2026 චීන නව වසර සඳහා සංස්කෘතික උත්සව පෙළක් ශ්‍රී ලංකාවේ දී ආරම්භ කර තිබේ.
මෙහි සමාරම්භක සැමරුම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන්, පසුගිය 27දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට යුනාන් පළාතේ ඩාලි බායි ස්වායත්ත කලාපයේ කලාකරුවන් පිරිසක් එක්විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං, ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් හා මහජනතාව ඇතුළු අමුත්තන් 1,200 ක් පමණ මෙම අවස්ථාවට එක්විය.
උත්සවය අමතමින් තානාපතිවරයා පැවසුවේ 2026 වසර යනු අශ්වයාගේ වසර බවයි. චීන සංස්කෘතිය තුළ, අශ්වයා යනු උත්සාහය, පක්ෂපාතිත්වය හා සාර්ථකත්වය සංකේතවත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටත් නව වසරේ සුබපැතුම් ඔහු මෙහිදී එක්කළේය.
මේ අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරුවන් වල දීර්ඝ ඉතිහාසය සිහිපත් කළ කතාකායක වික්‍රමරත්න මහතා, මෙම සාම්ප්‍රදායික චීන උත්සවයේ ප්‍රීතිය හා ගැඹුරු සංස්කෘතික අර්ථයන් මෙම රංගනයෙන් පුළුල් ලෙස ප්‍රකාශ වන බව පැවසීය.
මෙම සමාරම්භක උත්සවයට අමතරව, තවත් සංස්කෘතික උත්සවයන් හා අංග රැසක්ම කොළඹ වරාය නගරය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය සහ කොළඹ ඓතිහාසික ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.









Saru News










