ළදරු පාසලක් තෝරන විට…

0
10


පසුගිය දිනක කේට් සහ විලියම් කුමරුගේ දියණිය ළදරු පාසලට ඇතුලත් කරනු ලැබුවා. ඇය ඇතුලත් කරනු ලැබුවේ විල්කොක්ස් (Willcockes) ළදරු පාසලටයි. ඇය ඇඳ සිටි රතුපැහැති ගවුමේ කර වටා රෝස පැහැති ස්කාෆ් ලේන්සුවක් ගැට ගසා තිබුනා. කොණ්ඩය පැත්තකට පීරා පුංචි පෝනිටේලයක් සහිත හිස කෙස් සැකසුමක් සහිත ඇය මුලින්ම කැමරාවට හසුකර ගනු ලැබුවේ ඇගේ මව කේට් කුමරිය විසින් වීම ඉතාම වැදගත්. කොහොම වුනත් කේට් කුමරියට අවශ්‍ය වන්නේ ඇගේ පවුල මාධ්‍ය ජාලයන්ගේ සහ වෙනත් මුද්‍රිත මාධ්‍යන්ට හසු වීමට පෙරාතුව ඉතාම නැවුම් ලෙස ඇයගේ කැමරාවට හසු කර ගැනීමටයි.

පංතියට ඇතුලත් කරනු ලද චාලට් කුමරිය පංතියේ නවතා දෙමව්පියන් යෑමට සැරසෙන විට ඇය අම්මාට සහ තාත්තාට තමා සමග සෙල්ලම් කිරීමට ටිකක් නවතින ලෙස ඉල්ලා සිටියා. අම්මලාට ඉන්න අවසර නැහැ.කියලා බලධාරින් මව්පියන්ගෙන් දරුවා උදුරා ගත්තේ නැහැ. අපේ අම්මලාට වගේම ළදරු පාසල් ගුරුවරුන්ටත් ළදරුපාසල් යන දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය ගැන බොහෝ දේ දැනගැනීමට මෙය ඉතාම හොඳ අවස්ථාවක්.

මව්පියන්ගේ ආදරයෙන් සහ අවධානයෙන් සිටින දරුවා මුලින්ම ඔවුන්ගෙන් ඈත් වෙලා පා තබන්නේ ළදරු පාසලට. ඒ නිසා ළදරුපාසල දරුවාට ඉතාම ප්‍රසන්න තැනක් වීම අවශ්‍ය වෙනවා. බොහෝ දෙනෙක් ළදරුපාසල් පටන් ගන්නේ තමන්ගේ ආර්ථිකයට මිසක අනාගත පරම්පරාව වෙනුවෙන් අවශ්‍ය පෞරෂය ගොඩ නගන අදහසින් නොවෙයි. ඇත්තටම තමන්ගේ ස්වාධීන සහ ඉතාම රසවත් ලෙසින් දරුවන්ගේ ලෝකයට පිවිසිය හැකි ළදරු පාසලකින් ජීවත්වීම කිසිම වරදක් නැහැ. ඒ වුනත් මේ ගුරු වෘතත්ියේ යෙදෙනවානම් ඒ වෙනුවෙන් ළමා සංවර්ධරනය ගැන අධ්‍යාපනය ලැබීම ඉතාම වැදගත්.

ඇතැම් අම්මලා තමාගේ දරුවාට ළදරු පාසලක් තෝරා ගන්නා විට මුලින්ම අහන පැනයක් තිබෙනවා. ඒ මොන්ටිසෝරියේ අකුරු උගන්වනවාද…? ඔවුන්ට තිබෙන ප්‍රශ්නය එයයි. අහවලාගේ දරුවා දිනපතා පාසලට යන විට සේරම අකුරු ලියන්න කියන්න දන්නවා. ඔක්කොම ඉගෙන ගත්තේ නර්සරියෙන්..මේ වගේ ආකල්ප අම්මලා තුල තිබුනත් ඇත්තටම දරුවන්ට මේ කාලයේ උගන්වන්නේ අකුරු නොවෙයි..අනාගතයේ අකුරු ලිවීමට අවශ්‍ය හැඩතල විතරයි. ඒ නිසා ළදරු පාසලක් තෝරා ගන්නා විට කිසිම විදහකින් අකුරු උගන්වන ළදරු පාසල් සොයන්න එපා.

ළදරු පාසල් යන තමන්ගේ දරුවා ගැන දෙමව්පියන්ට පසුතැවිලි ඇති වෙන තවත් හේතු තිබෙනවා. අනේ ඒ මොන්ටිසෝරියේ උගන්වන්නේ සෙල්ලම් කරන්නයි..කවි කථන්දර විතරයි…මේ ගැන ඔබ කිසිසේත්ම පසුතැවිලි වෙන්න එපා. චාර්ලට් කුමරිය ළදරුපැසලට ඇතුලත් කරනු ලබන විට ඇයට වයස අවුරුදු දෙකහමාරක් පමණ  වෙනවා. විල්කොක්ස් ළදරු පාසලේ මුල් වසර පුරාවටම උගන්වන්නේ මැටි වැඩ සහ කවි සින්දු පමණයි. ඒ ගැන රාජකීය පවුල ළදරුපාසල් අධ්‍යාපනය ගැන කලකිරෙන්නේ නැහැ. ළදරු මනසට මේ කාලයට අවශ්‍ය වන්නේ හසුරු කුසලතාවයන් දියුණු කර ගැනීමට අවශ්‍ය පරිසරය බව අමතක කරන්න එපා.

