2026 අයවැයෙන් ආර්ථික වර්ධන අපේක්ෂා ජයගත හැකි ද?

0
12

2026 – අයවැය ගැන මූල්‍ය අරමුදලෙන් අධ්‍යයනයක්

ජනතාවට ලස්සන ජීවිතයක් උදාකර දීමට නම් දුප්පත්කම අවම කරගත යුතුයි

මේ ආණ්ඩුව භාර ගත්තේ පසුගිය ආණ්ඩුව යටතේ සැලකිය යුතු දුරකට ස්ථාවර කළ ආර්ථිකයකි. එය කවුරුත් දන්නා දෙයකි. පසුගිය ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර සිදු කළේ ද ඔවුන්ගේම තනි හපන්කමකින් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළය. ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ, 2022 වසරේ දී අප රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේය. ඒ නිසා ඇත්ත වශයෙන්ම එම දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අයිඑම්එෆ් සහාය ගත්තේ ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොව ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අවසාන කාලයේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ආර්ථික අර්බුදය හොඳටම උග්‍ර වී එම ආණ්ඩුව විසින් ද අයිඑම්එෆ් සහාය ගැනීමට යොමු වූයේ නිසි කාලයේ දී නොව බොහෝ ප්‍රමාද වී නහය උඩින් වතුර ගියාට පසුවය.

කෙසේ හෝ එසේ ලබාගත් අයිඑම්එෆ් සහාය ප්‍රකාරව එම ණය වැඩසටහන ඉදිරියට ගෙන යෑම ගෝඨාභය රාජපක්ෂගෙන් පසු බලයට පත් වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ දෙයයි. ඔහුගේ රාජ්‍ය පාලන ක්‍රියාවලිය තුළ ඇති වැරදි හා අඩුපාඩු කෙසේ වෙතත් අයිඑම්එෆ් වැඩසටහන ප්‍රකාරව එහි ඉලක්ක හා කොන්දේසි සපුරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වැඩසටහන ඉදිරියට ගෙන යෑමට නිසි නායකත්වයක් දුන් බව ඇත්තකි. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරන්නේ ද එම වැඩසටහන එහි ඉලක්ක හා කොන්දේසි සපුරමින් ඉදිරියට ගෙන යෑමයි. මේ නිසා ඇත්තම කතාව නම් ආර්ථිකය ස්ථාවර කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාම විසින් නොව අයිඑම්එෆ් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන විසින් බවයි. එම වැඩසටහන නොතිබෙන්නට ඒ දෙදෙනාටම ආර්ථිකය ස්ථාවර කිරීමේ ලකුණු දමා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත. දෙදෙනාම අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙනයෑම නම් හොඳ දෙයකි.

දැන් අවශ්‍ය ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමයි

දැනට පවතින ආර්ථික ස්ථාවරත්වය තවත් ස්ථිර කරගත යුතු බව නම් ඇත්තය. එහෙත් දැන් අප කළ යුත්තේ ආර්ථික ස්ථාවරත්වය ගැන ලකුණු දමා ගැනීම නොව ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමයි. ආර්ථික අර්බුදය පැවතියදී ආපට අවශ්‍ය වූයේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමයි. දැන් අප අවධානය යොමු කළ යුත්තේ දැන් පවතින මන්දගාමී ආර්ථික වර්ධනය වේගවත් කරගනිමින් ඉහළ වර්ධන මාවතකට අවතීරණ වීමටයි. මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස සලකා බැලීම ද වැදගත්ය.

2026 – අයවැය ගැන මූල්‍ය අරමුදල සලකා බලයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ පසුගිය නොවැම්බර් 13 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය. 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය විසින් මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

‘මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාව සඳහා වන අයිඑම්එෆ් විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණියා. මෙම එකඟතාව අයිඑම්එෆ් විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත වූ පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් සඳහා ප්‍රවේශය හිමි වනවා. ඉදිරි සති කිහිපය තුළදී ඒ සඳහා විධායක අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වනු ඇති බව අපි අපේක්ෂා කරනවා.

අයවැය ගැන මට කිව හැක්කේ 2026 ප්‍රකාශයට පත්කරන ලද අයවැය ලේඛනය අයිඑම්එෆ් වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල දැයි අපේ කාර්ය මණ්ඩලය විසින් එම අධ්‍යයනය කරමින් සිටින බවයි. මෙම ඇගයීම විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා විශේෂයෙන් වැදගත් වනවා. එය ඉදිරි සති කිහිපය තුළ සිදුවේවි. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ගැන සලකන විට ඒවා ශ්‍රී ලංකාවේ හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීම උදෙසා තීරණාත්මකයි.’

මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ලංකාවට අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අයිඑම්එෆ් එක අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර කිහිපයක්ද අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ මාධ්‍ය හමුවේ දී ඉස්මතු කර දක්වා ඇත. ඒවා මෙසේයි.

වෙළෙඳාම ලිබරල්කරණය කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නය සහ ඊට අදාළ ප්‍රතිසංස්කරණ පහසු කිරීම, සෘජු විදේශ ආයෝජන සම්බන්ධ නියාමනය වැඩිදියුණු කිරීම සහ විධිමත් කිරීම, රජයේ ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති පරිදි පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම, ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ මෙන්ම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය, අරමුදල් සැපයීම වැළැක්වීමේ රාමුව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමටද අඛණ්ඩව ප්‍රමුඛතාවය දැක්වීම කළ යුතු බවත් ඇය කියා ඇත.

ශ්‍රී ලංකාවේ වර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අයිඑම්එෆ් බලාපොරොත්තු වන ප්‍රධාන ප්‍රතිසංස්කරණ මේවා බව ද අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකාව තවදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අයිඑම්එෆ් එක බලාපොරොත්තු වන ප්‍රධාන ප්‍රතිසංස්කරණ මේවා බව ඇය සඳහන් කර තිබේ. 2026 – අයවැයෙන් රටේ ඉදිරි ආර්ථික වර්ධන අපේක්ෂා ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.

‘අපගේ ප්‍රධාන උපාය මාර්ගික අරමුණ වන්නේ වසර කිහිපයකින් සියයට 7 ඉක්මවා යන වර්ධනයක් ළඟා කර ගනිමින් එහි ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශ, ප්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සාධාරණව බෙදී යන බව සහතික කිරීමයි. ඒ සඳහා ජන සහභාගිත්ව ආර්ථිකය, ඵලදායිතාවය ඉහළ නැංවීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලික අංශය සහභාගි කරගත් ආයෝජන හා වර්ධනය අපගේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන බලවේග වනු ඇත..

මෙය කෙටිකාලීනව නම් තරමක ඉහළ වර්ධන අපේක්ෂාවකි. මෙහි සඳහන් වසර කිහිපය යනු කුමක් ද යන්න අපට පැහැදිලි නැත. එය වසර දෙක තුනක් ද, එසේත් නැත්නම් හත අටක්ද යන්න දන්නේ ආණ්ඩුවම පමණි. කෙසේ හෝ ලෝක බැංකුව නම් පුරෝකථනය කර තිබුණේ අපේ ආර්ථික වර්ධනය මේ වසරේ (2025) අපේක්ෂිත සියයට 4.5 ක වර්ධන අගයක සිට ලබන වසරේ (2026) දී සියයට 3.1 ක් දක්වා අඩුවනු ඇති බවයි. එනම් ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවයි. මෙය අපට වෙනස්කර ගැනීමට නොහැකියාවක් නැත. එහෙත් එය ඉබේම සිදුවන්නක් නොවේ. මේ සඳහා අපට අපේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කර ගැනීම තුළින් මේ මන්දගාමී ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට හැකියාවක් තිබේ. ඒ සඳහා රජයට පෞද්ගලික අංශය දිරිගන්වන පරිසරයක් ඇති කිරීමට සිදුවේ. ඒ සඳහා හේතුවෙන අයවැය යෝජනා කිහිපයක්ම මෙවර අයවැයේ තිබේ. ඒ සමගම ඉහතින් සඳහන් කළ පරිදි අපේ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අයිඑම්එෆ් එක කියන ප්‍රතිසංස්කරණ ද තිබේ. කෙසේ හෝ මූලික වශයෙන්ම කිව යුත්තේ මේ පවතින ආර්ථික වර්ධනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. එසේම කවර ක්‍රමයකට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් අපේ ආර්ථික වර්ධන ගමන වේගවත් කරගත යුතු බවයි.

