15 දෙනෙක් ඇවිත් අනුරාධපුර පූජා භූමිය ලේ විලක් කළ සිද්ධියේ ඇහින් දුටු සාක්ෂිය! ටවුමේ හතර වටේටම වෙඩි තිබ්බා! 215 දෙනෙක් මැරුවා! කොටි විල්පත්තුවට පැන්නේ මම හිටපු බස් එකෙන්! Sri Lanka Latest News

0
8


දිනය 1985 මැයි 14 වැනිදා. එදා අඟහරුවාදා දවසක්. මේ සිදුවීම ඇසින් දකින නන්දසිරි ජනප්‍රිය මහත්තයා අපිත් සමග සිටිනවා. මේ කතාව මුල සිට ඔබට කියන්නම්. එදා රුදුරු බව ඔබටද දැනේවි. අපි කතාව මුල ඉඳලම පටන්ගමු. Sri Lanka Latest News

‘මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තමයි ඒ වෙනකොට රාජකාරි කළේ. 1974 කාලේ මම ඒ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා පුහුණුවෙන් පස්සේ ත්‍රිකුණාමලයේ අවුරුදු 3ක් සේවය කරලා අනුරාධපුරයට මාරුවක් ආවා. එහේදී මම විවාහ වුණා. පස්සේ අපට දරුවෙක් ලැබුණා. ඒ අතර 1984දී මට කොළඹට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ වෙද්දී මගේ දුවට අවුරුදු දෙකහමාරක් විතර වුණා. කොළඹ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ මට වැඩකරන්න ලැබුණේ සේවා මුර ක්‍රමයට. ඒක නිසා පුළුවන් වෙනවා සේවා මුර මාරුකරගෙන දවස් දෙක තුනක් වැඩකරලා ආපහු ගෙදර ගිහිල්ලා දවස් 4ක් 5ක් ගෙදර ඉඳලා ආපහු එන්න. ඒ කාලේ කෝච්චිවල යන්න අමාරුයි. ඒ නිසා මම යන්නේ එන්නේ බස්වල. ඒ කාලේ තිබුණා පුත්තලම පැත්තෙන් කොළඹට එන රෝසා, සිවිලියන් වගේ බස්. සාමාන්‍යයෙන් මම දවල් 1ට වැඩට එන්න උදේ 7.30ට අනුරාධපුරෙයන් පිටත් වෙන්නේ. ඒ කාලේ අනුරාධපුරෙන් පිටත්වෙන බස් එකක් තිබුණා ඒකට අපි කිව්වේ කටුකැලියාව බස් එක කියලා. ඒ බස් එකේ වැඩකරන දෙන්නම මම දන්නවා. මම එන්නේ ඒ බස් එකේ තමයි. නමුත් මම ගෙරද ඉඳලා අනුරාධපුරයට බස් එකෙන් එනකොට පරක්කු වෙලා තිබුණු නිසා අර බස් එක ගිහින්. ආයෙත් උදේ 8 ට තියෙනවා බස් එකක්. ඒ බස් එකට අපි කියන්නේ කඳානේ බස් එක කියලා. ඒ බස් එකේ වැඩකරන්නේ තාත්තයි පුතයි. මට ඒ බස් එකේ නොම්මරෙත් මතකයි. 60-2955. ඒ බස් එක නතර කරලා තිබුණා. මම ඒකට නැගලා ඩ්‍රයිවින් සීට් එකට පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා හිටියා. මගියො කීප දෙනෙකුත් බස් එකේ හිටියා. මගේ බෑග් එකත් පැත්තකින් තියලා සෙරෙප්පු දෙකත් ගලවලා, අයිනට හේත්තු වෙලා මම බෑග් එකේ තිබුණු පොතක් අරගෙන කියවන්න පටන් ගත්තා. පොත අතට ගන්නකොට මම දැක්කා සී.ටී.