ඉංජිනේරු හිමිනමක් දිනපතා නඩත්තු කළා
නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති නාහිමි
“ගොඩක්දෙනා හිතනවා ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා ගොඩක් ගමන්ගත් නිසා මේ අනතුර සිදුවුණා කියලා. නමුත් පිරිස වැඩිකම නිසා නොවෙයි මේ අනතුර වෙලා තියෙන්නේ. මේක ටොන් 10කට වඩා බර අදින්න පුළුවන් කේබල් ඩක්කුවක්…” යැයි නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අගුල්මඩුවේ අරියනන්ද නාහිමිපාණෝ පෙරේදා (27 දා) පැවසූහ.
කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම, නාඋයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන කේබල් ඩක්කුවක් අනතුරට ලක්වී සිදුවූ මාරක අනතුරින් අපවත්වූ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා පස්නමකගේ ශ්‍රී දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු අවමඟුල් සභාවේ අනුශාසනාවක් පවත්වමින් උන්වහන්සේ එසේ කීහ.
අවමංගල සභාව නාඋයන ආරණ්‍ය සේනාසනයේ ශීල ශාලාවේදී පැවැති අතර, එහිදී තවදුරටත් අනුශාසනාව සිදුකරමින් අගුල්මඩුවේ අරියනන්ද නාහිමිපාණෝ මෙසේ ද පැවසූහ.
“මේ කේබල් ඩක්කුවෙන් ටොන් 10කට වඩා බර අදින්න පුළුවන්. මේ කේබල් එකක් වසර 23 ක් වෙනවා. කවදාවත් කේබල් එකේ එක කම්බියක්වත් කැඩිලා නැහැ. විදුලිය නැති වුණොත් ඩක්කුව එතනම නවතිනවා මිසක් එහා මෙහා හෙල්ලෙන්නේ නැහැ. ප්‍රමාණයට වඩා ලෝඩ් එක වැඩි වුණොත් ඕවර් ලෝඩ් කියලා බොත්තමක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙලා නවතිනවා. ගියර් පෙට්ටියත් උඩ තියෙන කේබල් ඩ්‍රම්ප් එකත් අතර පුංචි ප්ලේ එකක් හැදිලා. ඒ ප්ලේ එක නිසා තමයි ඩක්කුව පහළට ඇවිත් තියෙන්නේ. ගොඩක්දෙනෙක් හිතනවා පිරිස වැඩිකම නිසා තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ කියලා. නමුත් පිරිස වැඩි නිසා නොවෙයි මේ අනතුර වෙලා තියෙන්නේ. ඩක්කුව වේගයෙන් ඇවිල්ලා අවසානයේ තමයි කේබල් එක කැඩිලා තියෙන්නේ, විශේෂයෙන් පල්ලෙහාටම ගිහිල්ලා පිට පැනපු නිසයි. මේක අපරීක්ෂාකාරීව සිදුවෙච්ච එකක් නොවෙයි.
කව්රුත් බොහොම කල්පනාවෙන් මේ ඩක්කුව නඩත්තු කළා. ඉංජිනේරු ස්වාමීන්වහන්සේ නමකුත් ඉන්නවා. හැමදාම උන්වහන්සේ ඒකෙ අඩුපාඩු සොයා බලලා නඩත්තු කළා. අපේ දායකයන් වන තව ඉංජිනේරු මහත්වරු ඉන්නවා. ඒ අයත් මේ ගැන සොයා බැලුවා.
“එක වරදක් මං පිළිගන්නවා. 2003 අවුරුද්දේ තාක්ෂණය ඉතා අඩු කාලයක හදපු එකක් මේක. මේකෙ තාක්ෂණය මීට වඩා අපට දියුණු කරන්න තිබුණා. අපිට මේක දියුණු කරන්න අවශ්‍යතාවක් වුණේ නැත්තේ කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැති නිසයි. ඒ නිසා මේ ඩක්කුව දියුණු කරන්න කියලා උපදෙස් දුන්නේ නහැ. ඒක කාගෙවත් වරදක් නොවෙයි මගේ වරදක්.”
- ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් –
බොහෝදෙනා නොයෙක් දේවල් මේ සිදුවීම ගැන කතා කරනවා. හැබැයි අපේ බෞද්ධ ජනතාව නිතරම හිතන්න ඕනෑ මේ ආරණ්‍ය සේනාසනවල භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළත් අපට කර්ම විපාක එනකොට මේ වගේ විපත්ති කරදර එන්න පුළුවන් කියලා. මමත් ඔය ඩක්කුවේ මීට අවුරුදු 15 කට උඩදී උඩට ගිහින් තියෙනවා. විපත්තියක් වුණාම ඒක ගැන විවිධ දේවල් කියමින් අපි සිත් දූෂ්‍ය කරගන්නවා. සංසාර ස්වභාවය ගැන කල්පනා කරන්න ඕන.”
“කර්මයට ගිහි පැවිදි භේදයක් නැහැ. කර්මය කුමන මොහොතේ කුමන වෙලාවට පටිසන් දෙයි ද කියා කියන්න බැහැ. බුදුන් දවස මහරහතන් වහන්සේලාටත් කර්ම විපාක සිදුවීම්වලට මුහුණදීමට සිදුවුණා නම් පැවිදි අප ගැන කියන්නට දෙයක් ඇත්තේම නැහැ. ඒ අනුව යන්න හිතාගෙන හිටිය ගමන නොවෙයි මේ භික්ෂුන් වහන්සේලාට අවසානයේ යන්න සිදුවුණේ. කර්මය කියන්නේ එයයි.”
මෙම අවස්ථාවට සංස්කෘතික හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, හිටපු කථානායක කරු ජයසූරිය, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
Saru FM Media