096. තේලපත්ත ජාතක කතාව -Thelapattha Jathakaya

0
13

තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා.තේලපත්ත ජාතක කතාවේ තියෙන්නේ  එවන් විස්තරයක් .

එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය මෙසේ වදාළා.

“මහණෙනි, ජනපද කල්‍යාණිය කියන්නේ ඉතාමත් ම රූප සම්පත්තියෙන් යුතු තැනැත්තියක්. ඈ නටන්ටත් ඉතාම දක්ෂයි. ගී ගයන්ටත් ඒ වගේ ම හපනියක්. නගරය මැද ඇගේ නැටුම් සංදර්ශනයක් තිබුනා. ඈ ගී ගයමින් නටනවා බලන්ට මහජනයා පොරකකා රැස් වුණා.

ඔය අතරේ රජ කෙනෙක් බන්ධනාගාරයෙන් පුරුෂයෙකුව එළියට කැඳෙව්වා. ඔහු අතට කට මට්ටමට පුරවාපු තෙල් පාත්‍රයක් දුන්නා. මෙහෙම කිව්වා. ‘එම්බල පුරුෂය, ඔය තෙල් පාත්‍රය හොඳට දෑතින් අල්ලා ගනින්. තෝ දැන් ජනපද කල්‍යාණි ගී ගයමින් නැටුම් දක්වන සංදර්ශන භූමියේ ඈ ඉදිරියෙන් සෙනඟ මැදින් යන්ට ඕනෑ. තෝ පිටුපසින් කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් එනවා. හැබැයි තෝ පාත්තරෙන් එක තෙල් බිංදුවක් හරි බිම වැට්ටුවොත් එතැන දී ම තොගේ හිස ගසා දමනවා.’

එතකොට මහණෙනි, ජීවත් වීමට ආසා කරන, මැරෙන්ට අකැමැති ඒ පුරුෂයා මොහොතකටවත් අසිහියෙන් ජනපද කල්‍යාණි දිහා බලන්නේ නැතුව ඉතාම කල්පනාකාරීව එතැනින් යනවා.
මහණෙනි, තෙල් පාත්‍රය කියන්නේ කායානුපස්සනා භාවනාවට යි. රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ කර්මයට යි. කඩුව ඔසොවා ගත් පුරුෂයා කියන්නේ මාරයාට යි. ජනපද කල්‍යාණිය කියන්නේ පංච කාමයට යි. ඒ නිසා මහණෙනි, තෙල් පාත්‍රය අතට ගත් පුරුෂයා වගේ මනා සිහියෙන් යුක්තව කායානුපස්සනාවෙන් අප්‍රමාදීව ඉන්ට ඕනෑ.” එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ජනපද කල්‍යාණිය දෙස නොබලා ඒ පුරුෂයා තෙල් පාත්‍රය රැගෙන යාමෙන් කරන්නේ ඉතාම දුෂ්කර දෙයක්.”

“නෑ මහණෙනි, ඒක දුෂ්කර දෙයක් නොවේ. ඒක පහසු දෙයක්. මොකද කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් තමා පසු පසින් එනබව ඔහු දන්නා නිසා, ඒ තර්ජනය නිසා ඔහු වඩාත් සැලකිලිමත් වෙනවා. නමුත් මහණෙනි, ඉස්සර නුවණැත්තෝ තමන් ම අප්‍රමාදීව සිහි නුවණ උපදවා ගෙන ඉන්ද්‍රිය බිඳගෙන දිව්‍යරූප වැනි ස්ත්‍රී රූපය දෙසවත් නොබලා ගිහින් රාජ්‍ය ලබාගත්තා. ආන්න ඒක නම් දුෂ්කරයි.”

එතකොට භික්ෂූන් වහන්සේලා අතීතයේ වූ ඒ සිදුවීම කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“මහණෙනි, ඈත අතීත කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ බරණැස් රජ්ජුරුවන්ට පුත්‍රයන් සියයක් සිටියා. බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ බාල පුත්‍රයා වෙලා ඉපදිලා සිටියා. ඒ දවස්වල රජගෙදර පසේබුදුවරු වැඩලා දන් වළඳනවා.

