අච්චාරු කිව්වොත් ඉතින් අපිට නානාප්‍රකාර විදියට හදන්න පුළුවන් නේ. පළතුරු අච්චාරු, කල් තියාගන්න හදන අච්චාරු වගේම ව්‍යාංජන විදියට හදාගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියනවා. ඒවයින් ගොඩක්ම රසවත් වගේම කල් තියාගන්නත් පුළුවන් අච්චාරු වර්ග ටිකක් තමයි අද ගෙනාවේ.
1. මාළු මිරිස් අච්චාරු

Image Source -culinarycornerkitchen.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු මිරිස් කරල් 25ක් පමණ
- තීරුවලට කපාගත් අමු ගස්ලබු මේස හැඳි 3ක්
- අමුමිරිස් කරල් 5ක්
- විනාකිරි ලීටර් 1/2
- රතු ළූණු ග්‍රෑම් 250
- සුදු ළූණු ග්‍රෑම් 50
- කහකුඩු ටිකක්
- අඹරාගත් කොත්තමල්ලි මේස හැඳි 1
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- සූදුරු මේස හැඳි 1
- අමු ඉඟුරු කෑලි ග්‍රෑම් 50
- සිහින්ව ලියාගත් කැරට් ග්‍රෑම් 100
- අබ මේස හැඳි 1
- ලුණු කුඩු තේ හැඳි 1ක් පමණ
- මුලින්ම විනාකිරි ටික භාජනේකට දාලා මාළු මිරිස් කරල් ටික දාලා විනාකිරෙන් රත් කරන්න.
- ඊට පස්සෙ මාළුමිරිස් ටික අයින් කරගෙන ගස්ලබු, අමු මිරිස්, රතුළූණු, කැරට්, විනාකිරි වලට දාලා තම්බ ගන්න.
- දැන් මාළු මිරිස් කරල් දික් අතට කපලා මැටි මුට්ටියකට දාගන්න.
- ඒකට විනාකිරෙන් රත් කරගත්තු ගස්ලබු, කැරට්, අමු මිරිස්, රතු ළූණු දමන්න.
- කුඩාවට කපාගත්තු සුදු ළූණු සහ ඉඟුරු තෙල් ටිකකින් තෙම්පරාදු කරලා අබ, ලුණු, විනාකිරි කහකුඩු, අඹරාගත් කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්කුඩු සියල්ල එකට මිශ්‍ර කරලා මාළු මිරිස් එක්ක විනාකිරි දමා සාදාගත්තු ඔක්කොම දාලා තියෙන මුට්ටියට දාලා මිශ්‍ර කරගන්න.
2. සුදු ළූණු අච්චාරු

Image Source – steffisrecipes.com
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදුළූණු ග්‍රෑම් 500
- රතුළූණු ග්‍රෑම් 500
- අමුමිරිස් ග්‍රෑම් 100
- කරපිංචා ග්‍රෑම් 100
- අබ ග්‍රෑම් 50
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- විනාකිරි
- කරාබු නැටි 5ක් පමණ
- තෙල් ලීටර් 1/2
- ලුණු ටිකක්
- මුලින්ම සුදුළූණු පොතු ඇරලා හොඳට හෝදගන්න.
- අමුමිරිස් වෙන් වෙන්නෙ නැති වෙන විදියට දික් අතට පලාගන්න.
- භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා රත් වෙනකොට රතුළූණු, සුදුළූණු, අමු මිරිස්, කරපිංචා ගැඹුරු තෙලේ වෙන වෙනම බැදගන්න.
- මේවා ටික තෙල් බේරෙන්න පැත්තකින් තියන්න.
- ඊට පස්සෙ මැටි මුට්ටියක් අරගෙන තෙල් බේරුණු අමුමිරිස්, රතුළූණු, කරපිංචා, සුදුළූණු සියල්ලම ඒකට දාන්න.
- කුරුඳු පොතු කුඩු කරලා අරන් කරාබුනැටි ,ගම්මිරිස්කුඩු ,අඹරාගත් අබ එක්ක මිශ්‍ර කරලා ලුණුත් ඇති පදම දාලා මැටි මුට්ටියකට දාලා විනාකිරි එක්ක මිශ්‍ර කරන්න.
- මේක මාසයක් උනත් තියාගන්න පුළුවන් .
3. බිලිං අච්චාරු

