හස්බන්ඩ් එක්ක මුදල් ගැන කතාකරන හැටි

0
12


විවාහකයින් හුඟක් දෙනා අතරෙ මත ගැටුම් වැඩි වැඩියෙන් ඇතිවෙන මාතෘකාවක් තමයි මුදල්. ගිය මාසෙ ලයිට් බිල ඇයි තවම ගෙව්වෙ නැත්තෙ?.. ඇයි මේ සැරේ ක්‍රෙඩිට් කාර්ඩ් බිල වැඩි වුණේ.. වැනි පුංචි පුංචි විමසීම්වල අවසානය හිතනවාටත් වඩා ගැඹුරින් නරක අතට හැ‍රෙන්න හේතු වෙන්නෙ අඹු සැමියන් අතරෙ මුදල් සම්බන්ධ නිසි සන්නිවේදනයක්, අවබෝධයක් ඇතිකර ‍නොගැනීමයි. බිරින්දෑවරුන්ගේ මුදල් සම්බන්ධ නිරන්තර විමසීම්වලින් ගැලවෙන්නට සමහර සැමියන් කරන්නේ බිරිඳ සමඟ කරන කතාබහ අවම කිරීම, වැඩි කාලයක් නිවසින් බැහැර ව සිටීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීමයි. මේ තත්වයට මුහුණ දෙන්නට පෙර ඔබේ සැමියා එක්ක මුදල් ගැන කතාකරන නිවැරදි කලාව හඳුනාගන්නට මේ උපදෙස් උදව් කරගන්න.

ඉදිරි වසර 2 තුළ, වසර පහ තුළ, විශ්‍රාම යාමෙන් පසුව එකිනෙකාගේ රැකියාව, අධ්‍යාපනය, දරුවන්, ගෘහ කටයුතු, ඉදිකිරීම්, විදේශගතවීම්, නව ව්‍යාපාර ආදී වශයෙන් ඔබ දෙදෙනාට ඇති අරමුණු කතාබහ කරන්න. මුදල්වලින් ඒ සඳහා පිටුබලය ලබාගැනීමට අපේක්ෂා කරන ක්‍රමවේද, ඔබට ඇති සැලසුම් දෙදෙනා අතර හුවමාරු කරගන්න.

ඔබ වැඩිපුර වියදම් කර ඇති කරුණු, අතපසුවීම් හෝ මඟහැරීයාම්, අනවශ්‍ය ණය දීම්, ණය ගැනීම්, නොසැලකිලිමත් වීමෙන් සිදුවන මූල්‍ය පාඩු හොඳින් හඳුනාගන්න. විවෘතව, ඉවසිලිමත් ව කතාකරන්න. ආවේගශීලීව අදහස් හුවමාරු කරගැනීම්වලින් වළකින්න. අනෙකාට හොඳින් ඇහුම්කන් දෙන්න.

සහකරු අතින් සිදුවන මූල්‍ය  වැරදි හොඳින් හඳුනාගත් පසු ඊට එක්ව විසඳුම් කල්පනා කරන්න. ගැටළුවලට සොයාගන්නා විසඳුම තවත් විශාල ගැටළුවක් බවට පත්කරගන්න එපා. මතක තියාගන්න ඕනම දේ තමයි සියලු ප්‍රශ්නවලට වඩා පුද්ගලයා වටිනා බව. පුද්ගලයා වෙනමත් ප්‍රශ්න වෙනමත් තබාගන්න.

ඔබ දෙපළගේ අරමුණ ණයබරින් මිදීම, දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය, අංගසම්පූර්ණ නිවසක්, වාහනයක්, විදේශගතවීම වැනි කවරක් වුවත් ඒ වෙනුවෙන් නිවැරදිව ඉලක්ක සකස් කරගැනීමෙන් අනවශ්‍ය මුදල් වැයවීම් අත්හිටුවන්නටත්, පාලනයක් ඇතිව මුදල් භාවිතයටත් ඔබ නොදැනුවත්ව ම යොමුවේවි. සහකරු ඒ සඳහා පොළඹවන්න. එවැනි පෙළඹවීමක් ඇතිවන සේ සන්නිවේදන අවස්ථා වැඩි කරගන්න.

එකිනෙකාගේ වියදම්, දුරකතන බිල, මාසික ඉන්ධන වියදම, ගමන් වියදම්, අමතර ගමන්බිමන්, උත්සව වියදම්, රූප ලාවන්‍ය වියදම්, ඖෂධ වියදම් ආදියෙහි ගැටළුසහගත තැන් ලකුණු කරගන්න. නමුත් ඒවා විනිශ්චය කිරීමෙහි ප්‍රතිඵලයක් නැහැ. අනාගත වියදම් සැලසුම් කරගන්නට ඒවා පාඩමක් කරගන්න.

ආර්ථික ප්‍රශ්න කතාකරන්නට නිදි යහන යොදාගැනීම බොහෝ නරක ප්‍රතිඵල අත්කරදෙන්නට ඉඩ තිබෙනවා. මේ නිසා මුදල් කතාබහ ඇ‍ඳෙන් ඉවත් කර තබන්න.

ඔබේ සැමියාට ලැබෙන වැටුප, ඔබේ වැටුප මෙන් ම පවුලේ සියලු මාසික ආදායම් ගැන නිවැරදි ව තහවුරු කරගන්න. නමුත් අසාමාන්‍ය සහ අසාධාරණ මැදිහත්වීම් හෝ පාලනය කිරීම් හරහා මුදල් ගැටලු විසඳාගන්නට බැහැ. හැකිතාක් සුහදශීලී ව එකඟතාවන්ට එළඹෙමින් ගැටළු ජයගන්න.

මුදල් පරිහරණයේ දී සිදු කර ඇති බවට සැක සිතෙන යම් යම් නරක තත්වයන්, ඒ සම්බන්ධව ඉදිරිපත් කරන හේතු, විශ්වාස කළ නොහැකි අවස්ථා පරිස්සමින් සාකච්ඡා කර විශ්ලේෂණය කරන්න. නැවත එවැනි තත්වයන් ඇති නොකරන්නට එකඟතාවකට එන්න. කිසිසේත් එකඟතාවකට පත්විය නොහැකි කරුණු පවතී නම් ගැටුම්, ආරවුල් වර්ධනය කරගන්නවා වෙනුවට නිසි උපදේශන සේවාවකට යොමු වෙන්න.

ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතය, නිසි කලට බිල්පත් ගෙවීම, මාසික ව එක් එක් අවශ්‍යතා වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව, දරුවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබාදීම, අනවශ්‍ය වියදම් කපාහැරීම, ආදායම් මූලාශ්‍ර වැඩි කරගැනීම, පවුලේ ආදායම, මාසික ඉතිරිකිරීම් ආදී සියලු මුදල් කටයුතු දෙදෙනා අතර අවබෝධය සහ එකඟතාව සහිත ව සිදුකරන්න.

– නිරංජලා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here