බී. බස් එකක් ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ඇතුළු කරනවා. ඒකේ මිනිස්සු නිදාගෙන ඉන්නවා වගෙත් මම දැක්කා. පොඩ්ඩක් වෙලා යනකොට එක පාරටම බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් රතිඤ්ඤා පත්තු වෙන සද්දයක් ඇහුණා. ඇත්තටම ඒ වෙලාවේ මම හිතුවේ කඩයක් විවෘත කරනවා, ඒක නිසා රතිඤ්ඤා පත්තු කරනවා ඇති කියලා. ඒ නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. නමුත් මේ දිගටම ඇහෙන්න ගත්තා. ඒ නිසා මම නැගිටලා බැලුවා. බැලුවාම කවුරු හරි කට්ටියක් වෙඩිතිය තියා ඉස්සරහට එනවා මම දැක්කා. ඔවුන් එන්නේ අපේ බස් එක පැත්තට. එක වෙඩි පාරක් බස් එකේ කොහෙට හරි වැදිලා මගේ ඇහැටත් මොනවා හරි ගියා. ඒ එක්කම මම දැක්කා කොට කලිසම් ඇඳපු අය, සරම් ඇඳපු අය අර වෙඩිතියන පිරිස අතර ඉන්නවා. මම තේරුම් ගත්තා මේ කොටි තමයි කියලා. ඊට පස්සේ මම බස් එකෙන් බහින්න ඕනේ කියලා හිතලා දොර ළඟට ගියා. ඒ වෙලාවේ බස් එකේ හාමුදුරු නමක් හිටියා, ළමයෙක් වඩාගත්ත කාන්තාවක් හිටියා, තවත් කීප දෙනෙක්ම හිටියා. ඒ ඔක්කොම බස් එකෙන් බහින්න පොරකනවා. ඒ නිසා මට බැහැගන්න බැහැ. මම කරපු දේ ජනේලයකින් එළියට පැන්නා. පැනලා මම හදාගෙන යන කඩයක් අස්සෙන් දුවලා කම්බිවැටකිනුත් රිංගුවා. කම්බි වැටේ පැටලිලා මගේ ෂර්ට් එකත් ඉරුණා. එහෙම්මම මම නුවර වැවේ බන්ට් එක උඩට ගියා. මට පේනවා ඈතින් වෙඩි වැදිච්ච මිනිස්සු ලේ පෙරාගෙන දුවගෙන එන හැටි. ඒ අතර මට ඇහෙනවා වීදුරුවලට වෙඩි තිබ්බාම වීදුරු කඩාගෙන වැටෙන සද්දයක්. මම හිතුවේ කඩවල්වල ෂෝකේස්වලට වෙඩි තියනවා ඇති කියලා. ටිකක් වෙලා යනකොට ගෑනු කෙනෙක් මා ළඟට ආවා. එයාගේ අතට වෙඩි වැදිලා අත කැඩිලා තිබුණේ. ඒ ගෑනු කෙනා මට කිව්වා අනේ මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා. මට හරිම දුකක් දැනුණා. ඒත් එක්කම මට මතක් වුණා මගේ නෝනයි ළමයයි දැන් ටවුන් එකට එන වෙලාව, ඒ දෙන්නත් මේ වෙඩි ප්‍රහාරයට අහුවෙයිද කියන එක. මම අර ගෑනු කෙනාට කිව්වා අනේ මගේ නෝනයි ළමයයි දැන් ටවුන් එකට එනවා කියලා තියෙනවා මම ඒ දෙන්නව බේරගන්න යන්න ඕනේ, ඔයා ඔතැනම වාඩිවෙලා ඉන්න, කවුරු හරි කෙනෙක් ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන යාවි කියලා. එහෙම කියලා බන්ට් එක දිගේ දුවගෙන ගියා අනුරාධපුර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයට. මම එතැනට ගිහින්න කිව්වා ටවුමට කොටි ගහනවා, මට අද වැඩට එන්න විදියක් නෑ, ඒ පණිවුඩේ කොළඹට දෙන්න කියලා. එහෙම කියලා මම පයින්ම මගේ ගෙදර තියෙන පැත්තට දුවගෙන ගියා. දුවගෙන යනකොට මම අඳුරන කෙනෙක් මගෙන් ඇහුවා ඇයි මහත්තයා දුවන්නේ කියලා. මම එයාට විස්තරේ කිව්වාම එයා මට බයිසිකලයක් දුන්නා, මේක අරගෙන ඉක්මනට යන්න කියලා. මම බයිසිකලේ පැදගෙන ගෙදර යනකොට නෝනයි ළමයයි පාර අයිනේ ඉන්නවා. මම ඒ දෙන්නව එක්කගෙන ආපහු ගෙදරට ගිහින් මගේ ඇහැට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා. මගේ ඇහැ උඩ ඇලුමිනියම් පතුරක් වැදිලා තුවාල වෙලා තිබුණේ. ඇහැ සම්පූර්ණයෙන්ම රතු වුණා.

