හෙද සේවාවේ සුරක්ෂිත බව වෙනුවෙන් රජයේ විශේෂ අවධානය!

0
3


කොළඹ LNW:වැටුප් ඇතුලුව හෙද වෘත්තික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් රජය යොමු කරන බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

සමස්ත හෙද වෘත්තියෙන් සියයට අනූපහක පමණ පිරිසක් කාන්තාවන් වන බවත් ඔවුන්ට වැටුප් මෙන්ම රැකියාවේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලු රැසක් පසුගිය කාලය තුළදී මතුවී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ජාත්‍යන්තර හෙද දින සැමරුම නිමිත්තෙන් සමස්ත ලංකා හෙද සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර කරළිය සම්මන්ත්‍රණ ශාලාවේදී අද (15) පැවති සැමරුම් උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළාය.

ප්‍රවාහන අපහසුතා, විවිධ ස්ථානවල සේවය කිරීමට සිදුවීම, බලවත් අයගේ බලපෑම්වලට යටත් වීම වැනි වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

”සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන් සුරැකීමු” යන සංකල්පය යටතේ පිහිටුවා කටයුතු කරන බවත් නිවසේදී වුවද පවුලේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නේ හෙද හෙදියන් ද ඇතුලුව කාන්තා පාර්ශවය යැයි ද ඇය සඳහන් කළාය.

සංස්කෘතිය විසින් කාන්තාවන්ට උරුම කර දී ඇති වගකීම් රැසක් ඇතැයි පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරිය වෘත්තීය වගකීම් නිසා ඇතැම් විට පවුලේ වගකීම් සමාජය අපේක්ෂා කරන ආකාරයට ඉටු කිරීමට නොහැකි වන අවස්ථා ඇතැයිද කීවාය. පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය සමබරව ගෙනයාම අසීරු වුවත් සමබරතාව ඇතිකර ගත යුත්තේ අප විසින්ම යයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අවශ්‍ය තරම් හෙද වෘත්තිකයන් එම පළාත් වලින් බිහි නොවන නිසා දකුණ, මධ්‍යම වැනි ප්‍රදේශවලින් හෙදියන් එම රෝහල්වලට අනුයුක්තව සේවය කරන බව කීවේය.

සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් ආරක්ෂිත හා පහසුකම් සහිත නේවාසික පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවත් නිරෝගිමත් ශ්‍රී ලංකාවා බිහිකිරීමේ ක්‍රියාවලියේ මෙම රජය යටතේ ක්‍රියාත්මක වන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ මහාචාර්ය දමයන්ති දසනායක,සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවත්ත යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here