මොකද මේ මූණේ හැටි.. වෙනදා සුදට ලස්සනට හිටියනේ…
ඔව් අනේ.. මගේ හම දැන් ඉස්සර වගේ නැහැ.. මේ බබාලගේ වැඩත් එක්ක අව්වේ පාරේ එහෙට මෙහෙට යද්දි හම නාස්ති වෙනවා ඇති මම හිතන්නේ
ඉතිං ඔයා මුකුත් කරන්නේ නැද්ද?
කොහෙන්ද අනේ ඕවට වෙලාවක්…
එහෙම කියන්න එපා … පොඩි වෙලාවක් හරි ඒ වෙනුවෙනුත් වෙන් කරන්න
මේ වගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඇතැම් විට මේ තත්ත්ව ඇති වෙන්නේ උපතින්. එහෙමත් නැත්නම් අප අවට පරිසරයේ යම් යම් සාධක නිසා වෙන්නත් පුළුවන්. මේ මොන ක්‍රමයට වුවත් අපි අපේ සම ගැන සැලකිලිමත් විය යුතුයි. සම කියන්නේ අපේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. ඉතිං සමේ ආරක්ෂාව ගැන වගේම සම නිරෝගීව පවත්වා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
නිරෝගී සමක් කියන්නේ මොකක්ද?
අපේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන සම, සම, කෙස් හා නිය ලෙස කොටස් තුනක් යටතේ වෙන්වෙනවා. සම, කෙස් හා නිය යන තුනේම නිරෝගී බව නිරෝගී සම විදියට අපිට හඳුන්වන්න පුළුවන්. සමේ නිරෝගී බව ගැන කතා කරද්දී සමට අවශ්‍ය නියම පෝෂණය ලැබෙනවාද, සමේ ස්වභාවය එනම් සාමාන්‍ය, තෙල් සහිත, වියළි සමක්ද යන බවත් අප වටහා ගත යුතුයි. හොඳ වර්ණයකින් පවතිනවාද යන කරුණත් ඉතාම වැදගත් වෙනවා. හොඳ වර්ණයක් ලෙස අදහස් වන්නේ සම සුදු වීම ගැන නොවෙයි. සම සුදු/දුඹුරු හෝ කළු වුවත් පැහැදිලිව, පැහැපත්ව ඇත්නම් එය නිරෝගී සමක්. නිරෝගී සමක් සැමවිටම සුදු පැහැ විය යුතු නැහැ.
නිරෝගී සමක් නම් සුදු විය යුතුයි නේද?
කිසිසේත්ම නැහැ. අපේ විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි කියන්නේ දුඹුරු පැහැ කාන්තාවක්. ඒ වගේම ලෝක රූ රැජිණ වගේම විශ්ව රූ රැජිණියන් ලෙස කිරුළු පැලඳුවා ජැමෙයිකානු සහ දකුණු අප්‍රිකානු කාන්තාවන්. කලු පැහැ දුඹුරු පැහැ කාන්තාවන් රූ රැජිණ කිරුළු දිනා තිබෙනවා. සමේ පැහැය ඔවුන්ට බාධාවක් වී නැහැ. නමුත් අද වෙද්දී බොහෝ කාන්තාවන් සුදු පැහැ සම ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. සම සුදු පැහැ වුවත් සම නිරෝගී නැත්නම් එය ඔබේ සුන්දරත්වයට බාධාවක් වෙනවා.
වාඩාත් හොඳ සුදු හමද? දුඹුරු/කළු සමද?
ඝර්ම කලාපීය රටක ජීවත් වෙන මිනිසුන් විදියට හිරු එළියෙන් ආරක්ෂා වීමට අපිට සිදු වෙනවා. ඒ නිසා අපේ සමේ මෙලනින් වර්ණකය වැඩි වශයෙන් තිබිය යුතුයි. මෙලනින් වර්ණකය වැඩිවන තරමට හිරු එළියෙන් ආරක්ෂා වීමට වැඩි හැකියාවක් අපිට ලැබෙනවා. මෙලනින් කියන්නේ පිළිකා වලින් අපිව ආරක්ෂා කරන ඉතාම වැදගත් දෙයක් නිසා මෙලනින් වර්ණකය වැඩි වන තරමට සමෙහි පිළිකා හැදීමේ හැකියාවත් අඩු වෙනවා.
