ළදරු පාසැලක් තෝරද්දී බැලිය යුතුම කරුණු

0
14


මෙතෙක් කාලයක් අම්මා තාත්තාගේ සෙවනේ සිටි සුරතල් පැටියා දැන් ළදරු පාසලට ඇතුලත් කිරීමට කාලය ඇවිත්. තවත් වසරකින් දෙකකින් දිනපතා පාසලට ඇතුලත් කිරීමේ පෙරහුරුව දරුවා ලබන්නේ අද දවසේ ළදරුපාසල තුලින්. ඇතැම් දෙමව්පියන්ට ළදරු පාසල තෝරා ගැනීමත් දිනපතා පාසල තෝරා ගැනීමට සමාන මහමෙරක බරක් දැනෙන කටයුත්තක්. ඒ වගේම තවත් අයගේ අනුමානයක් වී තිබෙන්නේ ජනප්‍රිය පාසලක් ආසලක පිහිටි ළදරු පාසලකට දරුවා ඇතුලත් වුනොත් එය ජනප්‍රිය පාසලට ඇතුලත් කිරීමට වඩාත් වාසිදායක විය හැකි පියවරක් බවයි. මේ නිසා ඇතැම් ළදරු පාසල්ද ජනප්‍රිය ලැයිස්තුගතව තිබෙන අතර ඒ ලැයිස්තුවේ ළදරු පාසලකට දරුවා ඇතුලත් කිරීමට දෙමව්පියන් මහත් සේ වෙහෙසක් දරනවා. නමුත් අපි දරුවා වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගන්නේ කොහොමද…?

ළදරු පාසලකින් සිද්ධ වෙන පූර්ව ළමා විය සංවර්ධනය නිසි පරිදි සිදු නොවුනහොත් ඇති වෙන තත්වය බරපතලයි. ඒ නිසා දරුවා වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගැනීමේදී එහි ගුණාත්මක බව ගැන සැලකිලිමත් වීම වැදගත්. ළමාමනෝවිද්‍යා ගැන කිසිම අවබෝධයක් නැති ව්‍යාපාරික අරමුණු මත පවත්වා ගෙන යන ළදරුපාසලේ පිටතින් තිබෙන වෛවාර්ණබවට පමණක් රැවටෙන්න එපා. එවැනි පාසලකින් දරුවාගේ මානසික සංවර්ධනයට කිසිම යහපතක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ළදරු පාසලක් තෝරා ගැනීමේදී එහි ගුනාත්මක බව ගැන කල් තබා ඔබට තොරතුරු විමසා දැන ගැනීමට කලාය තිබෙන නිසා නිතරම ගුණාත්මක ළදරු පාසලක් වෙත යොමු වීම වැදගත්.

දරුවාගේ ඉගෙනුම් කටයුතු ගැන ඔබ එතරම් හිත කලබල කර ගත යුතු නැහැ. අකුරු දරුවාට ක්‍රමයෙන් ඉගෙන ගැනීමට ඉඩ හරිනවා විනා ආයාසයෙන් ඒවා ඇතුලු කිරීමට වෙහෙස නොවන්න. ඊට වඩා ඔබ අවධානය දැක්විය යුත්තේ ළදරු මනස කොතරම් දුරට තේරුම් ගැනීමට මේ ළදරු පාසලෙන් ලැබෙන පිටුවහල ගැනයි. බ්‍රතාන්‍ය විල්කොන්ස් ළදරු (Willcockes) පාසලට දරුවා ඇතුලත් කළ දිනයේදී අම්මා හෝ තාත්තාට ඔවුන් සමග නැවතී සෙල්ලම් කිරීමටත් ඉඩ ලැබෙනවා. එදිනට සෙල්ලමට කැමැති ක්‍රිඩා භාණ්ඩයක් රැගෙන ආ යුතු අතර දරුවා නිවසට යන විට ගුරුතුමියගේ ඡායාරූපයක් ඔවුන්ට ලබා දෙනවා. දරුවා සහ ගුරුතුමිය අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට එයින් බලාපොරොත්තු වෙනවා.මෙහිදී දරුවන්ට උගන්වන්නේ  මැටි වැඩ, කවි, ගීත ගායනාවන් වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම් පමණයි.