දවසක් බෝසත් කුමාරයා මෙහෙම සිතුවා. මට බොහෝ සහෝදරයන් ඉන්නවා නොවැ. ඒ නිසා මේ නගරයේ කුලසන්තක රාජ්‍යය මට ලැබෙන එකක් නෑ. කෝකටත් පසේබුදුවරයන් වහන්සේලාගෙන් මේ කාරණය අසන්ට ඕනෑ. උන්වහන්සේලා අනාගතය ගැන දන්නවා නොවැ.”

දෙවෙනි දවසේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිය වේලාවේ කුමාරයා බඳුනට පැන් පෙරා ගෙන ඇවිත් උන්වහන්සේලාගේ පා දෝවනය කළා. උන්වහන්සේලා හීලට කැවිලි වළඳලා වැඩ හිටියාට පස්සේ කුමාරයා එකත්පස්ව වාඩිවෙලා තමන්ගේ අදහස ඉදිරිපත් කළා. උන්වහන්සේලා මෙහෙම වදාළා.

“කුමාරය, ඔබ මේ නගරයේ රාජ්‍යය ලබන්නේ නෑ. නමුත් මෙයින් එක්සිය විසියොදුනක් දුර ගන්ධාර රටේ තක්ෂිලා නම් නගරයක් තියෙනවා. අන්න ඒ රටට යා ගත්තොත් අදින් සත්වෙනි දවසේ ඔබට එහි රජකම ලැබෙනවා. හැබැයි කුමාරය ගමන දුෂ්කරයි. මහාවත්තනිය නැමැති වනාන්තරේ මැදින් ඇති දුෂ්කර පාරේ ගියොත් ඒ මාර්ගයේ යොදුන් සියයක් යන්ට තියෙනවා. යොදුන් පනහක දුරින් යන්ට පුළුවන් කෙළින් පාරක් තියෙනවා. අමනුෂ්‍ය කාන්තාරයක් මැදින් ඒ ගමන යන්ට තියෙන්නේ. ඒ ගමනේ අතරමග යකින්නියෝ රැකලා ඉන්නවා. ඔවුන් නොයෙක් වෙස් ගන්නවා. ලස්සන ගෙවල් මවනවා. සුවපහසු යහන් මවනවා. දිව්‍යාංගනාවෝ වගේ ලස්සන රූප මවාගෙන පාරේ යන පුරුෂයන්ට මධුර වචනයෙන් අමතනවා. “හානේ…. හරී දුකයි ඔයාලා දකිද්දී. ඔයාලට ගොඩාක් වෙහෙසයි වගේ. මෙහෙ ඇවිත් ටිකාක් ගිමන් හැරලා සිහිල් පැන් වළඳා සුවසේ යන්ට පුළුවනි නොවැ” කියලා මුළාවට පත් කරවනවා. ඔවුන්ට මුළාවන පුරුෂයන් ව වසඟ කරගෙන මරාගෙන කනවා. රූපයට ආසා අයව රූපයෙන් රවටා ගන්නවා. හඬට ආසා අයව මිහිරි ශබ්දයෙන් රවටා ගන්නවා. සුවඳට ආසා උදවියව මිහිරි සුවඳින් රවටා ගන්නවා. රසයට ආසා උදවියව ප්‍රණීත බොජුනින් රවටා ගන්නවා. පහසට ආසා උදවිය මුදුමොළොක් පහසින් රවටා ගන්නවා. ඉන්ද්‍රියයන් නොබිඳගෙන, යකින්නියන්ගේ මායාවලට හසු නොවී, ඔවුන් දෙස නොබලා, මනා සිහි නුවණින් ගමන ගියොත් මෙයින් සත්වෙනි දවසේ රජ වෙනවා ම යි.

