මිය ගිය ධර්මය වෙනුවෙන් මතක බතක් පිසූ මවගේ කතාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, නැන්දා සහ ලේලිය අතර තියෙන අරගලය ඈත අතීතයේ පටන් ම දකින්ට ලැබෙන දෙයක්. ගෙදරක පුතෙක් කසාද බැන්ද විට පුතාගේ නිවසට යි සිය බිරිඳ පදිංචියට එන්නේ. ලේලිය කියන්නේ ඇයට යි. බොහෝ නිවෙස්වල නැන්දම්මාගෙන් ලේලිය බැට කනවා. එහෙම නැත්නම් ලේලියගෙන් නැන්දම්මා බැට කනවා. මේ කච්චානි ජාතක කතාවෙන් කියැවෙන්නේ ලේලියක් නිසා නැන්දම්මා දුකට පත් වීම ගැනයි.
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. ඔය කාලයේ සැවැත් නුවර එක්තරා නිවසක අම්මෙකුයි තාත්තෙකුයි පුතෙකුයි වාසය කළා. මේ පුතා නිතර ජේතවනයට ගොහින් බණ අහනවා. ඒ නිසා ම තිසරණ පන්සිල්හි පිහිටා තම දෙමාපියන්ට ආදරයෙන් උපස්ථාන කළා. කලක් ගත වෙද්දී මොහුගේ පියා අභාවයට පත් වුණා.කච්චානි,,,
එදා පටන් මේ තරුණ උපාසක තමන්ගේ අම්මාට සැලකුවේ දෙවියෙකුට වගේ. උදේ ම නැගිටලා මුහුණ සෝදන වතුර ටික, දැහැටි දඬුවේ පටන් සෑම උපස්ථානයක් ම කරනවා. ඊට පස්සේ කැඳ හදලා දෙනවා. ඊට පස්සේ දවාලට කන්ට බත් ටිකත් උයලයි වැඩට යන්නේ. දවසක් අම්මා මෙහෙම කීවා.කච්චානි, කච්චානි
“අනේ මයෙ පුතේ… ඔයාට මේ සෑම දෙයක් ම කරන්ට බෑ පුතේ. මයෙ වැඩත් කරනවා, ගෙදරදොරේ වැඩත් කරනවා, කුඹුරු වැඩත් කරනවා. හප්පා… තනි දරුවෙක්ට මේ ඔක්කෝ…ම දේවල් කරන්ට ඇහැක… එහෙම නොවෙයි මයෙ පුතේ, අපේ පවුලට ගැලපෙන තැනකින් මං දැරිවියක් සොයා දෙඤ්ඤං. එතකොට ඈට පුළුවනි මටත් සලකාගෙන ගෙදර වැඩත් බලන්ට. ඔයැයිට ඇහැකි නොවැ තමුන්නේ අනික් කටයුතු සොයා බලන්ට.”කච්චානි..කච්චානි
“නෑ… අම්මා… මේවා මං කරන්නේ මගේ ම හිත සුව පිණිසයි. වෙන කෙනෙක් අම්මාට මෙහෙම සලකාවි කියා මං නම් හිතන්නෙ නෑ.”කච්චානි,,කච්චානි
“ඒ උනාට පුතේ… අපේ පවුල් පරම්පරාවකුත් තියෙන්ට ඕනෑ නොවෙද.”
“අනේ… අම්මා… මට නම් ගිහි ජීවිතේ දිගට ම ඉන්ට අදහසක් නෑ. මං අම්මා ඉන්න තාක් මයෙ දෑතින් උපස්ථාන කරගන්නවා. ඊට පස්සේ මං පැවිදි වෙන්ට යනවා.”
“එහෙම බෑනෙ මයෙ පුතේ… අනේ පුතේ මගේ වචනය අහක දාන්ට එපා ඕං” කියලා මේ අම්මා අර උපාසකට නැවත නැවතත් කසාදයක් කරලා දෙන්ට ඇවිටිලි කළා. ඒත් උපාසක කැමති උනේම නෑ. බැරිම තැන අම්මා තමන්ගේ තනි කැමැත්තට කෙල්ලක් සොයා කසාද බන්දලා දුන්නා.
උපාසක තම අම්මාගේ වචනය ප්‍රතික්ෂේප නොකොට සාමකාමීව පවුල් ජීවිතේ ගෙවන්ට සිත හදාගත්තා. ‘අනේ මගේ සැමියා තමන්ගේ අම්මාට පුදුමාකාර ආදරයකින් සලකනවා නොවැ. මාත් මෙයැයිගේ අම්මාට උපස්ථාන කොරන්ට ඕනෑ. එතකොට මං ගැන ඇති මෙයැයිගේ ආලවන්තකොම තවත් වැඩි වේවි’ කියා සිතා ලේලිත් මැද්දට පැනලා උපස්ථාන කරන්ට පටන්ගත්තා.
‘අනේ මයෙ බිරිඳ මොනතරම් යහපත් ගුණධර්ම ඇති කෙනෙක් ද… මං කරනවා වාගෙම අපෙ අම්මාට උපස්ථාන කරනවා’ කියා සිතා උපාසකගේ ආදරය වැඩි වුණා. එදා පටන් උපාසක රසවත් කෑම බීම මොනවා ලැබුණත් කෙළින් ම ගෙනැවිත් තමන්ගේ බිරිඳගේ අතේ තියනවා.
