ලංකාවේ සමහරක් දෙනාගේ ට්‍රැවල් ගෝල්ස් එකෙන් ම තියෙන්නේ ලංකාවෙන් පිට. ලංකාවේ ඉඳන් ම ඇවිදිනවා නම් ඒ හැමදාම අහලා පුරුදු තැන්වල. ඒත් පොඩ්ඩක් හොයා බැලුවොත් මේ පුංචි දුපතේ අපිට බලන්න ලස්සන තැන් ඕනෑ තරම්. මේ ඒ වගේ තැනක් ගැන කතාවක්.
1. මොකක්ද? කොහේද තියෙන්නේ?

Source – Harsha Dasun
මඩොල්සිම පුංචි ලෝකාන්තය! ඔව් ඔව් ලෝකාන්තයක්. කෙළවරක් නැති ඈතක්, ගැඹුරක් පේන්නේ නැති තවත් අන්තයක්. සද්ධාතිස්ස කුමාරයා ගොවිතැන් කටයුතු ගැන බලන්න දිගාමඩුල්ලට ආවානේ. ඒ දිගාමඩුල්ල සීමා වුණු ප්‍රදේශය තමයි මඩොල්සිම කියන්නේ. බදුල්ල නගරයේ ඉඳන් පස්සරට ඇවිත් ඒ ටවුන් එක පහු කරපු ගමන් වම් අත පැත්තට මග සලකුණු අඟවලා බෝඩ් එකක් ගහලා තියනවා. මේ ගමන යන්න කාර් බාර් නැත්තම් බස් එකකුත් තියනවා. පිටමාරුව කියන නම ගහගත්තු රතු ම රතු පාට ලංගම බස් දෙකක් දවසකට ගමන්වාර දෙකකට මේ පාරේ ධාවනය වෙනවා.
2. ගමන

Source – Thisaranie Wijayabandara
අර මඟ සලකුණු ගැන ලියවුණු බෝඩ් රාජයා වැඩ ඉන්න තැන ඉඳන් මේ මඩොල්සිම පාරේ කිලෝමීටර් 45ක් නැත්තම් 46ක් යන්න ඕනි. ඒ යන පාර අලුතින් හදලා කාපට් කරලා තියන එක නම් ලොකු දෙයක්. ඒත් ඉතින් රටේ අනන්‍යතාව රැක ගන්න එහෙන් මෙහෙන් කඩතොළු තියෙනවා. ඔය යන අතරමඟ ගමන ම ඇති මනුස්සයෙක්ට ලංකාවේ ලස්සන දකින්න. බලන බලන තැන තනිකර කොළ පාටයි. මේ ප්‍රදේශය තනිකර ජනශුන්යයි කියන්නත් බැහැ. වැඩි වශයෙන් ඉන්නේ දමිළ ජනතාව. ලෝකාන්තය තියෙන දිහාවට ලං වෙනකොට තේ දළු කඩන්න යන මිනිහෙක් හැරෙන්න මිනිස් පුලුටක් දකින්න අමාරුයි.
3. ලෝකාන්තයට යන පාර දිගේ

Source – Harsha Dasun
කිලෝ මීටර හතලිස් ගණනක දිග ගමනකින් පස්සේ පාර අයිනට වෙන්න සුදු පාට බෝඩ් එකක ලෝකාන්ත විස්තරේ ගැන සඳහන් වෙනවා. ආවේ බස් එකක හරි කාර් එකක හරි වගේ නම් මෙතනින් බහින්න ඕනි. ඒ පාරෙන් දකුණු පැත්තට වෙන්න ඇති අතුරු පාරක් දිගේ පයින් ඇවිදන් ගියාම තමයි ලෝකාන්තයට යන්න පුළුවන් වෙන්නේ. මේ පාර නම් තනිකර අලි නාවන මට්ටමින් තියෙන්නේ. බයික් එකකට හැරෙන්න වෙනත් වාහනයක් යන එක අවධානම්.
4. විඳගැනීම

Source – Harsha Dasun
සෙව්ව මැණික හම්බවෙන්නේ දැන් තමයි. ගල් පර්වත දෙකක් මැද්දෙන් තියෙන මේ බෑවුම දිහා බලන්නත් බයයි. පුංචි ලෝකාන්තය කිව්වට මොකෝ ඇති පුංචියක් නැහැ ඒකෙ. ඇත්තට ම පහළ බලනවා නම් බිම පෙරළිලා යාන්තන් ඔලු ගෙඩිය දාතහැකි. එතනින් ටිකක් ඉදිරියට ගියාම තියෙනවා නැරඹුම් ස්ථානයක්. අංශක එකසිය අසූවක ඇහැකින් ඈත ලස්සන බලන්න පුළුවන්. මීදුම දවසට නම් ඔය කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් හොඳ කාලගුණයක් තියෙනවා නම් මොණරාගල, මහියංගනය, මහනුවර, අම්පාර, බිබිල, මඩකලපුව වගේ ප්‍රදේශත් සේනානායක සමුද්‍රය වගේ ජලාශ කීපයකුත් දකින්න පුළුවන්.
5. අතරමඟ දසුන්

Source – google street view
ලෝකාන්තය පිහිටලා තියෙන්නේ රෝස්බෙරි වතු යාය කෙළවරට වෙන්න. ඒ යන අතරමග කාබනික තේ වගාවක් තියෙනවා. ඒ වගේම තවත් තේ වතු අතරමග දිගටම දකින්න පුළුවන්. මඩොල්සිම ටවුන් එකේ පුංචි ෂෙඩ් එකකුත් තියෙනවා. ඒත් එක්කම තියෙන කඩමණ්ඩියෙන් මොනා හරි හප හප යන්න ගන්න පුළුවන්. මේ ගමන් මාර්ගයේ තියෙන සුවිශේෂ දසුනක් තමයි ඩී. එස්. ගල කියන්නේ. මේක ස්වාභාවික නිමැවුමක් වුණාට පාරේ යන අයට පේන්නේ ඩී. එස්. සේනානායක මහත්තයාගේ හැඩහුරුව.

Source – dinamina.lk / wikipedia.org
හැබැයි ඔය හුදකලා වෙච්ච තැන්වලට අපේ අයියලා ගියාම හුදකලා වෙන්න එපා කියලා බෝතල්, පොලිතින් උර වගේ ඒවා දාලා යනවා. ඒ නිසා මේ වගේ ස්ථාන හැංගිලා තියෙන තරමට ම හොඳයි කියලා ආත්මාර්ථකාමී සිතුවිල්ලකුත් හිතට දැනෙනවා. පරිසරයට අනවශ්‍ය බරක් නොවී දැකලා සතුටු වෙන්න මේ වගේ අහිංසක ස්ථාන තව කොච්චර නම් මේ දීපයේ ඇති ද?
Cover Image Source – harsha dasun
The post හුදකලාවේ වෙසෙන ලෝකාන්තයක අසිරිය – මඩොල්සිම appeared first on Lifie.LK.
Saru FM Media