2024දී ගෝලීය මිලිටරි වියදම් පෙර නොවූ විරූ ලෙස ඉහළට !

0
8


2024 වසර තුලදී පමණක් ගෝලීය මිලිටරි වියදම් ප්‍රමාණය 1990 සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව වැයකළ විශාලතම වැඩිවීමක් සිදුකල වසරක් ලෙස පෙන්නුම් කරන බව ස්විඩිනයේ ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) සඳුදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව යුධ වියදම 2024 වසර තුලදී පමණක් ඩොලර් බිලියන 2,700 දක්වා ළඟා වූ අතර, විශේෂයෙන් යුරෝපයේ සහ මැද පෙරදිග කලාපය තුළ මෙම අගය කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
ලෝක බලවතුන් මෙසේ යුධ වියදම් සඳහා අසීමිත ලෙස මුදල් වියදම් කරද්දී ලෝකයේ ද්‍රවිද්‍රතාවයෙන් පෙලෙන බිලියන 1.5 ජනතාවගෙන් මිලියන 455ක් යුධ ගැටුම් උග්‍ර වී ඇති කලාප තුල ජිවත් වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල නවතවම වාර්තාවකින් තම කනස්සල්ල පල කරයි.
2023 ට සාපේක්ෂව 2024 දී ඒ අනුව යුධ වියදම් 9.4%ක වැඩිවීමක් මෙහිදී පෙන්නුම් කර ඇත. 1990 දී සෝවියට් හා වෝර්සෝ සීතල යුද්ධය අවසන් වීමෙන් පසු ලොව පුරා සිදුවන යුද්ධ හා ගැටුම් හේතුවෙන් 2024 වනවිට ගෝලීය මිලිටරි වියදම් ඩොලර් ට්‍රිලියන 2.7 දක්වා ළඟා වනු ඇතැයි ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) විසින් අප්‍රේල් 28 වන සඳුදා ප්‍රකාශයට පත් කරන ලද එම වාර්තාවේ දැක්වේ. විශේෂයෙන් යුරෝපයේ සහ මැද පෙරදිග රටවල මෙම වියදම් වැඩි වී ඇති අතර, 2024 වසර අඛණ්ඩව යුධ වියදම් වැඩිවීමක් වාර්තා කළ දසවන වසර ලෙස සැලකේ. පසුගිය වසරේ ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් තම ආරක්ෂක අයවැය වැඩි කර ගත් බව වාර්තාව පවසයි.
“රටවල් විසින් සිදුකරන මෙම අසීමිත යුධ වියදම් හේතුවෙන් අනාගතයේ “ගැඹුරු සමාජ-ආර්ථික සහ දේශපාලනික බලපෑමක් ඇති කරනු ඇත” යයි මෙම වාර්තාව ඉදිරිපත් කල SIPRI සංවිධානයේ අධ්‍යක්‍ෂක ෂියාඕ ලියාං සඳහන් කරයි.
“උදාහරණයක් ලෙස, බොහෝ යුරෝපීය රටවල් යුධ වියදම් වැඩි කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා, එම රටවල බදු වැඩි කිරීම හෝ ණයට ගැනීම් සිදු කරනවා. එසේම ජාත්‍යන්තර ආධාර වැනි සුබ සාධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය අයවැය වියදම් කපා හැරීම අර්බුධ රාශියක ආරම්හයක් විය හැකියි,” යයි ඔහු පෙන්වා දෙයි.
මේ වන විට යුරෝපා කලාපය තුල මිලිටරි වියදම් 17%කින් ඉහළ ගොස් තිබේ. රුසියාව ඇතුළු යුරෝපය වැඩිපුරම යුද්ධය සඳහා මුදල් වියදම් කළ කලාපය ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව යුරෝපයේ මිලිටරි වියදම් ඒ අනුව 17%කින් ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් බිලියන 693ක් වේ.
2024 දී රුසියාව සිය හමුදාව සඳහා ඩොලර් බිලියන 149ක් වියදම් කර ඇති අතර එය වසරින් වසර සියයට 38 කින් සහ 2015 මට්ටමට සාපේක්‍ෂව දෙගුණයකින් වැඩි වී ඇත. රුසියාව විසින් ආක්‍රමණය කරන ලද කුඩා රාජ්‍යයක් වන යුක්රේනයේ මිලිටරි අයවැය 2.9% කින් වැඩි වී බිලියන 64.7 දක්වා ළඟා විය. මෙය ශ්‍රිලංකාවේ සමස්ථ ණය අගයට සමාන අගයක් පෙන්නුම් කරයි. ම රුසියානු වත්කම්වලට සමානව 43%ක් පමණක් නියෝජනය කළද, යුක්රේනය ලෝකයේ ඉහළම මිලිටරි බර වාර්තා කර ඇති අතර, එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 34%ක අගයක් ආරක්ෂාව සඳහා වැය කර ඇත.
යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් ද යුධ වියදම් වැඩි කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බව වාර්තාව තවදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම ජර්මනියේ මිලිටරි වියදම් සියයට 28 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 88.5 ක් වූ අතර, එය ලොව සිව්වන විශාලතම මිලිටරි වියදම්කරු ලෙස ඉන්දියාව ද අභිබවා ගොස් ඇත.
“නැගෙනහිර හා බටහිර යුරෝපය නැවත එක්වීමෙන් පසු පළමු වතාවට, ජර්මනිය මධ්‍යම සහ බටහිර යුරෝපයේ විශාලතම ආරක්ෂක වියදම් කරු බවට පත්ව ඇත,” යයි ෂියාඕ ලියැං පෙන්වා දේ.
කෙසේවෙතත් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යුධ වියදම් අතින් මේ වනවිට ලෝකයේ පෙරමුණ ගෙන සිටි. ලොව විශාලතම මිලිටරි වියදම් කරන්නා වන ඇමරිකා එක්සත් ජනපදය, 2024 දී සිය අයවැය මගින් ආරක්ෂක වියදම් 5.7%කින් වැඩි කර ඇති අතර එය ඩොලර් බිලියන 997 දක්වා ළඟා වී ඇත. එය ගෝලීය වියදම්වලින් 37%ක් සහ නේටෝ සාමාජික රටවල පමණක් 66%ක් නියෝජනය කරනු ලබයි.
ඇමරිකාව නේටෝ සංවිධානයෙන් බිඳී යාම හමුවේ, තම රටවල ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ කිරීමේ ගතිකත්වයක නියැලී සිටින නේටෝ සන්ධානයේ සාමාජිකයින් 32 දෙනාම තම ආරක්ෂක වියදම් විශාල ලෙස සැලකිය යුතු ලෙස වැඩි කර ගෙන ඇත.
“2024 වනවිට, රටවල් 32න් 18ක් ආරක්ෂක වියදම් සඳහා තම රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක ඉලක්කය කරා ළඟා වනු ඇත”, එය නේටෝව පිහිටුවීමෙන් පසු වාර්තා වෙන ඉහලම පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වී ඇති බව SIPRI වාර්තාව පෙන්වා දේ. ඉදිරි වසරවලදී ආයුධ කර්මාන්තයේ දැවැන්ත ලාභ අත්පත් කර ගැනීමේ ව්‍යාපෘති විශාල වශයෙන් ඉහල යාමක් අපේක්ෂා කල හැක. විශේෂයෙන් ට්‍රම්ප් පාලනය විසින් නේටෝ සංවිධානයේ සාමාජික රටවලට තම රටවල දේශීය දල ජාතික නිෂ්පාදනයෙන් 5%ක අගයකින් යුධ වියදම් වැඩි කරන ලෙස බල කර සිටි.
මැද පෙරදිග කලාපය තුළද මෙම ප්‍රවණතාවය එසේමය. ඊශ්‍රායලය ගාසා තීරයේ සිය යුද්ධය දිගටම පවත්වා ගෙන යන අතර 2024 දී එහි මිලිටරි වියදම් 65%කින් ඉහල ගොස් ඩොලර් බිලියන 46.5 දක්වා ළඟා වී ඇත. SIPRI වාර්තාවට අනුව – 1967 දින ඇවිලී ගිය සය දින යුද්ධයෙන් පසු විශාලතම වැඩිවීම මෙය ලෙස වාර්තා වේ.
එහෙත් ඉරානයේ යුධ වියදම් 10%කින් අඩු වී ඇති අතර 2024 දී එය ඩොලර් බිලියන 7.9 දක්වා ළඟා වී ඇත, “කලාපීය ගැටුම්වලට ඉරානය සම්බන්ධ වුවද සම්බාධකවල බලපෑම නිසා එහි වියදම් වැඩි කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා කර ඇති බැවින් මෙම අගය පහල ගොස් ඇත.
එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන චීනය, තම රටේ සන්නද්ධ හමුදා නවීකරණය කිරීම, සයිබර් යුද හැකියාවන් සහ න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීම සඳහා විශාල ලෙස ආයෝජනය කරමින් සිටින අතර, ආසියාවේ සහ මධ්‍යධරණී කලාපය තුල මිලිටරි වියදම්වලින් අඩක් චීනය නියෝජනය කරනු ලබයි. 2024 දී, එය සිය මිලිටරි අයවැය 7% කින් වැඩි කර ඩොලර් බිලියන 314 දක්වා ළඟා වී ඇත.
ලොව පුරා යුධ වියදම් මෙසේ වැඩිවන විට ලෝකයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බිලියන 1.1ක ජනතාවගෙන් මිලියන 455ක් ගැටුම් කලාපවල ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිකුත් කල වාර්තාවක සඳහන් කර ඇත. මෙම රටවල දරිද්‍රතා අනුපාතය සාමය ඇති රටවලට වඩා තුන් ගුණයකින් වැඩි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අංශය තම නවතම වාර්තාව මගින් අනතුරු අඟවයි.
ලොව පුරා බිලියනයකට අධික ජනතාව අතරින් අඩක් බාලවයස්කරුවන් වේ. ඔවුන් “උග්‍ර” දරිද්‍රතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) 2024 සැප්තැම්බර් 17 වන බ්‍රහස්පතින්දා නිකුත් කල වාර්තාව මගින් පෙන්වා දේ.
ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ, එක්සත් ජාතීන්ගේ ආයතනය සහ ඔක්ස්ෆර්ඩ් දරිද්‍රතාවය සහ මානව සංවර්ධන මුලපිරීම (OPHI) පර්යේෂණ මධ්‍යස්ථානය 2010 සිට ඔවුන්ගේ ගෝලීය බහුමාන දරිද්‍රතා දර්ශකයන් ගණනය කරමින් සිටින අතර, එය බිලියන 6.3 ක ජනතාවක් ජීවත් වන රටවල් 112ක දත්ත ඒකාබද්ධ කර මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. ප්‍රමාණවත් නිවාස නොමැතිකම, සනීපාරක්ෂක පද්ධති, විදුලිය, ඉන්ධන, ආහාර සහ පාසල් පද්ධති නොමැතිකම වැනි දර්ශක මෙම දර්ශකයට ඇතුළත් වේ.
යුද්ධ සහ ප්‍රචණ්ඩ ගැටුම් මිනිසුන්ගේ ජීවිතවල ගැඹුරු හා කල් පවතින කැළැල් ඇති කරනවා පමණක් නොව, දරිද්‍රතාවය අඩු කිරීමටද බාධා කරනු ලබයි. බිලියන 1.1ක දුප්පතුන්ගෙන් 40%ක් ගැටුම් කලාපවල ජීවත් වන අතර යුද්ධයෙන් පීඩාවට පත් කලාපවල සමස්ත දරිද්‍රතා අනුපාතය ගැටුම් නොවන කලාපවලට වඩා තුන් ගුණයකින් වැඩි බවත් (10.9%ට සාපේක්ෂව 34.8%ක්) වාර්තාවෙන් හෙළි වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන් තව දුරටත් පෙන්වා දෙන්නේ රටවල් 110ක බිලියන 6.1 ක ජනගහනයෙන් බිලියන 1.1ක ජනතාව මත පදනම්ව මෙම දර්ශක ඉදිරිපත් කර ඇත. ඒ අනුව නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවලට තවමත් අන්ත දරිද්‍රතාවය බලපා ඇති අතර, ලෝකයේ දුප්පතුන්ගෙන් 84% කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙති. වයස අවුරුදු 18ට අඩු දුප්පත්ම දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් මිලියන 584 ක් මෙම අගය නියෝජනය කරයි. වැඩිහිටියන් සඳහා 13.5%ට සාපේක්ෂව ගණන් බලු විට බාලවයස්කරුවන් සඳහා වූ ගෝලීය දරිද්‍රතා අනුපාතය 27.9%ක් වේ.
තම ආරක්ෂාව ගැන බියෙන් යහපත් ජීවිතයක් සඳහා සටන් කරන පුද්ගලයින් සංඛ්‍යාව ඒ අනුව ලෝක ජනගහනයෙන් මිලියන 455 ක් ලෙස ගණන් බලන විට, යුද්ධය සඳහා රටවල් වියදම් කරන අසීමිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 2,700ක් ලෙස ප්‍රදර්ශණය වීම කණගාටු දායක තත්වයක් බව මේ අතර ලෝක මානව හිතවාදීන් පෙන්වා දෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here