කලක් යද්දි ඈ මෙහෙම හිතුවා. ‘මෙයා ඉස්සර රසවත් ප්‍රණීත දේ ලැබුණොත් ඉස්සෙල්ලාම අම්මාට දීලා පස්සෙ මට දුන්නේ. දැන් කෙලින්ම මයෙ අතේ තියන්නෙ. මං හිතන්නේ දැන් මෑණියන්දෑව එපා වෙලා ඇති. වෙන කොහාට හරි යවාගන්ට ඕනෑ වෙලා ඇති. හරි… මං මහ අම්මණ්ඩිව යවා ගන්ට උපායක් සොයා ගන්නංකෝ’ කියා වැරදි විදිහට තේරුම් ගත්තා. දවසක් උපාසක ගෙදර එනකොට ඈ මූණ එල්ලාගෙන කඳුළු පුරෝගෙන උන්නා.
“ඇයි… සොඳුරී… මොකද ඔයා මහා දුකකට පත් වෙලා වගේ මූණත් එල්ලාන, දෑහේ කඳුළු පුරෝගෙන… ඇයි?”
“ඇයි තමා… මං මෙතෙක් කලක් ඔයාට කීවෙ නෑ. අද නම් මගේ අහිංසක හිත හරී…යට රිදුණා. මං මෙච්චර සලකද්දී වෙනදාටත් වඩා මහා… නරක විදිහට මට බැන්නේ. අනේ මං කොහොමෙයි මේවා… ඉ…ඉවසන්නේ” කියලා ඉකිබිඳින්ට පටන් ගත්තා. උපාසක නිශ්ශබ්දව ගෙට ගියා.
එදා පටන් ඈ අම්මාට කැඳ දෙද්දී එක්කෝ තද… රස්නෙට දෙනවා. නැත්නම් සීතලට දෙනවා. එක්කෝ ලුණු හොඳට ම වැඩි කරලා දෙනවා. නැත්නම් ලුණු නැතිව දෙනවා. “අනේ දුවේ… කැඳ ටික රස්නෙයි නොවැ” කීවාම සීතල වතුර කෝප්පයක් කැඳ එකට හලනවා. අනේ දුවේ අද ටිකාක් සීතයි, ලුණුත් ටිකාක් වැඩියි වාගේ” කීවාම “හහ්… මේං බලාපන්කෝ වැඩක්… මේ උන්දෑව සංතෝෂ කරන එක නොවැ දැන් අපට ඇති අමාරුම රාජකාරිය. මොනවා දුන්නත් සෑහීමක් නෑ. මං නැගිට්ට වෙලාවෙ ඉඳලා මැරෙනවා මැරෙනවා… කෝ කොහොම දුන්නත් මදි…” කියලා හොඳටෝම බණින්ට පටන් ගන්නවා.
අම්මා නාන්ට වාඩි උනාම ගොඩාක් රස්නෙ වතුර පිටට වක්කරනවා. “ඌයි දුවේ… මයෙ පිට පිච්චෙනවා.” “හෑ… මොන වදයක් ද දෙයියනේ මේ මහ උන්දැගෙන්” කියලා ගොඩාක් සීතල වතුර වක්කරනවා. “හෝ… දුවේ… සීත වැඩියි.” “ආං… ඒ ගමන සීතලයි ලු. නිදකිං මේ ගෑණි. සත්කාර සම්මාන කොහොම කරන්ට ද කියලා මට නම් තේරෙන්නේ නෑ. මාව ම මරව මරවා වැඩ ගන්නවා” කියලා හොඳටෝම බෙරිහං දෙනවා.
දවසක් අම්මා මෙහෙම කිව්වා. “අනේ දුවේ මයෙ මෙට්ටේ මකුණෝ පිරිලා වගෙයි. නින්දක් නෑ මකුණෝ කනවා.”
එතකොට ඈ ඇඳ එළියට දැම්මා. තමන්ගේ ඇඳත් එළියට දැම්මා. තමන්ගේ ඇඳේ මෙට්ටේ හොඳට ගසලා අව්වේ දැම්මා. අම්මාගේ මෙට්ටෙත් පැත්තකින් තියලා “ඕං… මං හොඳට ගසලා මකුණෝ අයිං කළා” කියලා මකුණන්ගෙන් පිරී ගිය මෙට්ටෙම දාලා ඇඳ ගෙයින් තිබ්බා. එදා රෑ අම්මාට නින්දක් නෑ. මුළු රෑ ම නොනිදා වාඩි වෙලා උන්නා. “අනේ දුවේ… මකුණෝ ගිහිං නෑ වගේ. මුළු රෑ ම මාව මකුණෝ කෑවා.”
“ඕං… ඕං… ඉතිං මට බණින්ට පටන් ගත්තා. ඇයි අම්මණ්ඩියේ, තී දැක්කේ නැද්ද මං ඊයේ මක්කද කළේ කියා? මේ ගෑණිගේ කටයුතුවලට නම් වෙනම පිරිසක් ගේන්ට වේවි” කියලා කෑ ගසන්නට පටන් ගත්තා.
දවසක් ඈ අම්මාගේ කෙළ පඩික්කම තමන්ම පයින් ගස්සල බිම හැලුවා. “අයි… අයියෝ… මේ… මොනාද දෙයියනේ කරගත්තේ… මුළු ගෙදර නිකාං වැසිකිළියක් වගේ වුණා. අනේ මයෙ රත්තරන් අම්මේ… මට මෙහෙම වද දෙන්ට එපා කියලා මං මොන තරම් කියනවා ද. කෝ… මේ කාලකණ්ණි ගෑණි මට ම පන්න පන්නා වද දෙනවා නේ” කියා ඈ හඬාගෙන සැමියා ළඟට ගියා.
“මේ… මට නම් මේ පව්කාරිත් එක්ක එක ගෙදර පවුල් කන්ට බෑ. එක්කෝ මේ මහගෑණිව මේ ගෙදරින් යවන්ට. එක්කෝ මාව යවන්ට.”
Saru FM Media