ජනතාවගෙන් තුනෙන් එකක් දුප්පත්

ශ්‍රී ලංකාව තුළ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමටද අඛණ්ඩව ප්‍රමුඛතාවය දැක්වීම කළ යුතු බවත් අයිඑම්එෆ් එක කියා ඇත. අප මොන ආර්ථික ස්ථාවරත්වයක් ගැන කතා කළත් කවර ඉහළ වර්ධනයක් ගැන කතා කළත්, රටේ බහුතර ජනතාවක් සිටින්නේ දුප්පත්කමේ නම් ඵලක් නැත. ඒ නිසා හෙට දවසට අවශ්‍ය කරන්නේ පවතින ආර්ථික ස්ථාවරත්වයෙන්, ඉහළ ආර්ථික වර්ධනයක් දක්වා වේගයෙන් ගමන් කිරීම සහ එම වර්ධනයේ ප්‍රතිලාභ සැමට සාධාරණ ලෙස බෙදී යෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

ආර්ථිකයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණවල ප්‍රතිලාභ අතිමහත් බහුතර ජනයා වෙත ගලා යන්නේ නැතිව ඒවා සුළුතරයක් භුක්ති විඳින්නේ නම් ලස්සන ජීවිතයක් ලැබෙනු ඇත්තේ ඒ අයට පමණය. එහෙත් රටේ අතිමහත් බහුතර ජනතාවකට ලස්සන ජීවිතයක් උදාකර දීමට නම් රටේ දුප්පත්කමේ ප්‍රතිශතය හැකිතාක් උපරිම මට්ටමක් දක්වා අවම කරගත යුතුය. වේගවත් ආර්ථික වර්ධන මාවතකට අවතීර්ණ වීමෙන් මේ දුප්පත්කම ද අඩුවේ. දැනට මුළු ජනගහනයෙන් සියයට 25 ක පමණ පිරිසක් දුප්පත්කමට ඇද වැටී ඇත. මෙසේ දුප්පත්කමේ ප්‍රතිශතය සියයට 25 ක් වන අතරම පසුගියදා ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ මුළු ජනගහනයෙන් තවත් සියයට 10 ක ජන පිරිසක් සිටින්නේ දුප්පත්කමට ආසන්නයේ බවයි. ඒ නිසා මුළු ජනගහනයෙන් සියයට 35ක් තරම් විශාල ජන පිරිසක් දැනට සිටින්නේ දරිද්‍රතා රේඛාවට පහළින් හෝ ඊට ඉතා ආසන්නයෙනි. එනම් රටේ සෑම තුන් දෙනෙක්ගෙන් එක අයෙක්ම සිටින්නේ මේ මට්ටමේ ය. ඉදිරියේ දී දුප්පත්කමට ඉතා ආසන්නයෙන් සිටින අය ද දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක් තිබේ. මේ නිසා දුප්පත්කමේ සිටින පිරිස් සවිබල ගන්වමින් ඔවුන් ඉන් මුදාගත යුතුව තිබේ. එය සමාජ ආරක්ෂණ වැඩසටහන් මගින් (ඒ අයට මුදල් බෙදා දීමෙන්) පමණක් සිදුනොවේ.

සෘජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය අඩු කිරීමට සැලසුම්

ජූලි කොසැක්

මෙවර අයවැයෙන් කියා ඇත්තේ සෘජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය 25:75 සිට 40:60 අනුපාතය දක්වා ක්‍රමානුකූලව ගෙන ඒම රජයේ අරමුණ බවයි. මෙය මීට පෙර ද බොහෝ කලක සිට අප අසා ඇති කතාවකි. 2026 අයවැයේ ඇස්තමේන්තු අනුව ලබන වසරේ (2026) රජයේ ඇස්තමේන්තුගත මුළු බදු ආදායම රු. බිලියන 4910 කි. ඉන් රු. බිලියන 1210 ක් ආදායම් බදු ආදායම වේ. එසේම ඉන් රු. බිලියන 3700 ක් වක්‍ර බදු (භාණ්ඩ හා සේවා මත බදු සහ විදේශ වෙළෙඳාම මත බදු) වේ. මේ අනුව ලබන වසර (2026) සඳහා අපේක්ෂිත සෘජු බදු ආදායමේ ප්‍රතිශතය සියයට 24.6 කි. එසේම ලබන වසර (2026) සඳහා අපේක්ෂිත වක්‍ර බදු ආදායමේ ප්‍රතිශතය සියයට 75.35 කි. මේ වසරේ (2025) අපේක්ෂිත සෘජු බදු ආදායමේ ප්‍රතිශතය සියයට 23.70 ක් වන අතර වක්‍ර බදු ආදායම් ප්‍රතිශතය සියයට 76.29 කි. මේ ඇස්තමේන්තුගත සෘජු බදු සහ වක්‍ර බදු ආදායම් ප්‍රතිශතයන් අනුව අපට කිව හැක්කේ මේ වෙනස සඳහා ලබන වසරේ දී සුළු වශයෙන් එම ඉලක්කය කරා ගමන් ආරම්භ කර ඇති බවයි. මේ නිසා රජයේ බදු ආදායම් වර්ධනය ගැන අපට සතුටු විය හැකි වුවත් දැනට එහි වැඩි බර පැටවී ඇත්තේ සාමාන්‍ය ජනයා මත බව පෙනේ. මේ නිසා 2026 අයවැයෙන් කියන ලෙස සෘජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය 25:75 සිට 40:60 අනුපාතය දක්වා ක්‍රමානුකූලව ගෙන ඒමට හැකි වුවහොත් එය සාමාන්‍ය ජනතාවට ඉමහත් සහනයක් වනු ඇත. ඉදිරි බදු අපේක්ෂාවන් ගැන ජනාධිපතිවරයා අයවැය කතාවේ මෙසේ කියා ඇත.

