ළමුන්ට හා වැඩිහිටියන්ට සුරක්‍ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලු දෙනාම එක්විය යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කර ඇති ලෝක ළමා හා වැඩිහිටි දින පණිවුඩයෙහි දැක්වේ.
එහි මෙසේ ද සඳහන් වේ.
රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුර ය. ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිලිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දර ය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමකි. අයිතීන් සමග යුතුකම් සහ වගකීම් ද නිර්මාණය වන බව අවබෝධ කරගත් රජයක් ලෙස අපි සැමවිටම ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටිමු. එසේම, ළමයා යනු කවුරුන්ද යන්න වඩා ප්‍රායෝගික සහ පරිපූර්ණ ලෙස නිර්වචනය කරමින් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනයට අවශ්‍ය මැදිහත්වීම අපි ඉටුකරමින් සිටිමු.
එහිදී සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්‍ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටියි. පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු කළෙමු. එවන් මොහොතක “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව අපි විශ්වාස කරන්නෙමු.
මෙම විශේෂ දිනයේදී අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්‍ෂාව ලබාදීමට අපි නැවත ප්‍රතිඥා දෙමු. ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තියයි. එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමනයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමමු.
Saru FM Media