හිටපු නාවික හමුදාපති උළුගේතැන්නට ඇප

0
1

සී.අයි.ඩීය නීතියට පිටින් කටයුතු කරලා – නියෝගය දෙමින් මහාධිකරණ විනිසුරු කියයි

රිමාන්ඩ් භාරයේ සිටි නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂටත් ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇපමත මුදාහැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා ඊයේ (14දා) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට මෙම නඩුවේදී කටයුතු කර ඇතැයි ද සිය නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

පුද්ගලයකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

තමා අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු නාවික හමුදාපතිවරයා කුරුණෑගල මහාධිකරණය වෙත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මීට පෙර අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයා වසර 38ක් රට වෙනුවෙන් නාවික හමුදා සේවයේ යෙදී සිටි අයකු බවයි.

පුද්ගලයකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව එල්ටීටීඊ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන විස්කාන්තන් නමැත්තාගේ සාක්ෂිය මත පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිව තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සුදුසු ඇපයක් මත ඔහු මුදාහරින ලෙසත් හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා හිටපු නාවික හමුදාපති, නිශාන්ත උළුගේතැන්න මහතා ඇපමත මුදාහැරීමට නියෝග කළේය.

මේ අතර මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ සරත් මොහොට්ටිගේ මහතා ද ඇපමත මුදාහැරීමට ඊයේ (14දා) කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

එක් අයකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියෝග කළේය.

සුජිව තත්සර සහ කුරුණෑගල- බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here