හෝ… හෝ තුෂාරා හා… හා… ඉෂාරා!

0
3

සොබාදහමේ හා දේශගුණික විපර්යාස විසින් ඇති කරන ලද වැසි, කුණාටු, ගංවතුර හා නායයෑම් පිළිබඳ විපත් හා අනතුරු ඇඟවීම් සමග සතිය ඇරඹී තිබේ. දිස්ත්‍රික් ගණනාවකට බලපෑ දේශගුණ විපර්යාස ජනජීවිත මතට වැටුණු පීඩනය පිළිබඳ පුවත්වලින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පිරී තිබුණි. දීපාවලී ආලෝකයෙන් හින්දු බැතිමතුන් පුද සිරිත් පුරමින් සිටියත් ඒ අනතුරුදායක අඳුර ඔවුන් වෙතට ද ළං විය. මෙයට පෙර ද අප විසින් සඳහන් කරන ලද පරිදි අනවසරයෙන් ඉදිරි කළ නිවාසවල පදිංචි ජනතාවගේ දුක් සුසුම් ද වැසි වතුර හා වැව්, ගංගා සමග පාවී ගිය සංවේදී දසුන් ද විද්‍යුත් මාධ්‍යයක, කැමරා ඇසක සටහන් වී තිබුණි. උන්හිටිතැන් අහිමි වූ පිරිසක් ද වූහ. දිස්ත්‍රික්ක ගණනාවක්ම අවදානම් කලාප ලෙස ද ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙරටේ ජනතාව අතර සිටින බොහෝදෙනකුගේ ජීවිතවලට එල්ල වන මෙබඳු අවදානම් සහ අනතුරුවලට වගකිව යුත්තෝ කවරහු ද? ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සැලැස්මක් හෝ ක්‍රියාන්විතයක් බලාත්මක කිරීමට අදාළ කිසිදු ආයතනයකට නොහැකි වී තිබීම ද අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. කොළඹ ඇතුළු නගර කීපයක්ම ගංවතුර තත්ත්වයට පත්ව තිබෙනු ද දැකගත හැකි විය. ජලාශ ආශ්‍රිත බිම් පෙදෙස් යටවීමත් වාන් දමන ජල කඳන් ගම් දනව් යට කිරීමත් මෙබඳු දේශගුණ කැළඹිලි සමග කඩාවැටෙන විපත්ය. බෝට්ටු සමග අතුරුදන් වූ ධීවරයන් ගැන ද වාර්තා වී තිබුණි. නාවික හමුදා සහ වෙරළාසන්න ආරක්ෂක සේවාවන් විසිහතර පැය තිස්සේම සීරුවෙන් තබා ඇති බවද රජය නිවේදනය කර තිබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද අනතුරු ඇඟවීම් නොතකන සුළු පිරිසක් හෝ සිටිතියි ද කියනු ඇසුණි. කුමක් වුවත් අදාළ අංශවල උපදෙස් නොතකා ක්‍රියා කිරීම යනු විපත් හා අනතුරු කැඳවා ගැනීමක් බව කිව යුතුය.

