පොළොව පෙරලීගෙන එන හඬ ඇසී පලා ගිය සාවාගේ කතාව
පින්වතුනේ, පින්වත් දරුවනේ,ලෝකයේ බොහෝ දෙනෙක් යමක් ඇසූ දුටු පමණින් ඒ ගැන විමසා තෝරාබේරා බැලීමක් නැතිව එක්වරම පිළිගන්නවා. සමහර විට තමන් මහා බරපතල ලෙස සිතාගත් දෙය මහා බොරුවක් වෙන්ට පුළුවනි. මහා රැවටීමක් වෙන්ට පුළුවනි. එවන් අවස්ථාවක ප්‍රඥාවන්ත සත්පුරුෂයෙකුගේ උපකාරයක් නොලැබුනොත් මිත්‍යාවට රැවටී සිටින උදවිය ඒ මිත්‍යාව තුළින් ම විනාශයට පත් වෙන්ටත් ඉඩ තියෙනවා. දද්දභ ජාතකය එබඳු කතාවක්.
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත්නුවර ජේතවනයේ. ඔය කාලේ ජේතවනය සමීපයේ ශරීරයට නොයෙක් දුක් දෙමින් තපස්චර්යාවන් කරන බොහෝ තීර්ථක තවුසන් වාසය කළා. පුරාවට කටු ගැසූ ලෑලි තට්ටු මත ඔවුන්ගෙන් සමහර අය නිදාගෙන ඉන්නවා. තවත් සමහර අය හිසමතත් ගිනි කබලක් තියාගෙන තමා වටේත් ගිනි ගොඩවල් ගසාගෙන සිරුර තවනවා.
එදා බොහෝ භික්ෂූන් වහන්සේලා සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. ජේතවනයට ආපසු වඩින අතරමඟ කලින් කියූ ආකාරයේ නොයෙක් තපස් චර්යාවෙන් සිරුර පෙළමින් විමුක්තිය සොයන අන්‍ය තීර්ථකයන්ව දැක ගන්ට ලැබුනා. ඉතින් ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කොට මෙය කියා සිටියා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපට අද ගොඩාක් තවුසන් නොයෙක් ආකාරයෙන් සිරුරට දුක් දෙමින් තපස් කරන හැටි දැකගන්ට ලැබුනා. ඔය අන්‍ය තීර්ථකයන්ගේ ව්‍රත සමාදන්වීම්වල කිසියම් ප්‍රයෝජනයක් ඔවුන්ට තියෙනවා ද?”
“මහණෙනි, ඔය වෙහෙසෙන දෙයින් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් නෑ. කිසිම විශේෂයක් උපදවාගන්ට බෑ. මහා බරපතල විදිහට වෙහෙස වෙවී, සොය සොයා යන්නේ වැසිකිළි වලකට යන පාරක යනවා වගේ. ඔය තීර්ථකයන්ගේ වැඩෙත් පොළොව පෙරලෙනවා ය කියා ශබ්දයට භයවෙලා දුවපු සාවාගේ කතාවට දෙවෙනි නෑ. නොසොයා නොබලා නොවිමසා කරන්නන් වාලේ අන්ධානුකරණයෙන් කිරීමක් තියෙන්නේ.”
“අනේ ස්වාමීනී, ශබ්දයට භය වෙලා පොළොව පෙරලීගෙන එනවා ය කියා දිවීම ගැන කතාවක් අපි කලින් අහලා නෑ. එය අපට කියා දෙන සේක්වා!” කියා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.
“මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය විචාරමින් සිටියා. ඔය කාලේ මහාබෝධිසත්වයෝ සිංහයෙක් ව ඉපදිලා මහා වනාන්තරේ වාසය කළා. ඔය දවස්වල බටහිර මුහුද අසල බෙලිගස්වලින් ද යුක්ත වූ තල්ගස් යායක් ඇති තල් වනයක් තිබුනා. ඔය වනේ එක්තරා බෙලි ගසක් යට පිහිටි තල් පැලයක සෙවනේ සාවෙක් වාසය කළා.
දවසක් මේ සාවා වනේ ඇවිද උඳුපියලිය කාලා පැන් බීලා ඇවිත් තල් ගසේ තල් කොලයක් යට හාන්සි වෙලා මෙහෙම කල්පනා කරමින් සිටියා. “අනේ හැබෑටම… බැරිවෙලාවත් මේ සා විශාල මේ මහා පොළොව පෙරලුනොත් මං දුවන්නේ කොයිබට ද?” කියලා. ඔහොම සිත සිතා ඉන්නකොටම බෙලි ගසින් මහා බෙලි ගෙඩියක් හාවා සිටිය තල් කොළය මතට දඩාං යන බිහිසුණු ශබ්දය දීගෙන වැටුනා. සාවා උඩ වීසිවෙලා බිම වැටුනා වගේ වුනා. හොඳටෝම භය බිරාන්ත වුනා. උන්නු තැනින් අහකට විසික් වුනා. මහා මරණභයක් හටගත්තා.
