හිටපු ඇමැති ප්‍රසන්නට ඇප

0
10

රක්‍ෂණ සංස්ථාවට ලක්‍ෂ 47 1/2ක් පාඩු කර තැරැව්කාර සමාගමකට වාසියක් කළැයි ඇල්ලූ

2021 වසරේ ලොවම කොවිඩ් වසංගතයට මුහුණපා සිටි අවස්ථාවේ කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු දිවයිනට රැගෙන ඒමේදී ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට රුපියල් හතළිස් හත් ලක්‍ෂ පනස් දහසක පාඩුවක් සිදුකිරීම සහ මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නමැති තැරැව්කාර සමාගමට එකී මුදලට සමාන වාසියක් සිදුකිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් ලක්‍ෂයක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (12දා) පස්වරුවේ නියෝග කළේය.

සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ බව වහාම ආගමන විගමන පාලකවරයා වෙත දැනුම්දීමට ද නියෝග කළේය. එම සැකකරු ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවීමෙන් අනතුරුව ඔහු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් දෙදෙනකුට දුරකථන ඇමතුම් ලබාදී ඇති බව පැමිණිල්ල කියා සිටියත් එකී ඇමතුම් මගින් කුමන ආකාරයෙන් බලපෑම් කළේදැයි නිශ්චිතව දැනුම්දීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි ඇප නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවසීය. එමෙන්ම තමා විසින් සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු කෙරෙහිද අවධානය යොමු කළ බවද ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඇප නියෝගය නිකුත් කරමින් කියා සිටියේය.

සංචාරක හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා 2021 වසරේදී එම අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාලය යන ආයතන හතරේ සේවකයන් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේදී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව ලබාගැනීමට හැකියාව තිබියදීත් මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගැනීමෙන් ඒ පාඩුව රජයට සිදුකර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන පෙනී සිටි නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට කැඳවූ පසු සැකකරු පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවන් දෙදෙනකුට දුරකථන ඇමතුම් ලබාදී බලපෑම් කළ බවට තොරතුරු ලැබී ඇති බැවින් හා එකී විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි විමර්ශන නිලධාරියා එම සැකකරු ව්‍යාපාරිකයකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීමේ චෝදනාවකට මහාධිකරණයෙන් වරදකරු කර දඬුවම් නියම කළ අයකු බවද පැවැසීය.

සිය සේවාදායකයා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ 2021 වසරේදී කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්ව කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනීම සඳහා රජයට මුදල් නොතිබූ නිසා බවත් ඔහු එකී මුදල එකී ලාංකිකයන්ගේ ගුවන්පත් වෙනුවෙන් යෙදවීමට උපදෙස් ලබාදී ඇති බවත් පැවසූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එක ශතයක වාසියක් ඔහු ලබාගෙන නොමැති බවද පැවැසීය.

පැමිණිල්ල සඳහන් කළ මයි ඉන්ෂුවරන්ස් සමාගම ඒ වෙනුවෙන් යෝජනා කිරීම සිය සේවාදායකයා සිදුකර ඇති බව සැබෑවක් වන නමුත් රජය දැඩි ලෙස ආර්ථික ප්‍රපාතයකට වැටී සිටි අවස්ථාවේදී ඔහු එලෙස සිදුකර ඇත්තේ යහපත් පරමාර්ථයෙන් බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිඥ අසේල මුතුමුදලිගේ, බුද්ධික චන්ද්‍රසේකර, රජිත් සමරසේකර, යසස් හේවාපතිරණ, වජිර රණසිංහ, එරන්ද වැලිඅංගගේ, මෙනුක රාහුල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here