මෙබඳු අවස්ථාවක අපට පැහැදිලි වන්නේ මෙරටේ සීමිත පිරිසක් ඇති හැකි අය ලෙස හැඳින්වෙන කොටසක් සිය මැඳුරු තුළ අලස සුවයෙන් සිටියත් ජීවිතයේ හැමදාමත් හව්හරණක් නොමැතිව විශාල පිරිසක් සිටින බවය. ගෙවල් දොරවල් ගංවතුරට හෝ නායයෑම්වලට හසු වූ ඒ ජනතාව ගැන කිසිම ආණ්ඩුවක් අවධානය යොමු නොකළ බවය. විශේෂයෙන් ගම්දනව්වල ජනතා ප්‍රශ්න ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අවධානයට යොමු නොවීම ද බරපතළ වරදකි. විපතට පත් වූ ජනයා පළාතේ පාසලක හෝ ආගමික ස්ථානයක රඳවා ආහාර පාන ලබාදෙන වැඩපිළිවෙළවල් ද ඇත. එහෙත් ඒ ජනතාව වැසි තුරල් වී ගංවතුර බැස ගිය විට තම තමන් ජීවත් වූ අනාරක්ෂිත පැලට හෝ නිවහනට යායුතු වෙති. ප්‍රකට නාට්‍ය ශිල්පියකු වූ ආර්. ආර්. සමරකෝන් මේ ජනතා දුක හා කඳුළ තේමා කරගනිමින් ‘කැලණි පාලම’ නමින් නිර්මාණයක් ද කර ඇත. එහෙත් අදටත් කැලණි පාලම අසබඩ ද එබඳු අසරණ පවුල් සිටිතියි ද කියති.

සියලු දෙනාගේ නිදහස් සහ ගෞරවය සුරකින, සුරක්ෂිත රටක් ගොඩනැඟීමට තමන් කැප වී සිටින බව පෙරේදා (20) පැවති දීපාවලී උත්සවය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් ද ජනාධිපති අනුර කුමාර අවධාරණය කර තිබුණි. ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය මෙන්ම කැපවීම ද අගය කළ යුතුය. එසේ වුවද ජනාධිපතිවරයාට ලස්සන කිරීමට සුරැකීමට ලැබී තිබෙන්නේ කෙබඳු රටක් ද? විනයගරුක, නීතිගරුක අවංක පුරවැසියෝ හෝ ඒ පුරවැසි හිමිකම්, සේවාවන් නොපිරිහෙලා ඉටු කරන රාජ්‍ය සේවයක් හෝ මෙරටේ තිබේද? සමස්තයක් ලෙස එයට ලැබෙන පිළිතුර ඍණ විය හැකිය. එහෙත් මේ රටට ආදරය කරන යහපත් දේශයක ජීවත්වීමේ බලාපොරොත්තුව යළිත් දල්වා ගත් පිරිසක් සිටින බවද කිව යුතුය. මේ රට එවන් ගොරතර තත්ත්වයකට ඇද දැමූ අය පිළිබඳව ජනතාව තුළ තිබෙන අනුමාන, සැක සංකා අද තහවුරු වෙමින් තිබේ. ඒවා සාක්ෂි සහිතව හෙළි වෙමින් ද තිබේ.

මෙයට අදාළ අතිශය වැදගත් කාර්යයක් මේ සතියේ සිදුවිය. ඒ දින කීපයකට පෙර ආරම්භ වූ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයයි. මෙතෙක් හිස සඟවා මහත්වරුන් ලෙස සිටි දූෂිතයන් තක්කඩියන් තිගැස්මකට ලක් කරන මේ පුවත නිසැකයෙන්ම යහපත් සමාජයක්, නීති ගරුක පුරවැසි සමාජයක් ගොඩනඟා ගැනීමට හේතු වනු ඇත. අදත් මෙරටේ හිමිකම් නොකියන ධන සම්පත්, වටිනාකම් තිබේ. ඉමහත් සමාජ ආන්දෝලනයකට තුඩු දී තිබෙන හිමිකාරත්වයක් නොමැති මන්දිර දෙකක් ගැන රටම දනී. එකක් මල්වානේය. අනෙක කතරගමය. මේ නිවාස දෙක සම්බන්ධයෙන්ම රාජපක්ෂවරුන් පැටලී තිබුණත් ඔවුහු ඒවායේ හිමිකාරත්වය ප්‍රතික්ෂේප කළහ.