Image Source – trees.lk
අවශ්‍ය ද්‍රව්‍ය
- වේලාගත් බිලිං ගෙඩි 100ක් පමණ
- විනාකිරි ලීටර් 1
- ලොකුළූණු ග්‍රෑම් 300
- රතුළූණු ග්‍රෑම් 200
- අමුමිරිස් ග්‍රෑම් 50
- ලුණු ටිකක්
- අබ මේස හැඳි 2
- උම්බලකඩ කුඩු මේස හැඳි 5
- කබලේ බැදගත් මිරිස් කරල් 20
- කහ තේ හැඳි 1/4
- සූදුරු තේ හැඳි 1
- කොත්තමල්ලි තේ හැඳි 1
- ගම්මිරිස්කුඩු මේස් හැඳි 2
- තෙල් මේස හැඳි 5
- ලොකුළූණු හතරට පලන්න.
- රතුළූණු වල පොත්ත අයින් කරලා හෝදන්න.
- අමුමිරිස් කරල් වෙන් නොවෙන සේ දික් අතට දෙකට පලන්න.
- භාජනයකට තෙල් දාලා රත් කරලා ළූණු වර්ග දෙකම දාලා බැදගන්න.
- ඊට පස්සෙ අමුමිරිස් බදින්න.
- බිලිං ද ඒ විදියටම බැදගන්න.
- ඒ ටික වෙනම තියලා අබ, කබලේ බැදගත් මිරිස්, ලුණු විනාකිරෙන් අඹරලා භාජනයකට දාන්න.
- ඊට පස්සෙ මේකට කහ, ගම්මිරිස්කුඩු, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ, බිලිං ටික එක්කර රතුළූණු, අමුමිරිස්, ලොකුළූණුද සමඟ අනන්න.
- මේක මැටි මුට්ටියකට දාලා හොඳට කට තද කරලා වහන්න.
- මාස 3ක් උනත් තියාගත්තෑකි
4. මැලේ අච්චාරු