සුදු පැහැ සම තරුණ වියේදී ලස්සන වුවත් අවුරුදු තිහ, තිස්පහ වන විට සුදු සම රැලි වැටීම ආරම්භ වෙනවා. නමුත් දුඹුරු/කළු පැහැ සම වයස් ගත වන්නේ ඉතාම සෙමින්. දුඹුරු/කලු සම රැලි වැටීමට පටන් ගන්නේ අවම වශයෙන් අවුරුදු 40ක් වත් ගත වූ පසුවයි. නමුත් දුඹුරු/කළු සමේ තුවාලයක් ඇති වුවොත් ඒ කැලල මැකී යාමට වැඩි කාලයක් ගත වන නිසා ප්‍රවේශම් විය යුතු අතරම කැලලක් ඇති වුවහොත් අව්වෙන් ආරක්ෂා විය යුතුයි.
සමේ නිරෝගී බව පවත්වා ගැනීමට කළ යුත්තේ මොනවාද?
සමබල ආහාර වේලක් ලබාගැනීම – අපි නිසි පෝෂණය ලබා නොගන්නවා නම් සමේ පෝෂණය නිසියාකාරව සිදු වන්නේ නැහැ. සම කියන්නේ සෑම දින 28 කට වරක්ම අලුත් වන අවයවයක්. කෙස් කියන්නේ ඉතා වේගයෙන් වැඩෙන අවයවයක්. මේවයේ වර්ධනයට දිගින් දිගටම නිසි පෝෂණය අවශ්‍යයි. ඒ සඳහා සමබල ආහාර වේලක් ලබා ගත යුතුයි. අපේ ශ්‍රී ලාංකීය ආහාර වේල ගැන කතා කළොත් වැඩිපුර බත් කන්නත් එළවළු අඩුවෙන් කන්නත් අපි පුරුදු වෙලා. සමට කෙස් වලට අවශ්‍ය වෙන්නේ ක්ෂුද්‍ර පෝෂක වර්ග වන විටමින් හා ඛනිජ ලවණයි. සමට, කෙස් වලට කාබෝහයිඩ්‍රේට් වලින් ලොකු උදව්වක් නැහැ වගේම අනිත් පැත්තට කාබෝහයිඩ්‍රේට් වැඩි වීම සමට නුසුදුසුයි. කාබෝහයිඩ්‍රේට් වැඩි උන ගමන් අපි මහත්වෙන්වා. මහත් වෙද්දී අපේ බෙල්ල, ඉකිලි වැනි නැමෙන තැන්, නළල දෙපැත්ත, කට වටේ, නහය දෙපැත්ත ඒ වගේ තැන් කළු වෙනවා. ඉතිං එහෙම උන ගමන් අපි මොන පාට උනත් ඒ කලුවීම අවලස්සනයි. ඒ වගේම ලිපිඩ වැඩි වීමත් නුසුදුසුයි. ඇත්තටම හැම අතින්ම බැලුවොත් සෞඛ්‍ය ගැන අපි මනා උනන්දුවකින් කටයුතු කරනවා නම් අපේ සම ඉබේම ආරක්ෂා වෙනවා.
ඇතැම් අය නොයෙක් විටමින් වර්ග ලබා ගන්නට උනන්දු වුවත් ආහාර වේල් හරහා ප්‍රධාන පෝෂක ටික ලබා ගත යුතුයි. සරලවම කිව්වොත් අපි සාමාන්‍ය ආසියානු ආහාර වේලක් ලබා ගැනීම ප්‍රමාණවත්. අපේ රටේ විවිධ වර්ගයේ එළවළු, පලා වර්ග තිබුණත් අද වෙද්දී අපේ දරුවෝ හුරු වෙලා ඉන්නේ එක ව්‍යාංජනයක් එකක් බත් කන්න. ඒ ආහාර වේලේ විවිධත්වය අඩුයි. අපේ රටේ මොන තරම් ආහාර වර්ග තිබුණත් අපි ඒවා ලබා ගන්නේ නැත්නම් පෝෂණයේ අඩුවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ රටේ තියෙන එළවළු ටික පාවිච්චි කරනවා නම් එයම ප්‍රමාණවත් බව කිව යුතුයි. අපි අපේ දරුවන්ට මේ දේවල් හුරු කළොත් ඔවුන්ට සම ගැන ගැටලු ඇති වීම අවම වෙනවා.
