හුණ්ඩුවේ තෙල් සංචිත තියාගන්න ටැංකි තියෙනවා, අවශ්‍ය දැනුම නැහැ – දිලිත් ජයවීර

0
2

ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් ජනතා විශ්වාසයක් ගොඩ නොනැගෙන බව සර්වජන බලයේ පත් කළ මන්ත්‍රි දිලිත් ජයවීර මහතා  ඊයේ (17)  පැවසීය.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අදාළ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කීය.

බලශක්ති සුරක්ෂිතතාවට අදාළව කලින් ගත හැකිව තිබූ ක්‍රියාමාර්ග ආණ්ඩුව නොගත් බවට චෝදනා කරන ජයවීර මහතා, පවතින සාමාන්‍ය තත්ත්වය වෙනස් විය හැකි යැයි උපකල්පනය කිරීමට අවස්ථාව තිබූ බවත් එසේ නොකළේ අවශ්‍ය දැනීම නොමැතිකම නිසා යැයිද පවසයි.

ජයවීර මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“ආණ්ඩුව මොනව කිව්වත් පාරට බැහැලා බලන්න ජනතාව මොනවද කියන්නේ කියලා. ජනතාව අද ප්‍රශ්න කරනවා තෙල් තියෙනවාද කියලා. ගෑස් ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නයට සංචාරක ක්ෂේත්‍රයත් මුහුණ දෙනවා. 
උදාහරණයක් ලෙස කියනවා නම් ඔබලා කියනවා මේ හුණ්ඩුවෙ තෙල් සංචිත තියා ගන්න ටැංකි නැහැ කියලා. ඒක බොරුවක්නේ. ඕනෑ තරම් ටැංකි තියෙනවා. අපිට උපාය මාර්ගික සංචිතයක් නොතිබීමට වෙන හේතු තියෙන්නෙ පුළුවන්. අපි කියන්නෙ ඇත්ත කියන්න. දැන් පවතින ඉන්ධන ප්‍රමාණය මේ වෙලාවේ කියන්න. එම දත්ත ඉදිරිපත් කරලා ජනතා විශ්වාසය ඇති කර ගත යුතුයි. බලශක්ති සුරක්ෂිතතාවට අදාළව කලින් ගත හැකිව තිබූ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. පවතින සාමාන්‍ය තත්ත්වය වෙනස් විය හැකි යැයි උපකල්පනය කිරීමට තිබුණා. නමුත් එසේ නොකළේ අවශ්‍ය දැනීම නොමැතිකම නිසයි.”

“කොහොම වුණත් ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව ගැන ආණ්ඩුව සහතිකයක් ලබා දිය යුතුයි. අපි නොවෙයි මේ අර්බුදයට හේතුව යුද්ධය කියලා හරි යන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉද්දි මේ අවදානම ආවා නම් නටන නාඩගම ගැන කියන්න දෙයක් නැහැ. පෞද්ගලික අංශයත් බදාදා වහන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. ඒක අමනෝඥ ක්‍රියාවක්. එතකොට දෛනිකව වැටුප් ලබන අයට මොකද වෙන්නේ. වැඩේ කරගෙන යන ගමන් ඉන්ධන අර්බුදයට විසඳුම් හොයන්න තිබුණා. ඒ වගේම තමන්ට අනන්‍ය විදේශ ප්‍රතිපත්තියක් නොමැතිකමත් ඉන්ධන අර්බුදයට හේතුවක්. වෙනත් රටවලට තියෙන උපාය මාර්ගික දැනුම නිසා ඒ අය මේ අර්බුදයෙදි විසඳුම් ලබාගන්නවා. පසුගිය බ්‍රික් සමුළුවට ජනාධිපතිතුමා ගියෙත් නැහැ. ඒ නිසා ඒ අයගෙ සහය ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here