ළදරු පාසලක් තෝරා ගන්නා විට එහි පරිසරයත් දරුවාගේ මනසට විවේකයක් ලැබෙන සේ තිබෙනවා නම් හොදයි. ගස් කොලං පිරි පරිසරයක් දරුවාගේ දවස ගෙවන්නට ඉතා වටිනා තෝතැන්නක්. අද හැම දරුවෙක්ම ජීවත්වෙන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල නිසා අවම වශයෙන් මේ සීමිත කාලයේදීවත් හීල් හෙවනක ඔවුන්ට කාලය ගෙවන්න ඉඩ ලැබෙනවා නම් මොන තරම් අපූරුදැයි ඔබටත් හිතේවි.

දරුවෙක් වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගන්නා විට එය සමීප ස්ථානයක පිහිටා තිබීම ඉතාම වැදගත්. අනවශ්‍ය ලෙසින් දුරකතර ගෙවනවාට වඩා සමීප වූද ගුණාත්මක පාසලක් තිබෙනවා නම් එට බොහෝ සේ වටිනවා. දරුවාට වෙහෙසක් නැතුවා වගේම ඉතා සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ලැබෙන්නේ ඉතාම සීමිතවයි. ඒ නිසා බොහොම ආසන්නයෙන් ළදරු පාසලක් තෝරා ගැනීමත් නුවණට හුරුයි.

ළදරු පාසලක් තෝරා ගන්නා විට නිල ඇඳුමක් තිබෙනවා නම් එය එක්තරා ආකාරයක වාසියක්. ඒත් නිල ඇඳුම ළදරු පාසල තෝරා ගැනීමේදී අනිවාර්ය නිර්ණායකය ‍නොවෙයි. නමුත් විවිධ තරාතිරම් ඇති දරුවන් අතර ඇදුම් පැලදුම් ගැන වෙහෙස ඇති වෙන්නේ අම්මලාටනේ… ඒ නිසා අනවශ්‍ය වැය බරක් නැතුව තමන්ගේ ආර්ථිකයට ගැලපෙන විදිහට වගේම දරුවන් අතරත් සමානතාවයක් ඇති වීමට නිල ඇඳුමක් තිබුනොත් ඉතාම අගෙයි.

“ඔන්න ඉතින් හොඳම ළදරුපාසලට දරුවා දැම්මා….” කියන මානසිකත්වයෙන් දැන් සෑහීමට පත් වෙන්න එපා. මේ ආගන්තුක පරිසරයේදී දරුවා විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනු ඇති. සමහර විට ඇතැම් සිදුවීම් නිසාම දරුවාට ළදරු පාසල අප්‍රියජක පරිසරයක් වේවි. ඒ නිසා නිතරම අද දවසේ සිදුවීම් ගැන දරුවා සමග කතා බහ කරන්න. එවිට ඔහුගේ මානසිකත්වය ගැන තේරුම් ගැනීමට වගේම ළදරු පාසල් පරිසරයේදී ඇති වෙන විවිධ හැලහැප්පීම් ගැන තොරතුරු දරුවා වෙතින්ම ලබා ගැනීමට පුලුවනි.

දැන් ඉතින් කාර්යය තිබෙන්නේ ගුරුවරයාටයි කියා දෙමව්පියන්ට නිහඩ වෙන්න බැහැ. දරුවාගේ හැකියාවන් සමග නොහැකියාවන්ද, වෙනත් විවිධ හැසිරීම් රටාවන්ච හොඳින්ම දන්නේ ගුරුවරයාය. දරුවා ගැන ඔබ දැන සිටියත් සමවයස් කණ්ඩායම් අතර ඔවුන්ගේ හැසිරීම් ඉතා හොදින් හදුනන්නේ ගුරුවරයාය. ඒ නිසා නිතරම ඔවුන් සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න. එය ගුරුවරුන්ටත් ඉතා පහසු කටයුත්තක් වෙන්නේ යම් තොරතුරක් දෙමව්පියන්ට දැණුම් දීම ඇවැසි නම් එය ඉතා පහසුවෙන්ම කර ගැනීමට ඔබ ගුරුවරුන් සමග ගොඩ නගා ගත් සම්බන්ධතාවයන් හේතු වෙනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here