ගුරුළු කැදැල්ල ගැන කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අප භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් බුදුසසුන පිහිටුවා වදාළේ සියලු සත්වයන් කෙරෙහි ම පතළ මහා කරුණාවෙන් ම යි. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට පැන් වළඳින විට ඒ පැන් පෙරා ගැනීම පිණිස පෙරහන්කඩක් භාවිතා කරන්ට කියා නියමයකුත් පණවා වදාළා. අපි දැන් කියන්ට යන්නේ එයට අදාළ කුලාවක නම් ජාතක කතාව.
ඒ දවස්වල අප ගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩ සිටියේ. එක්තරා යහළු භික්ෂූන් දෙනමක් සැවැත් නුවරින් පිටත් වෙලා වෙනත් ජනපදයකට ගියා. එහි පහසු ස්ථානයක සුවසේ වාසය කළා. ‘අපි භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට යමු’ කියලා ඒ දෙනම සැවැත් නුවර බලා පිටත් වුනා. එක නමකගේ අතේ පෙරහන්කඩක් තිබුනා. අනිත් නම ළඟ නෑ. ඒ නිසා දෙනම පැන් වළඳද්දි ඒ පෙරහන්කඩෙන් පැන් පෙරාගෙන වැළඳුවා. එක දවසක් අතරමගදී ඒ දෙනම අතර වාදයක් හටගත්තා. ඒ නිසා දෙනමගේ කතාබහ නැවතුනා. එතකොට පෙරහන්කඩය තියෙන නම තනියම පැන් පෙරාගෙන වැළඳුවා. අනිත් නමට පැන් පෙරාගන්ට පිළිවෙළක් පෙනුනේ ම නැ. පිපාසය ඉවසා ගන්ට බැරිකම නිසා ම පෙරහන්කඩයකින් නොපෙරාම පැන් වළඳින්ට ඒ නමට සිදු වුනා. ඉතින් මේ දෙනම පිළිවෙළින් ජේතවනයට ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ සැපදුක් අසා වදාළා.
“මහණෙනි, කොහේ ඉඳන් ද ආවේ…?”
“ස්වාමීනී…. අපි කොසොල් ජනපදයේ එක්තරා ගමක වාසය කළා. එතැනින් නික්මිලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ම යි අපි ආවේ”
“ඉතින්… දෙන්නා සමගි සම්පන්නවද ගමන ආවේ…?”
“අනේ ස්වාමීනී…. අතරමගදී මේ භික්ෂුව මාත් සමග වාදයකට පැටලුනා. ඊටපස්සේ මට පැන් වළඳින්ට පෙරහන්කඬේ දුන්නේ නෑ”
“ස්වාමීනී…. මේ භික්ෂුව ළඟ පෙරහන්කඩයක් නෑ. දැන දැනම කුඩා සතුන් ඉන්න පැන් වැළඳුවා”
“හැබෑ ද භික්ෂුව, දැන දැන කුඩා සතුන් ඉන්න පැන් වැළඳුවා ද?”
“එහෙමයි ස්වාමීනී, පෙරහන්කඩයක් නැති නිසා මට නොපෙරූ පැන් වළඳින්ට සිද්ධ වුනා”
“භික්ෂුව…. ඉස්සර හිටිය නුවණැත්තෝ දිව්‍ය නගරයේ රාජ්‍ය කරද්දී යුද්ධයෙන් පැරදිලා මුහුද මතින් පලායද්දි ඉසුරුබව නිසා සතුන්ට විනාශයක් වෙන්ට දෙන්ට බෑ කියලා මහත් යස ඉසුරු අත්හැරලා ගුරුළු පැටවුන්ට අභය දානය දීලා රථය ආපස්සට හැරෙව්වා නොවැ”
එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අපූරු විස්තරය කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ කුලාවක ජාතකය වදාළා.
පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලේ මගධ රටේ රජගහ නුවර මගධ නමින් රජෙක් රාජ්‍ය කළා. මේ කාලෙ ශක්‍ර පදවිය හොබවන සක්දෙව් රජු පෙර ආත්මෙ මගධ රටේ මචල ගමේ නොවැ උපන්නේ. අන්න ඒ විදිහට ම බෝධිසත්වයෝ ඒ මචල ගමේ මහා වැදගත් පවුලක පුත්‍රයෙකුව උපන්නා. නම් තබන දවසේ ඔහුට ‘මඝ කුමාරයා’ යන ලැබුනා. ඔහු තරුණ වුනාට පස්සෙ ‘මඝ මානවක’ නමින් ප්‍රසිද්ධ වුනා. ඔහුගේ මව්පියෝ සමාන ජාතියක පවුලකින් දැරියක් ආවාහ කරවා දුන්නා. මේ මඝ මානවක දූ දරුවන් ද හදාගෙන දන්පැන් දීගෙන හොඳින් වාසය කළා. නිති පන්සිල් රැක්කා. ඒ ගමට තිබුනේ පවුල් තිහයි.
