ළමයින් අපහරණය කරන අයට කළ යුතු සමාජ සත්කාරය

0
6

මනුස්ස සමාජයේ පරිහානිය නිරූපණය කරන සිද්ධියක් සහ එම සිද්ධියට වගකිවයුතු අපරාධකාරයකුට දුන් දඬුවමක් පිළිබඳ කතාවක් අද දිවයිනේ පළවෙයි. මීට අවුරුදු එකොළහකට පෙර එවකට අවුරුදු 57 ක් වයස වූ ස්කූල් වෑන් රියැදුරකු විසින් තම වාහනයේ ගමන් කළ එවකට නව හැවිරිදි වූ දැරියක දූෂණය කළේය. මේ සම්බන්ධයෙන් නඩුව අවුරුදු 11ක් පුරා අසන ලද අතර, ඒ පිළිබඳ නඩු තීන්දුව ගරු අධිකරණය වෙතින් ඊයේ ලැබිණ. මෙම තීන්දුවට අනුව ළමා අපචාරකයා අවුරුදු 25ක් බරපතළ වැඩ ඇතිව හිරේ ලැගිය යුතු ය. ඊට අමතරව ඔහුට රුපියල් 60,000 ක දඩයක් ද නියම කර ඇත. ඊටත් අමතරව අපහරණය වූ දැරිය වෙනුවෙන් රුපියල් පන්ලක්‍ෂයක වන්දියක් ගෙවිය යුතු බව ද නියම කර ඇත. මේ දඩය සහ වන්දිය පෙර කී ළමා අපචාරකයා විසින් නොගෙව්වොත් තවත් වැඩිපුර හිරදඬුවම් කාලයක් ඔහුට හිමිවෙයි. සිද්ධිය වූ අවස්ථාවේ දී අවුරුදු පනස් හතක් වූ ළමා දූෂකයා අද හැට අටවන වියේ පසුවෙයි.

මීට අවුරුදු එකොළහකට පෙර පාසල් වෑන් එක යනු දරුවන්ට ඉතාම අනාරක්‍ෂිත තැනකි. පාසල් වෑන් රියැදුරෝ විවිධ පාළු තැන්වල වෑන් නවත්වා ඒවායේ ගමන් කරන පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් අපහරණය කළහ. එහෙත් කුඩා දරුවන්ගේ සාක්‍ෂි ශක්තිමත් නොවන බැවින් සිද්ධිය වූ අවස්ථාවේදීම පැමිණිල්ලක් කළොත් මිස, අදාළ නඩු ඔප්පු කිරීම දුෂ්කර ය. මෙවැනි අපරාධකාරයන් පොලිසියට ගෙන ගිය විට සමහර රාලහාමිලා එම අපරාධකාරයෝ වෙනුවෙන් පාටියක් දමති. ඒ පාටියේ දී බයිට් එක වශයෙන් ගනු ලබන්නේ අපරාධකාරයා ය. මෙය බැලූ බැල්මට නරක ප්‍රවණතාවක් වුවද ගැඹුරින් බලන විට යහපත් ප්‍රවණතාවකි. කෙසේ හෝ වේවා මෙවැනි අපරාධකරුවන් දඬුවමට ලක් කළ යුතුම ය.

ස්කූල් වෑන් ව්‍යාපාරය අනාරක්‍ෂිත ව්‍යාපාරයක් බවට පත්වීමෙන් පසු ආණ්ඩුව එම අනාරක්‍ෂාව මඟහැරීම සඳහා අලුත් පියවරක් ගත්තේ ය. එනම් සෑම ස්කූල් වෑන් එකකටම වැඩිහිටි කාන්තාවක් ද අනුයුක්ත කිරීම ය. මේ කාන්තාව දරුවන් වෑන් රථයේ සිටින මුළු කාලය තුළම වෑන් රථයේ රැඳී සිටිය යුතු ය. එවිට වනචර වැඩ කිරීමට වෑන් අංකල්ට අවස්ථාව නොලැබේ. එහෙත් ඉතා දරුණු අමාරුකම් ඇති වෑන් අංකල්ලා ළමයින්ගේ පරිස්සමට සිටින ඇන්ටි සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ තිබේ. එතැනින් නියම ගින්නක් පත්තුවන අතර ඇන්ටි චරිතවත් කෙනෙක් නම් අංකල්ට සිදුවන්නේ දත් ඇඳි දෙකම නැතිව බත් කෑමට ය. ලංකාවේ ළමා ප්‍රජාව දිනෙන් දිනම අනාරක්‍ෂිත වෙමින් සිටිති. ළමයින්ගේ ආරක්‍ෂාවට ළමා හා කාන්තා කාර්යාංශය ද වෙනම පොලිසියක් ද පිහිටුවා තිබේ. එසේම ලංකාවේ සෑම ප්‍රධාන පොලිසියකම ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ ගැන ක්‍රියා කිරීම සඳහා අංශයක් තිබේ. බොහෝ විට මෙම අංශය භාරව සිටින්නේ කාන්තා පොලිස් නිලධාරිනියකි. ඒ කොපමණ සිටියත් අපරාධ එලෙසම සිදුවෙයි. මෙහෙම වුණොත් ලංකාවේ සෑම ගෙදරකම පොලිස් නිලධාරියකු නැවැත්වීමටත්, ලංකාවේ සෑම පාසලකටම පොලිසියෙන් දැමීමටත්, ලංකාවේ සෑම ටියුෂන් පන්තියක්ම පොලිස් ආවේක්‍ෂණය යටතේ තැබීමටත් සිදුවන බව කිව යුතුය. අපගේ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාව තුළ අඩුම වශයෙන් ස්කූල් වෑන් විසිදහසක්වත් තිබේ. මේ සෑම වෑන් එකකටම පොලිස් නිලධාරියකු බැගින් නැග්ගුවොත් අපචාර ක්‍රියා වළක්වා ගත හැකි ය. එහෙත් ලංකාවේ පොලිසියේ සිටින සම්පූර්ණ ශ්‍රම බළකාය අනූදහසකි. අමතර රාලහාමිලා දහදොළොස් දහසක අඩුවක් පොලිසියට තිබේ. එබැවින් අප විසින් පෙර කියන ලද පරිදි සෑම නිවෙසකමත්, සෑම පාසලකමත්, සෑම ටියුෂන් පන්තියකමත්, සෑම ස්කූල් වෑන් එකකමත් සිදුවන අපහරණ නැවැත්වීමට පොලිසිය යෙදවීමට සිදුවුවහොත් ලංකාවේ පොලිසිය පමණක් නොව මුළුමහත් ආසියා මහාද්වීපයේම පොලිස් නිලධාරීන් මෙරටට ගෙන්වීමට සිදුවෙයි. එවිට ක්‍ෂණිකව රටේ ජනගහනය දෙගුණ වෙයි. එබැවින් මේ රටේ ජනයා කළ යුත්තේ හෘදසාක්‍ෂියට එකඟව කටයුතු කරමින් කාම අපරාධවලින් වැළකී සිටීම ය. දැයේ දරුවන් පණමෙන් අප රැක ගත යුතුයි. එවිට හිරේ යෑමටත්, දඩ ගෙවීමටත්, වන්දි ගෙවීමටත් සිදුවන්නේ නැත. උත්තරීතර අධිකරණය දුන්න දඬුවමට අපි අපේ ආචාරය පුදකරමු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here