‘අපි මූල්‍යමය නොසැලකිලිමත්භාවයක් පැවති යුගය අවසන් කර, එය විචක්ෂණශීලී නීතිමය රාමුවක් මගින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. මෙම නීතිමය රාමුව අනාගත කම්පනවලින් අප ආරක්ෂා කරන අතර සෑම පුරවැසියකුටම ඔවුන්ගේ බදු විනයානුකූලව, විනිවිදභාවයකින් සහ වගවීමෙන් කළමනාකරණය කරන බවට අප සහතික කරනවා. අප විධිමත්ව හා කාර්යක්ෂමව රාජ්‍ය ආදායම වර්ධනය කරමින් සිටිනවා. 2026 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

රජයේ ඉලක්කය වන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 දක්වා දිගුකාලීනව වැඩි කිරීම බව ද අයවැයේ සඳහන් කර ඇත. බදු ආදායම වැඩි වුවත් එය ජනතාවට බරක් නොවීමට නම් බදු පදනම පුළුල් කර ගනිමින් (එනම් වැඩි ආයතන හා පුද්ගලයන් පිරිසක් බදු දැළට එක්කර ගනිමින්) තනි තනි ආයතන හා පුද්ගලයන් මත පැටවෙන බර අඩුකරගත යුතු වේ. එසේම භාණ්ඩ හා සේවා මත පැටවී ඇති අධික වක්‍ර බදු බර අඩු කළ යුතු අතර බදු ගෙවීමේ හැකියාව හා ශක්තිය ඇති පිරිස්වලින් වැඩි බදු ආදායමක් රැස්කරගත යුතු ද වේ. වඩාත් ප්‍රගතිශීලී සහ සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කරගත හැකි වනු ඇත්තේ එවිටය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ අයවැය ගැන අදහස් දක්වමින් කියා තිබුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය තුළ ඇතුළත් වන බොහෝ කාරණා යථාර්ථවාදී නොවන බවත් ඒවා සැබෑ ලෙස සාර්ථක කර ගැනීමට අපහසු කතාන්දරයක් බව සහ ටිල්වින්ලාගේ සහ අනුර කුමාරලාගේ ආර්ථික දැක්ම එකිනෙකට පැටලී තිබෙන බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වන බවත්ය. ගිය ආණ්ඩුව විසින් ස්ථාවර කළ ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට රැගෙන යෑම හොඳ වුවත් එය ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යෑමට මෙවර අයවැයෙන් පදනමක් දමා නොමැති බවටත්, ඔහු චෝදනා කර ඇත. ඔහු 2026 අයවැය ගැන අදහස් දක්වමින් මෙසේ ද කියා ඇත.

‘ජනතාව මත බදු පිට බදු අයකරමින් සහ වාහන ආනයනය මගින් ඉතාමත් පහසු ආදායම් ලබමින් සිටින ආණ්ඩුවට හැකියාව තිබුණත් ජනතාවට කැපී පෙනෙන සහනයක් මෙම අයවැය මගින් ලබා දී නැහැ. දවසකට රුපියල් ලක්ෂයක පිරිවැටුමක් ලබන ව්‍යාපාරිකයකුත් වැට් බද්දට මේ අයවැය මගින් යටත් කරලා. මේක ජීවන වියදම වැඩිවෙන්න හේතුවක්.

මේ නිසා අපත් කියන්නේ වචනවලින් පමණක් නොව සත්‍ය ලෙසම අයවැයේ කියන සියයට 7 ක ආර්ථික වර්ධන ඉලක්කය ඉතා ඉකමනින් යථාර්ථයක් වීමට සමත් වැඩපිළිවෙළක් ද රටට අවශ්‍ය බවයි. එහෙත් මේ අයවැය තුළ එම ඉහළ වර්ධන අපේක්ෂාව යථාර්ථයක් කරගත හැකි වැඩපිළිවෙළක් දැකගත හැකි ද යන්න නම් ප්‍රශ්නයක් බව ද කිව යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here