හොදින් ජලය පානය කිරීම – අපේ දරුවෝ වතුර බොනව අඩුයි. දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටි අපිත් දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා වගේම සමෙහි සෞඛ්‍ය පවත්වා ගැනීමටත් ජලය පානය කිරීම අවශ්‍ය වෙනවා.
නමුත් වතුර වැඩිපුර බීමෙන් පමණක් සම වියලි වීම වලක්වා ගත නොහැකියි.
සාමාන්‍යයෙන් අපේ ජනතාව ගත්තොත් 20% – 25% කට පමණ උපතින්ම හිමි වන්නේ වියළි සමක්. එවිට ඒ පිරිසට සමේ තෙතමනය රඳවා ගන්න වියළි සම සඳහා සැකසුණු තමාට සුදුසු යම් මොයිස්චර්රයිසර් සහිත ආලේපනයක් භාවිත කළ යුතු වෙනවා. එසේ නොමැතිව එය නොසළකා හැරියොත් සම කැසීම ඇති වෙලා දද ඇති විය හැකියි. එය අපි වළක්වා ගත යුතුයි.
වියළි සම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය නැද්ද?
ඔබ භාවිත කරන මොයිචර්රයිසර් සහිත ආලේපනයෙන් සහනයක් සැලසෙන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි. ආලේපනයක් භාවිත කරන්න සුදුසුම වෙලාව වෙන්නේ සමේ තෙත ගතිය තියෙන අවස්ථාව. ඒ කියන්නේ ඇඟ සෝදලා/නාලා පිස දැමූ විගස ආලේපන ගැල්වූ විට එය හොඳින් සමට උරාගන්නවා.
මුහුණේ සමටත් ආලේපන අවශ්‍යද?
බොහෝ විට යොවුන් දරුවන් මුහුණට ආලේපන වර්ග මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙතැනදී කිව යුතු වැදගත්ම දේ තමයි යොවුන් විය කියන්නේ කොයි දරුවාත් ලස්සන වෙන කාලේ. ඒ වයසේ දරුවන්ගේ සිදුවන හෝමෝන වෙනස්කම් එක්ක එයාල කොහොමත් පැහැපත් වගේම සුන්දරයි. ඒ නිසා ඒ දරුවන් අමුතුවෙන් දෙයක් කළ යුතු නැහැ. එතැනදී අපි වැඩිහිටියන් ලෙස කළ යුත්තේ සාමාන්‍ය අඩුපාඩුවක් තිබේ නම් එය නිවැරදි කිරීම පමණයි. ඒ වගේම අපි ආලේපන පාවිච්චි කරද්දී බොහෝ සැලකිලිමත් විය යුතුයි.
සමහර ගැහැනු දරුවන්ගේ හිසේ ඉදිරි කොටසේ කොණ්ඩය නැහැ. මේක මෙය රෝග තත්ත්වයක්ද?
එව් ඇතැම් මව්වරු එහෙම හිතනවා. නමුත් මෙය සිදුවන්නේ හිස කේ තදින් පිටු පසට ඇඳලා කොණ්ඩය තදින් ගැටගහන නිසයි. අපි කොයි විදිහට ඇදලා ගෙතුවත් කොණ්ඩය වැවෙන්නේ මාසෙකට 1 cm වගේ ප්‍රමාණයක්. ඇදලා බැඳීම නිසා කොන්ඩේ කැඩිලා ඉස්සරහ කොන්ඩේ හැදෙන්නම නැහැ. ඒ ඇරෙන්න මේක රෝග තත්ත්වයක් නොවෙයි.
සමහර දරුවන්ගේ බෙල්ල කලුයි. ඒඇයි?
ඔව් අම්මලා කියන්නේ “අනේ ළමයෝ බෙල්ලේ කුණු, හොඳට අතුල්ලන්න” කියලා. ඒත් අතුල්ලන්න, අතුල්ලන්න බෙල්ල තවත් කළු වෙනවා. බෙල්ල කලු නම් මුලින්ම බලන්න ඕනේ දරුවා මහතද කියන එකයි. දරුවා මහත නම් ටිකක් බර අඩු කර ගැනීම අත්‍යවශ්‍යයි. නැත්තම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
අසාත්මිකතා නිසාත් සමේ ගැටලු ඇති වෙන්න පුළුවන් නේද?
Saru FM Media