ඉතා මෑතකදී ලබාදුන් අධිකරණ නියෝගයක් අනුව කතරගම මැණික් ගඟ අසල ඉදිකර ඇති මැඳුර දැන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇත. මේ පිළිබඳ ඇති වූ වාද විවාද සංවාද කෙබඳු වුවත් දැන් ඒ නිවස රජය සතු දේපළකි. ඒ පුවත හා තමන් අතර සම්බන්ධයක් නැති බවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබුණි. මේ අනුව අප ඒ ගැන වාද කළ යුතු නැත. අනෙක් නිවාසය මල්වාන ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක ඉදිකරන ලද්දකි. මෙහිදීත් රාජපක්ෂ නමක් පැටලී තිබුණි. ඒ බැසිල් රාජපක්ෂගේ නමය. මේ සුපිරි මැඳුර පිළිබඳ පුවත ද සමාජ දේශපාලන අංශවල සාකච්ඡාවට ලක්වූවකි. කුමක් වුවත් කෙලෙස කටයුතු සිදුවුවත් දැන් ඒවා රජය සතු වටිනාකම්ය. හිමිකරුවකු නැති දේපළය.

කෙසේ හෝ මේ වර්ගයේ ඉපයීම්, ප්‍රතිලාභ තවදුරටත් සඟවා තැබීමට නොහැකි බව දැන් කාටත් පැහැදිලිය. අනීතික ඉපයීම් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගැනීමේ නීතිමය ප්‍රතිපාදන සහිත පනතක් බලාත්මකවීම නිසැකයෙන්ම දූෂණයට එරෙහි ප්‍රබල බාධකයකි. දූෂිතයන්ට රිංගා යෑමට නොහැකි පවුරකි. ඇත්තටම තවමත් මෙරටේ සුදු කරපටි අපරාධ මෙන්ම අනීතික වත්කම් හිමිකම් සම්පූර්ණයෙන්ම හෙළි වී ඇතැයි කිව නොහැක. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව කෝටි ගණන් බැංකුවල තැන්පත් කළ ආකාරය අද හෙළි වී තිබේ. පාතාලය හා මත්කුඩු, අයිස්, ගංජා ආදියෙන් උපයාගත් ධනය කාගේ හෝ නමින් බැංකුවක තැන්පත් කිරීමට බාධාවක් ද නොවීය. එහෙත් ඒ ඉඩත් දැන් අහුරා තිබේ.

දැන් සෑහෙන කලක සිට රූපවාහිනී ප්‍රවෘත්තිවලත් මුද්‍රිත හා සමාජ මාධ්‍යවලත් අප දකින පාතාල හා මත්ද්‍රව්‍ය සම්බන්ධ දීර්ඝ නාටකයට අලුත් චරිත ද එක්වෙමින් තිබේ. දැන් ජනප්‍රියම චරිතය බවට පත්ව සිටින්නී ඉෂාරා සෙව්වන්දි නමැති පාතාල සබැඳියාවන් ඇති ලියකි. කලකට පෙර ‘හෝ හෝ තුෂාරා’ යනුවෙන් ජනප්‍රිය ගීතයක් ද විය. අද ඒ වෙනුවට හා… හා… ඉෂාරා යනුවෙන් ඇසෙයි. ඉෂාරාගේ කුප්‍රකට අනීතික ක්‍රියාකාරකම් ද හෙළි වෙමින් තිබේ. දේශපාලන සබඳතාවල මුල් ද පෑදෙමින් තිබේ. එසේ හෙළිවන නම් ගම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මාධ්‍ය හමුද වේ. ප්‍රාදේශීය දේශපාලනයේ කුඩා පුරුක් ප්‍රධාන දේශපාලන ධාරාවන්ට සම්බන්ධ වීම නිසා සමහරු භීතියට ද පත්ව සිටිති.