ඊට පස්සේ මම බයිසිකලේ ආපහු දීලා ටවුන් එකේ මම හිටපු බස් එක තිබුණු තැනට ආවා. එතැන ලේ විලක් තිබුණේ. ඒ ලේ විල මැද්දේ මගේ එක සෙරෙප්පුවක් තිබුණා. බෑග් මොනවත් තිබුණේ නෑ. ආයෙත් මම ඉස්පිරිතාලෙට ගියා ඇහැට බේත් දාගන්න. බෙහෙත් දාගෙන මම ගියා ඉස්පිරිතාලේ මිනී කාමරේට. මිනී පෝලිමක් දාලා තිබුණා. මට හොඳට මතකයි 215 කියලා ගහලා තිබුණේ පොඩි ගෑනු ළමයෙක්ගේ සිරුරක්. මට දැනගන්න ලැබුණු විදියට නොච්චියාගමදී මැරිච්ච ළමයෙක්. ඊට අමතරව අපේ කාලගුණ විද්‍යා කාර්යාලයට පිටිපස්සේ ගෙදර හිටපු ඉස්කෝලෙ මහත්තයටත් වෙඩිතියලා තිබුණා. එයාට වෙඩිතියලා තිබුණේ උඩමළුවට ගිහින් ආපහු එනකොට. එයාගේ කොන්දට තමයි වෙඩි වැදිලා තිබුණේ. නමුත් මැරුණේ නෑ, කාලයක් ප්‍රතිකාර අරගෙන ටික ටික තමයි සුව වුණේ.

මට වැව් බන්ට් එකේ ඉන්නකොට ඇහුණා සද්දයක් වීදුරු කඩාගෙන වැටෙනවා වගේ. ඒ ඇහිලා තිබුණේ මම හිටපු බස් එකේ වීදුරුවලට වෙඩිතියන හඬ. ඒ වෙලාවේ මම බස් එකෙන් එළියට බහින්නේ නැතුව සීට් එකක් අස්සේ හැංගිලා හිටියා නම් කොටින් මට වෙඩි තියන්නේ නැතුව, මගේ බෙල්ල පාගලා හරි මරලා දාන්න තිබුණා. නමුත් මගේ වාසනාවට බස් එකේ ජනේලයෙන් පැනලා ගිහින් මම බේරුණා. ඒ බස් එක තමයි කොටි උඩමළුවට අරගෙන ගිහිල්ලා, එතැනින් විල්පත්තුවටම ගිහින් තිබුණේ. විල්පත්තුවේදී වනජීවී එකෙත් සෑහෙන පිරිසක් මරලා තිබුණා. මගේ බෑග් එකත් ඒ බස් එකේම තියෙන්න ඇති.

ඒ වෙලාවේ ශ්‍රී මහා බෝධියට එල්ලවුණු ප්‍රහාරය බලන්නත් ඔබ ගියාද?
අපි ගියේ ප්‍රහාරයෙන් දවස් කීපයකට පස්සේ. මොකද ලොකු බයක් තිබුණා. රතිඤ්ඤා හඬක් ඇහුණත් තිගැස්සෙන ගතිය කාලයක් යනතුරු තිබුණා. මම වැඩට ගියෙත් නෑ දවස් ගණනාවක් යනතුරු. මට රැකියා ස්ථානයෙන් අවස්ථාව දීලා තිබුණා ටික දවසක් නිවාඩු ගන්න.
මේ ප්‍රහාරය එල්ල වෙච්ච කාලේ හැමදාම හවස 4.30ට බීබීසී සේවයේ කොටි හඬ කියලා වැඩසටහනක් ප්‍රචාරය වෙනවා. අපි ඒක හැමදාම අහනවා. ඒකේ කිව්වෙත් හමුදාව සමග විතරයි ගැටුම තියෙන්නේ, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන්නේ නෑ කියලා. ඒ නිසා මම හිතුවෙත් නෑ මේ ගහන්නේ කොටි කියලා.

ඔබට මතක විදියට එදා මේ ප්‍රහාරයට කොටි ත්‍රස්තවාදීන් කී දෙනෙක් විතර ආවද?
මම හිතන විදියට 15 දෙනෙක් විතර ඇවිල්ලා තියෙනවා. ඔවුන් ආපු සීටීබී බස් එක පැහැරගෙන අරගෙන ඇවිල්ලා තියෙන්නේ පුත්තලම ඩිපෝවෙන්.

83 කලබලයත් එක්ක, ඊට ප්‍රතිචාරයක් විදියට 85 දී සිවිල් වැසියන් ඉලක්ක කරපු ප්‍රහාරය අනුරාධපුරයේදී එල්ල කළා කියලා කියැවෙනවා නේද?
එහෙම වෙන්න පුළුවන්. 83 ඒ කලබලය වෙලාවෙදී කොළඹ ප්‍රදේශයේ දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසකට හානි සිද්ධ වුණා කියලා දැනගන්න ලැබුණා.

WANESA VLOG යූටියුබ් නාලිකාවෙනි
(සැකසුම – චානක ලියනගේ)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here