එතකොට බෝසත් කුමාරයා මෙහෙම කිව්වා. “ ස්වාමීනී, ඔබවහන්සේලාගේ අවවාද ගත් මං මොකට ද යකින්නියන් දෙස බලන්නේ?” කියලා පසේ බුදුවරයන් වහන්සේලා ලවා වැලිත්, ජලයත්, නූලුත් පිරිත් කරවාගෙන, උන්වහන්සේලාට වන්දනා කොට, දෙමාපියන්ටත් වන්දනා කොට, තමන්ගේ සේවක පුරුෂයන් ඇමතුවා. “මං තක්ෂිලාවේ රජකම ගන්ට යනවා. ඔබලා මෙහෙම ඉන්ට.” එතකොට පස් දෙනෙක් කුමාරයා සමඟ යන්ට පිටත් වුණා. “බෑ…. බෑ…. නුඹලාට මේ ගමන යන්ට අමාරුයි. නානාප්‍රකාර වෙස් අරගෙන මිනිසුන් මුළා කරවා අනුභව කරන යකින්නියන් මං යන පාරේ ඉන්නවා. මං නම් තමාව රැකගෙන යනවා.”

“අනේ නෑ දේවයනි, අපටත් පුළුවනි ස්ත්‍රී මායම්වලට මුළා නොවී ඉන්ට. ඒකුන්ගේ පැත්තවත් අපි බලන්නේ නෑ. අපිත් ඔබවහන්සේ වගේ ම ඒ ගමන එන්ට කැමැතියි.” “හොඳා…. එහෙනම් හොඳ කල්පනාවෙන් ගමනට එන්ට ඕනෑ” කියලා ඒ පස්දෙනාත් සමඟ තක්ෂිලා බලා පිටත් වුණා.

බෝසත් කුමාරයා පස්දෙනාත් සමඟ අමනුෂ්‍ය අධිගෘහිත ප්‍රදේශ මැදින් යන්ට පටන් ගත්තා. යකින්නියෝ අලංකාර නිවාස මවාගෙන මග බලමින් වාඩිවෙලා සිටියා. ඔවුන්ගේ මනමෝහනීය රූප ශෝභාව දුටු එක්කෙනෙකුගේ සිත තදින් ම ඒ කෙරෙහි ඇදී ගියා. එතකොට ඔහු එතැන නැවතුනා.

“මොකද මිත්‍රය නැවතුනේ…. හා…. යමු. මෙතැන නවතින එක හොඳ දෙයක් නොවේ.”

“අනේ දේවයිනි, මගේ පා රිදෙනවා. ඔයාලා යන්ට. මං මෙතැන ටිකාක් ගිමන් හැරලා එන්නම්”

“මේ…. මතක නැද්ද මං කියපු දේ…. ඔය ඉන්නේ මනුෂ්‍ය ස්ත්‍රීන් නොවේ. යකින්නියෝ. ඕකුන්ට අහු වෙන්ට එපා.”

“අනේ දේවයිනි, එහෙම එකක් නොවේ. මට දැන් කොහේවත් යන්ට පුළුවන් කමක් නෑ. මං ටිකාක් විවේක ගන්ට ම ඕනෑ.”

“එහෙනම් මට කරන්ට දෙයක් නෑ. තමන්ට තේරේවි.” කියල බෝධිසත්වයෝ අනික් සතර දෙනා සමඟ පිටත් වුණා. මිනිස් වෙස් ගත් යකින්නිට රැවටුනු ඒ පුරුෂයා ඔවුන්ට ගොදුරු වෙලා විනාශයට පත් වුණා.

පිරිස තව ටික දුරක් යද්දී යකින්නියෝ කලින් ම ගිහින් ශාලාවක් මවාගෙන ඉතාමත් කර්ණ රසායන කන්කළු ගී නදින් ගායනා කරමින් සිටියා. සින්දුවක් අහලම යන්ට ඕනෑ කියා එතැනත් එක්කෙනෙක් නැවතුනා. යකින්නියෝ ඔහුවත් අනුභව කළා. ඉතිරි තුන්දෙනාත් සමඟ බෝසත් කුමාරයා තව ටික දුරක් යද්දී යකින්නියන් ගිහින් සුවඳ කරඬුවල සුවඳ වර්ග පුරවා ගත් වෙළඳ සැලක් මැව්වා. ඔවුන්ට සුවඳ වර්ග ගන්ට කතා කළා. බෝසත් කුමාරයා එපා කියද්දී සුවඳ වෙළඳ සැලේ තව කෙනෙක් නැවතුනා. ඔහුත් යකින්නියන්ගේ ආහාර බවට පත් වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here