දවසක් ඒ පවුල් තිහේ ම මිනිස්සු ගම මැදට ඇවිත් ගමේ වැඩ කරමින් සිටියා. බෝධිසත්වයෝ තමන් සිටි තැන රමණීය ආකාරයෙන් පිළියෙළ කරලා එතැන සිටගෙන සිටියා. එතකොට වෙන කෙනෙක් ඇවිත් එතැන සිට ගත්තා. බෝධිසත්වයෝ එය ඔහුට ම දීලා වෙන තැනකට ගියා. ගිහින් එතැන හොඳින් පිරිසිදු කරලා සිටගත්තා. එතැනටත් තව කෙනෙක් ඇවිත් සිටගත්තා. බෝධිසත්වයෝ ඒක ඔහුට දුන්නා. ඔය විදිහට බෝධිසත්වයෝ ලස්සනට හදන හදන තැනට එක එක්කෙනා ආ නිසා ඒවා ඔක්කොම දුන්නා. බෝධිසත්වයෝ මෑත කාලයේ එතැන ලස්සන මණ්ඩපයක් කළා. පස්සේ මණ්ඩපය ඉවත් කරලා සාලාවක් කළා. එහි වාඩිවෙන්ට ලෑලි වලින් ආසන තැනුවා. පැන් තලියක් තිබ්බා. කල් යද්දී පවුල් තිහේම මිනිස්සු බෝධිසත්වයන් ගේ අදහසට ම එකතු වුනා. එතකොට බෝධිසත්වයෝ ඒ සියලු දෙනාම පන්සිල් වල හික්මෙන්ට සැලැස්සුවා. හැමෝ ම එකතු වෙලා පින් කරන්ට පටන් ගත්තා.
ඒ හැමෝ ම පාන්දරින් අවදි වුනා. බෝධිසත්වයන් සමග එකතු වෙලා වෑ, පොරෝ, කුළුගෙඩි ආදිය අරගෙන මහා මාර්ගයේ බාධා පිණිස තියෙන ගල් උදුරා ඉවත් කළා. කරත්ත වල රෝද වදින්න පුළුවන් ගස් ඉවත් කළා. වලගොඩැලි සම කළා. සමහර තැන්වලට පාලම් සැදුවා. පොකුණු හැදුවා. සාලා හැදුවා. දන් දුන්නා. සිල් රැක්කා. ඔය විදිහට ගමේ හැමෝ ම බෝධිසත්වයන් සමග එක්සත්ව එක්සිත්ව කටයුතු කළා.
ඒ ගමෙන් අය බදු ගන්නා ගම්මුලාදෑනියාට මෙය ප්‍රශ්නයක් වුනා. ඔහු මෙහෙම හිතුවා. “මේක හරි වැඩක් නොවැ…. ඉස්සර මේ ගමේ එවුන් සුරාපානයට ඇබ්බැහි වෙලා සිටියා. සතුන් දඩයමේ ගියා. ඔවුන්ට දුන් දඬුවම් හැටියට මට හැළිවලං ලැබුනා. කහවණු ලැබුනා. වෙනත් තෑගි ලැබුනා. මඝ කියලා එකෙක් ඇවිත් මෙවුන්ට සිල් රක්කවන්ට ඕනෑ කියලා දඩයමක් කරගන්ට දෙන්නෙත් නෑ. හොඳයි මං ඕකුන්ට පන්සිල් රක්කවන්නම්” කියලා හොඳටෝ ම කිපුනා. රජ්ජුරුවෝ බැහැදැක ඔවුන්ට විරුද්ධව නොයෙක් දේ කිව්වා. “දේවයන් වහන්ස…. මහා විනාශයක් වෙලා තියෙන්නේ. මචල ගමේ හොරු රංචුවක් බිහි වෙලා මොකෝවත් කරගන්ට විදිහක් නෑ. ගම් වනසනවා. පෞරාණික චාරිත්‍ර ධර්ම වනසනවා. මඝ කියලා එකෙක් මේ විපැත්තියට මුල් වෙලා තියෙන්නේ”
රජ්ජුරුවෝ ගම්මුලාදෑණියා ගේ වචනය විශ්වාස කළා. ‘ඔවුන්ව කුදලාගෙන වරෙව්’ කියලා අණ කළා. එතකොට ගම්මුලාදෑණියා ම මුල් වෙලා සියලු දෙනාව ම මාංචු දාලා එක්කගෙන ආවා.
“දේවයන් වහන්ස…. මේන් ඉන්නවා…. රට වනසන හොරු ටික”
“හා… එහෙමද…. එහෙනම් මේකුන්ව ඇත් රජා ලවා පාගවා මරන්ට ඕනෑ” කියලා අණ කළා.
සියලු දෙනාව ම රජමිදුලට අරගෙන ගිහින් බිම වැතිරෙව්වා. බෝධිසත්වයෝ තම පිරිසට අවවාද කළා. “එක්කෙනෙක් වත් නපුරු සිතක් ඇතිකරගන්ට එපා. තමන් මෙතෙක් කල් ආරක්ෂා කළ සිල්පද ගැන හොඳින් සිතට ගන්ට ඕනෑ. ඒ වගේ ම අපට විරුද්ධව බොරු කේළාම් කියපු ගම්මුලාදෑණියා ගැනත්, රජ්ජුරුවෝ ගැනත්, අපිව පාගන්ට එන ඇතා ගැනත්, තමන්ගේ සරීරය ගැනත් එක සමාන මෛත්‍රියක් ඇතිකරගන්ට ඕනෑ” ඒ පිරිසත් අවවාදය අකුරට පිළිපැද්දා.
ඔවුන්ව පාගවන්ට ඇතාව ගෙන්නුවා විතරයි. ඌ ළඟටවත් ආවේ නෑ. මරලතෝනි හඬ දීගෙන පලා ගියා. තව තව ඇත්තු ගෙනාවත් ඔවුනුත් හඬතල දීගෙන පැනලා දිව්වා. රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.
“ඕකුන්ගේ අතේ බලගතු ඖෂධයක් ඇති. ගිහින් බලාපියව්” එතකොට සේවකයෝ සියල්ලන් ගේ ම අත් පරීක්ෂා කළා.
Saru FM Media