ජනාධිපති අනුර කුමාර පවසන යටිබිම්ගත කළු පාලනයක ක්‍රියාකාරකම් මේවා අනුව අපට දැකගත හැකිය. ඕනෑම පක්ෂයක සියයට සියයක් පිවිතුරු පුද්ගලයන් අපේක්ෂා කළ නොහැකි බවද ඇත්තය. එහෙත් මෙරටේ දේශපාලනයට පාතාලය හා මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ වී සිටීම ගැන ඒ පක්ෂවල නායක කාරකාදීහු ද වගකිව යුතු වෙති. මෙරටේ දේශපාලනය සඳහා බොහෝ දෙනෙක් ඉදිරිපත් වන්නේ රට, ජාතිය ගැන හැඟීමකින් නොවන බවද රහසක් නොවේ. දේශපාලනය නිසා තමන් සතු පෞද්ගලික ධනය පවා නැති කරගත් දේශපාලනයෙන් ධනය උපයා නොගත් ගෞරවනීය මහත්වරු ස්වල්ප දෙනෙක් ද මෙරටේ වූහ. ඒ නම් ගම් දැක්වීමට අවශ්‍ය නැත. එහෙත් අද දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටියදීත් මහජන මුදලින් නඩත්තු විය යුතු යැයි කල්පනා කරන අය ද සිටිති. ඒ නිසා ඇති වී තිබෙන අශෝබන වාද විවාද සංවාදවලින් පසක් වන්නේ ද අපේ දේශපාලන සංස්කෘතියේම පරිහානියකි.

මේ දේශපාලන පරිහානියෙන් රට ගොඩගත හැකිද? යන්න පිළිබඳව සමාජය තුළ වුවද ස්ථාවර අදහසක් නැත. පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ උද්ගත වූ සිදුවීම මේ දේශපාලන පරිහානියේම වෙනත් මුහුණුවරක් බව පවසන අය ද සිටිති. ඒ සම්බන්ධ නීතිමය විනිශ්චය ගරු අධිකරණයට අයත් දෙයකි. අප විමසා බැලිය යුත්තේ සමහරුන් පවසන සදාචාරාත්මක ගැටලුව කුමක්ද? යන්නයි.

මෙහිදී නීතිඥ වෘත්තිය හා පොලිස් වෘත්තිය අතර තුලනයක් කිරා බැලීමක් සිදුවී තිබෙන බවට විවේචනයක් ද ඇත. නීතිඥයන්, වෛiවරුන්, දේශපාලනඥයන්, උසස් නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු විවිධ තලවලට අයත් පුද්ගලයන් බොහෝවිට ගැටුම් ඇති කරගන්නේ තමන්ගේ වෘත්තීය පිළිබඳ උපන් අහංකාර මානසිකත්වයකින් බවද කියති. වෘත්තියට මෙන්ම ධනයට හා බලයට හිස නැමීම පරිහානි සමාජයක ලකුණකි. නීතිඥයකුට අත තැබීම නිසා කුපිත වූ නීතිඥයකු සාමාන්‍ය පොලිස්කාරයකුට දැක්වූ ප්‍රතිචාරය මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල මෙන්ම රූපවාහිනි ප්‍රවෘත්තිවල ද සංසරණය වූ වීඩියෝ පටයෙන් දැක බලා ගත හැකිය. කෝපය මිනිස් දුබලතාවකි. එවිට හැසිරෙන ආකාරය කලින් තීන්දු කරගත් පිළිවෙළකට සිදුනොවේ.

කිසියම් සිදුවීමකදී ඇත්ත නැත්ත විමසීමකින් තොරව නිගමනවලට ඒමට ද අපි පුරුදුව සිටිමු. එය වෙනම කතාවකි. එහෙත් වෘත්තීය නිසා කිසිවකුට සුවිශේෂ තත්ත්වයක් හිමිවිය යුතු නැත. අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ ලෙස ඇමතූ, හැඳින්වූ විධායක ජනාධිපතිවරයා අද ජනාධිපති සහෝදරයා වී සිටියි. කොතරම් අගේද? එයින් එම ධුරය හෑල්ලුවට ලක්වේද?