“හපේ අප්පෝ… මං ඉවරෝ… මහපොළොව පෙරලීගෙන එනවෝ” කියලා ඒ ගස පැත්තේවත් නොබලා එක පිම්මේ කඩාගෙන බිඳගෙන දුවන්ට පටන්ගත්තා. එතකොට අසල සිටිය තව සාවෙක් “හපොයි… ඔහේට මක් වුනැයි…? මොකෝ මේ මහා භීතියකින් පණ කඩාගෙන දුවන්නේ?” කියලා ඇහැව්වා. “මගෙන් අහන්ට නම් එපෝ… අපි විනාශයි!” කියලා හාවා දිගටම දිව්වා. “හපොයි… හපොයි… මහා භයානක විපැත්තියක් වගේ” කියලා එතකොට ඒ සාවාත් අර සාවාගේ පස්සෙන් දිව්වා. දුවන ගමන් ඇහැව්වා “අනේ කියාපං… මොකදෑ උනේ!” එතකොට සාවා මොහොතක් ගමන වේගෙ අඩුකරලා තල්ගස පැත්ත නොබලාම “ආං අර පැත්තෙන් මහපොළොව පෙරලීගෙන එනවෝ… හයියෝ!” කියාගෙන දිව්වා. මෙය දුටු අනිත් හාවොත් හොඳටෝම භය වුනා. එක රංචුවට ම පණ කඩාගෙන දුවන්ට තියාගත්තා. මේ විදිහට දුවන හා පිරිස දහස් ගණනක් වුනා.
එතකොට මුවෙක් මෙයාලා දුවනවා බලාගෙන සිටියා. “බොලා මොකෝ මේ දුවන්නේ?” කියලා ඇහැව්වා. “හැයි… ඔය ඇහෙන් නැද්ද පොළෝ තලේ පෙරලෙනවෝ” කියාගෙන දිව්වා. එතකොට මුවාත් භයවෙලා මෙයාලත් එක්ක දුවන්ට තියාගත්තා. මහා තැතිගැනීමකින් දුවන මේ පිරිසට ඌරෙකුත් එකතු වුනා. තව ටික දුරක් යද්දී ගෝණෙකුත් එකතු වුනා. මී ගවයොත් එකතු වුනා. ගවයොත් එකතු වුනා. කැලේ සිටිය වෙනත් සිංහයෙකුත් එකතු වුනා.
හස්තිරාජයෙක් මේ දුවන පිරිස දැක්කා. “හෝ… හෝ… මොකදෑ මේ පණ කඩාගෙන දුවන්නේ?” කියලා ඇහැව්වා. “පේන්නැද්ද… පොළෝ තලේ පෙරලීගෙන එනවා!” කියලා සත්තුන්ගෙන් පිළිතුරු ලැබුනා. සත්තු සේනාව එක පිම්මේ පණ කඩාගෙන දුවද්දී ඔවුන්ගේ මුළු පිරිස යොදුනක් විතර දුරට දික් වුනා.
එදා බෝධිසත්වයෝ මේ දුවගෙන යන පිරිස දිහා බලා “කොහිදෑ තොපි මේ දුවන්නේ බොලව්?” කියලා ඇසුවා. “හැයි… ඕං… මහපොළොව පෙරලෙනවා” කියාගෙන ඔවුන් නොනැවතී ගියා. බෝධිසත්වයෝ මෙහෙම හිතුවා. “ම්… ම්… ඒක කොහොමෙයි වෙන්නේ? ඒක වෙන්ට බෑ. ඔව්… මේ පොළොව පෙරලෙන්ට බෑ. කවුරුහරි මොකාක්හරි දේකට මුළාවෙලා වෙන්ට ඕනෑ. මං මේකට මැදිහත් නූනොත් මේකුන් ඔක්කෝම දුවන්නේ මුහුද දිහාවට නොවැ. මහා විනාසයක් වේවි. මේකුන්ව බේරගන්ට ඕනෑ” කියලා වේගයෙන් දුවගෙන ගිහින් එක්තරා කඳු ගැටයකට නැගලා “හේයි… නවත්තාපියව් තොපේ ඔය දිවිල්ල!” කියලා මහා හඬින් කෑ ගසා තුන් යලක් සිංහනාද කළා. සිංහනාදයට භය වූ සියලු සත්තු හැකිලී ගොහින් නැවතුනා. සිංහයා සතුන් ළඟට ආවා.
“හා… දැන් කියාපිය… කොහෙදෑ තොපි මේ දුවන්නේ?”
“ම්… මේ… මේ… මහාපොළොව… පෙ… පෙරලෙනවාලු.”
“හරි… කවුද පොළොව පෙරලෙනවා ඉස්සෙල්ලාම දැක්කෙ?”
“අපේ මේ ඇත්රාජයා දැකලා තියෙන්නේ.”
“අනේ නෑ… මං නෙවි… අර සිංහයාලු දැක්කේ.”
“හපොයි නෑ… මං දැක්කෙ නෑ… මට කීවෙත් මේ ව්‍යාඝ්‍රයායි.”
“මට කඟවේණායි කීවේ… නැත්නම් මං මේ අලකලංචි මොකෝවත් දන්නෑ…”
“හා… මට කීවේ අර ගවයා… මේ ගවයෝ… තෝ නොවැ මට කීවේ දුවාපිය පොළෝ තලේ පෙරලෙනවා කියාලා.”
Saru FM Media