හිටපු යුද හමුදා කපිතාන් සහ රියැදුරු වසර 25කට පසු නිදහස්

0
1

කොල්ලයෙන් පසු පලා නොගොස් සතුටුසාමීචියේ යෙදී සිටි බව කීම කිසිසේත් පිළිගන්න බැහැ
නියෝගය දෙමින් විනිසුරුවරිය කියයි
ජංගම දුරකථනයක් කොල්ලකෑමේ නඩුවෙන්

රන් ආභරණ අලෙවිසලකට කඩාපැන එහි සේවකයකු සතුව තිබූ රුපියල් 20,000ක් වටිනා ජංගම දුරකථනයක් කොල්ලකෑවේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට තිබූ ජනාධිපති කොමිෂන් ලත් හිටපු යුද හමුදා නිලධාරියකු (කපිතාන්) සහ ඔහුගේ රියැදුරු වසර 25කට පමණ පසු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (24දා) නියෝග කළාය.

පැමිණිල්ලේ සාක්ෂි මගින් අනාවරණය වූ පරිදි ගිනිඅවියක් හා ජම්බෝ වර්ගයේ පිහියක් රැගෙන වැල්ලවත්ත පොලිසිය ඉදිරිපිට පිහිටි රන් ආභරණ අලෙවිසලට වෑන් රථයකින් පැමිණි බව කියන එම විත්තිකරුවන් පැමිණි කාර්ය අවසන් කර කඩිනමින් පොලිසිය පැමිණ අත්අඩංගුවට ගන්නාතුරු පලානොයා පැය එකහමාරක් තිස්සේ එහි සේවකයන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි යැයි කියන සාක්ෂි තම අධිකරණයට කිසිසේත්ම පිළිගත නොහැකි බව සිය තීන්දුව නිකුත් කරමින් පැවසූ විනිසුරුවරිය උදය ශාන්ත කොඩිතුවක්කු හා යූ. එච්. ඉලංග ශිරාන් නමැති විත්තිකරුවන් එලෙස නිදොස් කොට නිදහස් කළාය.

විත්තිකරුවන් කොල්ලකෑවැයි කියන ජංගම දුරකථනය පැමිණිල්ලේ නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ පැමිණිල්ල පියවර ගෙන නොමැති බවත් එම වැටලීමට සම්බන්ධ වූ ප්‍රධාන විමර්ශන නිලධාරියා හා සෙසු පොලිස් නිලධාරීන් මෙන්ම ස්වර්ණාභරණ වෙළෙඳසලේ සේවකයන් අධිකරණය හමුවේ ලබාදී ඇති සාක්ෂිවල දැඩි පරස්පරතා ඇති බවත් තීන්දුව නිකුත් කරමින් විනිසුරුවරිය පැවසුවාය.

2001.4.12 වැනිදා වැල්ලවත්තේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසලකට පැමිණ සෙල්වතුරේ සිවකුමාර් නමැත්තා සන්තකයේ තිබූ ජංගම දුරකථනයක් කොල්ලකෑවැයි විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් 2007 ජනවාරි 31 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබිණි.

එලෙස අධිචෝදනා ගොනු කිරීමට පෙර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී විත්තිකරුවන් රැගෙන පැමිණ සිටි බව කියන ගිනිඅවිය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි. එම ගිනිඅවිය තුවක්කු ආඥා පනත අනුව ගිනිඅවියක් නොව සෙල්ලම් පිස්තෝලයක් බවට රසපරීක්ෂකවරයා ඉදිරිපත්කොට තිබූ වාර්තාවක් සලකා බැලූ ගල්කිස්ස මහෙස්ත්‍රාත් කේ. එච්. සුමිත්‍රපාල මහතා එකී නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට නිගමනය කොට සැකකරුවන් නඩුවෙන් මුදාහැරීමට 2004.12.2 වැනිදා නියෝග කොට තිබිණි.

කෙසේ නමුත් 2007 වසරේදී ගිනිඅවි ආඥා පනත යටතේ ගැනෙන වැරදි ද සිදුකළ බවට චෝදනා කරමින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ නීතිපතිවරයා 2023 වසරේදී එකී අධිචෝදනා පත්‍රයෙන් ගිනිඅවි පනත යටතේ ගැනෙන චෝදනා ඉවත් කර චෝදනා පත්‍රය සංශෝධනය කර තිබිණි. පෙරකී චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ජනාධිපති කොමිෂන් ලත් යුද හමුදා නිලධාරියකු වූ පළමුවන විත්තිකාර උදය ශාන්ත කොඩිතුවක්කු දිසානායක මහතාට 2001.6.12 සිට බලපැවැත්වෙන පරිදි වැටුප් හා දීමනා රහිතව රාජකාරි අත්හිටුවා තිබිණි.

පොලිසියෙන් අත්අඩංගුවට ගත් සිය සේවාදායකයා පොලිසියේ රඳවා සිටියදී යුද හමුදා නිලධාරීන් විසින් ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බවත් එලෙස අසත්‍ය චෝදනා නඟමින් අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව වූයේ යුද හමුදාවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිදුකළ විවිධ දූෂිත ක්‍රියාවන් එවකට ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකු ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් ජානක පෙරේරා මහතාගේ මඟපෙන්වීමෙන් අනාවරණය කිරීම බවත් විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් පරිදි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සමග නීතිඥ නාමල් කරුණාරත්න, හිරිමුතු ජයවර්ධන යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here