පොලිස් කොස්තාපල්වරයකු නීතිඥයකුට අත තැබීම නිසා පමණක් දඬුවමකට යටත් විය යුතුද? නීති උපාධි නැති කාකි කෝට්කාරයා ගංකබරයකු ලෙස අවමානයට ලක්විය යුතුද? තරාතිරම, උස මහත දේහවිලාසය පුද්ගලයකු මනින මිනුම් දණ්ඩක් විය යුතුද?

හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලීම නිසාද සමහර නිලබල කුපිත වෙති. වරප්‍රසාද ප්‍රභූත්වය අද නූතන සමාජයට වලංගු දේවල් නොවේ. උසස් පහත් බව වෘත්තීය අනුව නොව මනුෂ්‍යත්වය හා සදාචාරය අනුව වටහා ගතයුතුය.

මගේ වෘත්තීය ජීවිතයේදී මවිසින් අසන ලද සත්‍ය කතාවක් මගේ සිහියට නැඟෙයි. මේ කතාව ප්‍රසිද්ධිය කීවේ මෙරටේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් නමැති යහපත් මිනිසාය.

ඔහු වරක් වවුනියාවේ හෝ ඒ ප්‍රදේශයක දිසාපති ලෙස කටයුතු කර ඇත. ඔහුට හදිසියේම කොළඹට ඒමට පණිවුඩයක් ලැබී ඇත. එදින රියැදුරා ද නොවීය. වෙනත් අතිරේක රියැදුරෙක් ද සිට නැත. ඔහු නිල රිය පදවාගෙන කොළඹ ගමන ඇරඹීය. අතරමඟදී ඔහුගේ රියෙහි තවත් රියක් යාන්තමින් ගැටී ඇත. ඔහුට පොලිසියට යෑමට සිදුවිය. ඒ වෙනත් දිස්ත්‍රික්කයකය. ඔහු පොලිසියට ගියේය. එහි පැමිණිලි අංශයෙහි රාලහාමි ඉදිරිපිට තිබුණු පුටුවේ වාඩිවිය. ඒ අතර දඩිබිඩියේ ඔහුගේ රිය සමග ගැටුණු අනෙක් රියෙහි හිමිකරු ද පොලිසියට ආවේය.

ඔතැනින් නැඟිටලා පොඩ්ඩක් එහාට ගිහිල්ලා අර බංකුවේ ඉඳගන්නවා. මේ මුදලාලිට හදිසියි.

රාලහාමි නියෝග කළේය. බ්‍රැඩ්මන් මහතා ඔහුට පුටුවදී බංකුවේ ඉඳගත්තේය. ඔහු කට උත්තරය දෙන තැනට ස්ථානාධිපතිවරයා ද පැමිණ ගරුසරු ඇතිව බලා සිටියේය.

බ්‍රැඩ්මන්ගේ වාරය එළැඹිණි.

නම – රාලහාමි ඇසුවේය.

බී. වීරකෝන් පිළිතුර ලැබුණි.

රැකියාව – දෙවන ප්‍රශ්නය නැඟුණි

දිසාපති – වවුනියාව පිළිතුරය

රාලහාමි උඩ වීසි විය. අනේ සර් ඇයි කිව්වේ නැත්තේ. මං හාන්කාවිසියක් දන්නේ නෑ. අර මුදලාලි අපේ ලොකු මහත්තයගේ යාලුවෙක්. රාලහාමි බැගෑපත් විය.

පොලිස් ස්ථානාධිපතිවරයාද දුවගෙන ආවේය. සමාව අයැදිනි.

මේ කතාව කියූ ඔහු සඳහන් කළේ එදා පොලිසිය සැලකූ හැටිය.

ඔහු දිසාපති පට්ටම් ගැන කතා කළේ නැත. තනතුර ගැන මොර දුන්නේද නැත. ඒ විශිෂ්ටයන්ගේ ස්වභාවයයි.

අදත් මේ වෘත්තීය උණෙන් පෙළෙන අය සිටිති. දොස ඇත්තේ එතැනය.

ගාමිණි සුමනසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here