Image Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- රට ඉඳි ග්‍රෑම් 250
- ලොකුළූණු කැබලි ග්‍රෑම් 75
- ඇට රහිත මාළුමිරිස් ග්‍රෑම් 50
- කැරට් පෙති ග්‍රෑම් 100
- අන්නාසි කුඩා කැබලි ග්‍රෑම් 100
- අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 50
- සුදුළූණු ග්‍රෑම් 50
- හකුරු ග්‍රෑම් 100
- ලුණු ටිකක්
- ගම්මිරිස්කුඩු මේසහැඳි 1
- කෑලිමිරිස් මේසහැඳි 1
- විනාකිරි ටිකක්
- තෙල් ස්වල්පයක්
- රට ඉඳි ඇට අයින් කරලා පොඩි කෑලි හිටින්න අඹරගන්න.
- හකුරු ටික ගාගන්න.
- භාජනයකට තෙල් දාලා ලිපේ තියලා ඉඟුරු, සුදුළූණු දාලා බැදෙනකොට රට ඉඳි හා හකුරු එක්කරලා මදගින්නෙ විනාඩි 5ක් විතර අඩිය අල්ලන්නෙ නැතිවෙන්න හැඳිගාන්න.
- ඒකට ගම්මිරිස්කුඩු, ලුණු කුඩු එකතු කරගන්න.
- ඒකට විනාකිරි ටිකක් දාලා උකු මිශ්‍රණයක් වෙන් හදාගන්න.
- දැන් මේකට අන්නාසි, කැරට් දාලා ඒ ටික තැම්බුනාට පස්සෙ අන්තිමට මාළුමිරිස් ටික දාලා හොඳට කලවම් කරලා විනාඩි 3කින් විතර ලිපෙන් බාගන්න. මේක ෆ්‍රිජ් එකේ දාලා ගොඩක් කල් තියාගන්න පුළුවන් .
5. තායි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට පැහුණු ගස්ලබු ගෙඩියක්
- අඹරාගත් අබ ක්‍රීම් මේස හැඳි 2
- විනාකිරි මේස හැඳි 2
- කොච්චි කරල් 8
- සීනි මේස හැඳි 2
- දෙහි යුෂ මේස හැඳි 1
- ලුණු ටිකක්
- ඔලිව් තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 1/2
- ගස්ලබු පොතු ඇරලා හීනියට, ඒ කියන්නෙ ගිණිකූරු සයිස් එකට වගේ කපාගන්න.
- භාජනයකට කපාගත්තු ගස්ලබු ටික දාලා ඒකට දෙහි යුෂ දාලා විනාඩි 45ක් තම්බගන්න.මේක පෙරණයකට දාලා පැත්තකින් තියන්න.
- වංගෙඩියක් අරගෙන ඒකට කොච්චි, ගස්ලබු, අබ ක්‍රීම්, විනාකිරි, දෙහි යුෂ, සීනි, ලුණු ඇති පදමට දාලා ගස්ලබු තැලෙන විදියට කොටන්න.
- ඒ ටික එලියට අරන් ඔලිව් තෙල් ටිකක් ඉහලා කෑමට ගන්නයි තියෙන්නෙ
6. පොලොස් අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට පැහුණු පොලොස් ගෙඩියක්
- රතුළූණු ග්‍රෑම් 200
- අමුමිරිස් ග්‍රෑම් 50
- අබ ක්‍රීම් මේස හැඳි 3
- විනාකිරි මේස හැඳි 1
- ගම්මිරිස් මේස හැඳි 1/2
- සීනි මේස හැඳි 1
- තුනපහ මේස හැඳි 1/2
- මිරිස්කුඩු මේස හැඳි 1/2
- ඉඟුරු , සුදුළූණු මේස හැඳි 1 බැගින්
- සේර ඉත්තක්
- තෙල් ටිකක්
- ලුණු රස අනුව
- පොලොස් ගෙඩිය තරමක කුඩා කෑලි වලට කපලා ලුණුයි ගොරකයි දාලා තම්බලා වතුර පෙරාගන්න.
- භාජනයකට තෙල් දාලා රත් වෙනකොට ඉඟුරු සුදුළූණු දාලා බැදෙන්න අරින්න.
- ඒකට තලාගත්තු සේර කෑල්ල, අබ ක්‍රීම් ටික, විනාකිරි, ගම්මිරිස්, සීනි, තුනපහ කුඩු, මිරිස්කුඩු, ලුණු දාලා කලවම් කරගන්න.
- ඒකට රතුළූණු දාලා විනාඩි 5ක් තැම්බෙන්න ඇරලා පලාගත් අමුමිරිස් දාලා අන්තිමට පොලොස් ටිකත් දාලා කලවම් කරන්න.
7. අන්නාසි අච්චාරු

Image Source – snaped.fns.usda.gov
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට පැහුණු අන්නාසි ගෙඩියක්
- පැහුණු අඹ ගෙඩි 3ක්
- විනාකිරි ලීටර් 1/2
- සියඹලා යුෂ මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- සූදුරු තේ හැඳි 1/2
- මාදුරු තේ හැඳි 1/2
- අබ ග්‍රෑම් 50
- ලුණු ටිකක්
- මුලින්ම අන්නාසි ගෙඩිය පොතු ඇරලා තීරු වලට කපාගන්න
- අඹ ගෙඩියත් ඒ වගේම කපන්න.
- විනාකිරි ටික ලිපේ තියලා උතුරනකොට අඹ කෑලි දාලා විනාඩි 2ක් විතර තැම්බෙන්න තියන්න.
- අන්නාසි තම්බන්න ඕනෙ නෑ.
- දැන් සූදුරු, මාදුරු හා කුඩු කරගත්තු අබ විනාකිරෙන් අඹරගන්න.
- වෙන භාජනයකට තීරු විදියට කපාගත්තු අඹ හා අන්නාසි ටික දාලා අබ හා ඉතිරි විනාකිරි, ලුණු, සීනි, සූදුරු මාදුරු මිශ්‍රණය හා සියඹලා ටික එකතු කරලා පොල්කටු හැන්දකින් කලවම් කරගන්න.
The post ළඟ ළඟ එන අවුරුද්දට කටට රසට අච්චාරු හදමුද? appeared first on Lifie.LK.
Saru FM Media