හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයකුව සිටි තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඔහුගේ නීතිඥයා වන දිනේෂ් දොඩම්ගොඩ ගේ ජංගම දුරකථනය බාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දීමක් කර ඇත.Sri Lanka Latest News
තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී පසුගිය දා (මැයි 17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් ඔහුගේ වාහනයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව ගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිටි අතර ඔහු ද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබිණ.
තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මේවනවිට බාර දී ඇත.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා තමාගේ ජංගම දුරකථනය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකරන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, තමා වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර, තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තර ද එම දූරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව (The lawyer-client relationship) එකී තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමගේ වගකීමක් හා අයිතියක් බව පවසයි.
විමර්ශනයට අදාල කරුණු සම්බන්ධයෙන් තමා සම්බන්ධ වූ කාලයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන සීමා මායිම් පිළිබඳ මග පෙන්වීම් අනුව පමණක් තමාගේ දුරකථන පරීක්ෂාවට ඉඩ ලබා දෙන බව ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දී ඇත.
එම කාරණය සඳහන් කරමින් නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත කල ලිඛිත දැනුම්දීම මතු දැක්වේ.
විමර්ශනයක් සඳහා මාගේ ජංගම දුරකථනය භාර දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධවයි.
ඉකුත් 17 වෙනි සෙනසුරාදා රාත්‍රී, මා, මාගේ සේවාදායක තුසිත හල්ලොලුව මහතා සමග ජනාධිපති නීතීඥ නීති උපදේශන සේවාවකට සහභාගීවි, නාරාහෙන්පිට වට රවුම පාරෙන් ආපසු පැමිණීමේදී අප ගමන් කළ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය සඳහා මාගේ ජංගම දුරකථනය ලබා දෙන ලෙස ඔබ විසින් ඊයේ (19) දින මා වෙත වාචිකව දැනුම් දෙන ලදී.
මා වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර, මාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තර ද එම දූරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස මාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව (The lawyer-client relationship) එකී තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම මගේ වගකීමකි, අයිතියකි.
ඒ කෙසේ වෙතත්, එකී තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වන සහ ඒ බව මා හටත් සහතික වන පරිදි සහ මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත නඩුකරය විසින් නියම කරන මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට මම බැදී සිටිමි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණයක් අනුව මගේ දුරකථනය ඔබේ විමර්ශනය සඳහා ලබා දීමට මම බැඳී සිටීමි.
එසේම, ඔබ විමර්ශනයට අදාල කරුණු සම්බන්ධයෙන් මා සම්බන්ධ වූ කාලයට අදාලව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන සීමා මායිම් පිළිබඳ මග පෙන්වීම් අනුව පමණක් මාගේ දුරකථන පරීක්ෂාවට ඉඩ ලබා දෙන බවද දන්වනු කැමැත්තෙමි.
එසේම, ඔබ විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබා ගැනීමට අයැදුම් කරද්දී, මෙම ලිපිය අමුණා එම අයැදුම සමග ඉදිරිපත් කරන මෙන්ද දන්වනු කැමැත්තෙමි.
ස්තුතියි.
මෙයට
Dinesh D. Dodamgoda
Saru FM Media