විල්කොක්ස් ළදරුපාසලට පැමිනෙන මුල් දිනයේදී දරුවා තමා කැමැති සෙල්ලම් බඩුවක් පාසලට අරගෙන එනවා. එයින් දරුවාගේ අලුත් පරිසරයේදී ඇති වෙන බිය සැක නොදැනීම නැතිව යනවා. ඒ වගේම පාසලේ ගුරුතුමිය විසින් ඇගේ ඡායාරූපයක් දරුවාට එදිනට ලබා දෙනවා. ඒ ඡායාරූපය දරුවා තමාගේ කාමරයේ හෝ වෙනත් තැනක නිතර පෙනෙන සේ තබා ගන්නවා. එයින් සිද්ධ වෙන්නේ දරුවා සහ ගුරුතුමිය අතර ඉතාම ශක්තිමත් මානසික් බැඳීමක් ගොඩ නැගීමයි.ළදරුපාසලේ ගුරුතුමිය දරුවන් මට්ටු කිරීමට යැයි සිතමින් මවා ගත් හෝ අනවශ්‍ය පෞරෂයක් ගොඩ නගා ගත යුතු නැහැ. ඇය නිතරම දරුවාගේ තැනට පමණක් නොව ඔවුන්ගේ හිත කියවන තැනට පත් විය යුතුයි.

හා පුරා කියා ළදරු පාසලට ඇතුලත් වෙන දරුවන් ඉතාම ආවේගශීලි විදිහට හැසිරෙන අවස්ථාවන් තිබෙනවා. ඇතැම් දරුවන් ළදරුපාසලට ඇවිත් එහි ඉන්න බැහැ කියමින් දෙමව්පියන්ට සහ ගුරුතුමියට පවා පහර දෙනවා.මේවා ගැන එතරම් කම්පා වෙන්න එපා. දරුවා පරිසරයට හුරු වෙන විට මේවා නොදැනීම නිවරැදි වෙනවා. ඒත් සමහර ළදරු පාසල් ගුරුවරුන්ගේ නොදැනුවත්කම නිසා දරුවාගේ මෙම හැසිරීම් ඉතා දැඩි සේ හෙලා දකිනවා. ඇතැම් අවස්ථාවන්හි අසභ්‍ය වචන පවා දරුවන්ගෙන් පිට වෙනන් පුලුවන්. දරුවන් කියන්නේ තේරුම් ගත නොහැකි පිරිසක්. අම්මා , තාත්තා නොහිතන ඔවුන් කිසිසේත් කථා නොකරන වචන පවා මෙවන් අවස්ථාවන්හිදි පිට වෙනවා. දරුවෙක් ආවේගයට මේ අන්දමින් වචන පිට කළ විට එය මුල් කර ගෙන ඔවුන් තක්සේරු නොකිරීමටත් ගුරුවරුන් විසින් වග බලා ගත යුතුයි.

අපේ දෙමව්පියන්ගේ එකම හීනය වෙන්නේ ළදරුපාසල වුනත් හොඳම ළදරුපාසල තෝරා ගැනීමයි. මේ නිසාම අපි උදේ හවස දකින ඉතාම සංවේදී දසුනක් තිබෙනවා. දුර බැහැර සිට බැරිබර කරේ තබා ගෙන කර දරුවා පින්නා ගෙන ළදරු පාසලට ඇදෙන මව්වරුන් අපි අතර ඉතාම සුලබයි. මේ දරුවන් පාන්දරින් පැමිනෙන නිසා මවගේ උකුලේ නිදාගෙන ළදරු පාසල ආසන්නයේදිත් අවදි කර ගන්නේ ඉතාම අපහසුවෙන්. දරුවාට ඇති වෙන වෙහෙස ගැන අම්මාට තාත්තාට තේරෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ දුව හෝ පුතා අහවල් නගරයේ අහවල් හෙවත් ජනප්‍රියම ළදරු පාසලට යන බවට උද්දාමයට පත් වීමයි. හොඳ ළදරු පාසලකින් හොද දේ ලැබෙන බව සැබෑ වුනත් ඊටත් වඩා දරුවාට ඇති වෙන වෙහෙස නිසා ළඟම ළදරුපාසල තෝරා ගෙන අවශ්‍ය පන්නරය ඔබෙන් ලබා දීම නරකද…?

මව්පියන් වගේම ළදරුපාසලේ ගුරුතුමිය දරුවාගේ හැසිරීම ගැන වැඩි අවධානයක් දක්වනන් අවශ්‍යයි. අපි හැම දෙනෙක්ම ආගන්තුක පරිසරයේදී විවිධ ප්‍රතිචාර දක්වනවා. ඒවා ධනාත්මක විදිහට වගේම සෘනාත්මක විය හැකියි. ළදරුපාසලට ඇතුලත් වුන දරුවටත් මේ ආගන්තුක පරිසරයේ විවිධ හැලහැප්පීම් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා දෙමව්පියන් වගේම පාසලේ ගුරුතුමියන් විසිනුත් අලුත් බබාලාගේ හැසිරීම ගැන වැඩි අවධානයක් දක්වා සිටීම වගේම ඔවුන්ගේ යම් යම් අපහසුතාවයන් වෙතොත් ඒ ගැන පසුවිපරම් කිරීමත් ඉතාම වැදගත්. එසේ නොමැතිම මේ මානසික හැලහැප්පීම් සමග දරුවා ඉදිරියට ගියොත් ඔවුන්ට ළදරු පාසල එතරම් සුවදායක තැනක් බවට පත් වීමට තිබෙන ඉඩ කඩ නොදැනීම නැති වෙන බවටත් අවදානමක් තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here