78 වැනි ජාතික නිදහස් දිනය අදට යෙදී ඇත.
ඒ අනුව “ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පසුගිය වසරේ නිදහස් උලෙළ පැවැත් වූ ආකෘතියට අනුව සියලු සාම්ප්‍රදායික වැඩසටහන් සමඟ චාම් අන්දමින් මෙවර නිදහස් උලෙළ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.
නිදහස් චතුරස්‍රෙය් පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් නිදහස් උත්සවයේ වැඩකටයුතු ආරම්භ වේ. කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් පුෂ්පෝපහාර දැක් වීම සිදු කරනු ලබයි.
මෙවර නිදහස් උලෙළ සංස්කෘතික අංග රැසකින් සමන්විත වන අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකායේ සහභාගිත්වයෙන් නිදහස් දින උලෙළේ ආචාර පෙළපාළිය පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන නිලධාරීන්ගේ සංඛ්‍යාව 5000කට ආසන්නය.
ගුවන් හමුදාවේ බෙල් හෙලිකොප්ටර් යානා තුනක් ජාතික ධජය පෙරදැරිව ගුවනින් ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
මෙවර ජාතික නිදහස් දින සමරු උලෙළට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පිදෙන ආචාර වෙඩිමුර පැවැත්වීමද අද (04) මධ්‍යහ්න 12.00ට ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මතදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.
ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිදහස ලබාගත් දා සිට ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර 25ක් පිරිනමනු ලබයි.
78 වැනි නිදහස් දිනය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රජයේ ආයතන සහ ත්‍රිවිධ හමුදාව, පොලීසිය මඟින් දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කොට තිබේ.
Saru News










