurant

කොළඹ කෑම බීම සංස්කෘතිය දවසින් දවස අලුත් වෙනවා. එහෙම අලුත් වීමේ ප්‍රතිඵලයක් තමයි මේ. කැනල් පාරේ තමයි තියෙන්නේ. සිටි හොටෙල් එකේ අසල්වැසියා. මෙතන බීමවල ගාණ හිතාගන්න බැරි තරම් අඩුයි. ඒකට හේතුව තමයි අපි ඇප් එකකින් අපේ බීම එකට ලංසු තියන එක. ඔව් ඒක පොඩ්ඩක් හිතාගන්න අමාරුයි ඒත් ඒක එහෙමයි. මූඩ් අවුල් වෙච්ච වෙලාවක හොඳ ම යාළුවා එක්ක මෙතෙන්ට ගිහින් මූඩ් එක දිය කරලා දාන්න පුළුවන් ඇඟට නොදැනෙන්න. මෙතන පබ් එකක් කිව්වැයි කියලා බීලා බීලා එකිනෙකා මරාගන්න වටපිටාවක් මෙතන නැහැ. රෙස්ටෝරන්ට් එක ඇතුළෙ වගේ ම රූෆ්ටොප් එකත් මාර ම ලස්සනයි.

 

3. Hyve Dessert Bar

ඒ බාර් එකෙන් මේ බාර් එකට. මේක නම් යන්න ඕනි ම තැනක්. ඇතුල්වෙනකොට ම දැනෙන්නේ ගෙදරක තියන ෂෝයි ගතිය. අපි ගර්ල් ඩේට් කිව්වම ඉතින් පොඩි දරුවො ඉන්න අම්මලත් අයිතියිනේ. ළමයින්ට වෙන ම ප්ලේ ඒරියා එකක් තියනවා. ප්ලේ ඒරියා කිව්වම ඔය හැම තැනම් තියන ඒවා වගේ නෙවේ ඉතින්. පොත්වලින් සෙල්ලම් බඩුවලින් සන්නද්ධයි. තියෙන්නේ තිඹිරිගස්යායේ. ඉඳගන්න පුටුවේ ඉඳන් කන කෑම එක ළඟට ම වෙනකන් හරිම කියුට් ගතියක් තමයි තියෙන්නේ. කෑම බීමත් පංකාදු පහයි. Espresso Cheese Tart කෑල්ලක් සෙට් එකත් එක්ක ම ගිහින් කන්න ම ඕනි කෑමක්.

 

4. Fire and Ice Pizzeria

පීසා කෑල්ලක් කන්න නොයන ඩේට් මොනවද ඉතින්? මේක එසේ මෙසේ පීසා පොට් එකක් නෙවේ ඉන්ටර්නැෂනල් ෆ්‍රැන්චයිස් එකක්. අපි නම් දන්නේ එහෙම ඒවා වර්ග දෙකයි කියලා කියන්න නම් එපා ඉතින්. මෙතන අයිතිකාර සුදු නෝනා ඉතා ම සුහදශීලියි. ගෑල්ලමයින්ට හිතේ හැටියට ඉන්න පුළුවන් ඉතින්. ඒ වගේමයි සේවක මණ්ඩලයේ අනෙක් අයත් හරිම කාරුණිකයි. කෑම ඊට දෙවෙනි නැහැ. මිත්තරියො ටිකත් එක්ක රහම රහ පීසා කෑම වේලකට යන්න බම්බා පැත්තේ ග්ලෙන් ආබර් වීදියට. කියන්න බැරි වුණා. ගාණ පට්ට ම අඩුයි රසයත් එක්ක බලද්දි.

 

5. Caramel Pumpkin

කුරුඳුවත්තෙ කැරමල් කිව්වලු. මෙතනට කොහොමත් කට්ටිය යන්නේ කෑම කන්න ම නෙවේ. ඒක යන්න ම ඕනි තැනක් නිසයි. ඉන්ස්ටාග්‍රෑම්වලට සෙට් වෙන ගතිය එහෙම වැඩියි. ඉතින් ගෑල්ලමයි එහේ නොගිහින් මොන දිල්ලියක යන්න ද? කෑම ගැන කිව්වොත් දෙනවා තඩි ම තඩි චීස්කේක් කෑල්ලක්. එයාලගෙ පැස්ටා එක අපි කාපු සුපිරි ම පැස්ටා එකයි කියලා කියන්න බැරි වුණත් ගාණත් එක්ක බලද්දී ඕනෑවටත් වඩා සුපිරි.

6. The Embazzy

කොළඹ මල් පාරේ නම් කවුරුත් එන්නැති කවුරුත් දන්නැති කතන්දර නැහැ. කවුරු නැතත් කෑමට ආසා කරන අය නම් මේ පාරේ නිතර යනවා එනවා. එහෙම කෙනෙකුට ඇහැ ගැහෙන එම්බසිය තමයි මේ කෝපි සාප්පුව. පොටෝ කෑලි ගන්නකොට බල්ටි ගගහා ගන්න පුළුවන්. මෙතන ඒ තරම් ලස්සනයි. අරුමෝසම් ලෝකයයි. කෑමත් ඒ වගේමයි. බර්ත්ඩේ පාටියක් දෙන්න කියාපු තැන.

 

7. තුන පහ

බත්තරමුල්ලෙ තුන පහ කියන්නේ ටිකක් විතර ගණන් හැබැයි වියදමට හරියන්න ආත්ම තෘප්තියක් දෙන තැනක්. නමෙන් ම තේරෙනවා ඉතින් ශ්‍රී ලාංකික කෑම තමයි මෙතන රඟන්නේ. වැඩේ කියන්නේ ඉතින් මෙතන වටපිටාවේ ඉඳන් ඕවා කනකොට තියන අමුතු ඉටිකිරිස් ගතිය. බුෆේ එකක් තියනවා ඉතින් සිරි ලංකන් කෑම. යාළුවො දෙන්නවත් ඇදගෙන ලබන සතියෙ වගේ යමු ද?

The post ගර්ල් ඩේට් එකකට හොඳම තැන් 7ක් කොළඹ රටෙන් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here