රුපියල් කෝටි 06කට අධික වටිනාකමෙන් යුත් ජීප් රථ හතරක් කූට ලේඛන සකස්කර නීතිවිරෝධි අන්දමින් ආනයනය කර සන්තකයේ තබාගෙන සිටි බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල – ගල්කිස්ස නාගරික මන්ත්‍රී සහ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තා, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ (28 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් වාහන අතර ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03 ක් ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
සැකකරු මේ ආකාරයටම නීතිවිරෝධි අන්දමින් මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 06 ක් වටිනා ජීප් රථ තුනක් මීට ඉහත දී ද වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම වාහන තුන රේගුව නොමඟහරිමින් කූට ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ අතර ඒවා ව්‍යාජ ලිපි ලේඛන සකස්කර ලියාපදිංචි කර තිබූ බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.
එම වාහන රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ වාහනවල අංක තහඩු යොදාගෙන කූට ලේඛන භාවිතා කරමින් ලියාපදිංචි කර තිබූ ඒවා බව ද හෙළි වී තිබිණි.
ඊයේ අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයක් වටිනා ජීප් රථ 04 සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.
හේමන්ත රන්දුණු
Saru FM Media