හරි ගියොත් බිලියන 267 ක් රටට එන මන්නාරමේ තෙල්

0
1

දශක හය හමාරකට ඉහත දී ඇරඹුණු ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් සම්පත් ගවේෂණය අද වන විට යළිත් දැඩි කතා බහට ලක්වන ආකාරයේ ක්‍රියාශීලී මට්ටමකට පැමිණ ඇත.

හැත්තෑව දශකයේ සෝවියට් විද්‍යාඥයින් අනුමාන කළ පරිදිම අද පවතින ඉතා දියුණු තාක්ෂණික උපකරණවලින් ද පෙන්වා දී තිබෙන්නේ එම මහා සම්පත පිහිටා ඇත්තේ මන්නාරම් ද්‍රෝණියේ බවය.

අප රටේ එම තෙල් සහ ගෑස් සම්පත ඇමෙරිකානු ඩොලර් බිලියන 267 ක් බවට ගණන් බලා ඇති අතර, ආයෝජකයින් සඳහා සියයට 50 ක් ගෙවනු ලැබුවද අප රටට ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි කරගත හැකි තත්ත්වයක් යටතේ මෙම ගවේෂණය රටට ඉතා වැදගත් වූවකි.

මෙම ලිපිය එම ගවේෂණයේ ඓතිහාසික ගමන් මග මෙන්ම එහි වර්තමාන තත්ත්වය පිළිබඳව ද විමසා බලන්නකි.

රටෙහි ජාතික ආර්ථිකයට බලපාන මෙම ව්‍යාපෘතියෙහි එවැනි බරපතල වටිනාකමක් ඇති නමුදු එය හදිසියේ කළ හැක්කක් හෝ ආවාට ගියාට සැබෑ කරගත හැකි දෙයක් නොවේ.

ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර ආචාර්ය නෙත්තිකුමාර මහතා පවසන පරිදි ඉතාමත් තාක්ෂණික මෙන්ම ප්‍රාග්ධන සැපයුමකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු මෙම ව්‍යාපෘතිය ගෝලීය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුව වාණිජමය වශයෙන් කටයුතු ආරම්භ කිරීමට වසර තුනක් අවම වශයෙන් ගතවනු ඇත. එමෙන්ම කටයුතු සම්පූර්ණ කොට ව්‍යාපෘතියෙහි ආරම්භයට ළඟා වීමට වසර පහක කාලයක් ගතවනු ඇතැයි ද හෙතෙම පවසා තිබේ.

නෙත්තිකුමාර මහතා පවසා ඇත්තේ ආයෝජකයන්ගේ විශ්වාසය මෙන්ම ජාතික ප්‍රතිලාභ යන කරුණු ද්විත්වයම සහතික කෙරෙන ආකාරයේ කොන්ත්‍රාතුවක් කෙටුම්පත් කිරීමට ප්‍රමුඛත්වයක් දී තිබෙන බවය. එසේම මෙය අදාළ කර්මාන්තය පිළිබඳව විශේෂඥයින් සමග සාකච්ඡා කරමින් සිදු කරන්නක් බවද ඔහු කියයි.

මෙම ගවේෂණ සිදු කෙරෙන බිම් පෙදෙස් පිළිබඳ නෛතිකමය බලය රජය සතුවන බව පෙන්වා දී තිබෙන නෙත්තිකුමාර මහතා මේ ආකාරයට ඛනිජ තෙල් සම්පත් පනත උපුටා දක්වනු ලබයි.

එම උපුටනය අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම ඛනිජ තෙල් මෙහෙයුමකට අනුකූලව ලබා ගත් හෝ සකස් කරන ලද සියලුම ඛනිජ තෙල් දත්තවල අයිතිය රජයට පැවරේ. එසේම එවැනි ඛනිජ තෙල් දත්ත කළමනාකරණය සහ පාලනය අධිකාරියට පැවරේ. නිමකර ඇති ක්‍රියා පටිපාටිය සහ ගාස්තුවලට යටත්ව වාණිජ, අධ්‍යාපනික හෝ විද්‍යාත්මක භාවිතය සඳහා ඛනිජ තෙල් දත්ත වෙත ප්‍රවේශවීම සඳහා බලපත්‍රයක් ලබා දීමේ අයිතිය අධිකාරිය සතුය.

මේ කතාවේ අප දන්නා අතීතය පටන් ගත හැක්කේ මේ ආකාරයෙනි.

එනම් 1970 දශකයේ මැද භාගයේ දිනක දිනමිණ හෝ සිළුමිණ පුවත්පත්වල මුල් පිටුවෙහි පළවූ සමස්ත ජනතාවගේම අවධානය දිනාගත් ඡායාරූපයකිනි.

අද මෙන් පුවත්පත් වර්ණ ගැන්වී නොතිබුණු මේ කාලයේ කළු සුදු පැහැයෙන් මුද්‍රණය වී තිබූ මෙම ඡායාරූපයෙන් දැක්වුණේ අප රටෙන් සාරා ගන්නා ලද ඛනිජ තෙල් සාම්පල් සහිත බෝතල් දෙකකි. අමු බොරතෙල් සහිත එම බෝතල් දෙකෙහි ඡායාරුපය කිසිසේත් සිත් ඇදගන්නා පෙනුමකින් යුත් එකක් නොවූවද, ඉන් ගම්‍ය වූ ප්‍රවෘත්තිමය වටිනාකම සමස්ත පොදු ජනතාව තුළම මහත් බලාපොරොත්තුවක් ජනිත කරවන්නට සමත් විය. විශේෂයෙන්ම තුනෙන් දෙකක මැතිවරණ ආසන ප්‍රමාණයක් ලබා දෙමින් බලයට පත් කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණු රජයේ ඡන්දදායකයින්ට දේශපාලනික වශයෙන් එය ඉතා ප්‍රීතිමත් ආරංචියක් විය. මේ හැරුණු කල එය දේශපාලන භේදයකින් නොව රට ගැන සිතන්නට මතයක් තිබූ සෑම අයෙකු තුළම ඉමහත් බලාපොරොත්තුවක් ජනිත කරවන්නට ද සමත්ව තිබුණේය. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති එවකට ආණ්ඩුව යටතේ රජය විසින් අනුගමනය කරමින් සිටියේ රටට අවශ්‍ය දේ රට තුළම නිපදවා ගන්නා සංවෘත ආර්ථික ප්‍රතිපත්තියකි.

එවකට ලෝකයේ බලවත් සමාජවාදී රාජ්‍යයක් වූ සෝවියට් රුසියාවේ ආධාර මත අප රටෙහි මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් සඳහා ගවේෂණ කටයුතු ආරම්භ වී තිබිණි. ඉහත සඳහන් සාම්පල් ඉදිරිපත් කර තිබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නමුත් විරුද්ධ පක්ෂය විසින් මෙම ජයග්‍රහණය දේශපාලන උප්පරවැට්ටියක් ලෙස ලඝු කිරීම මෙන්ම හැත්තෑ හතේදී ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණු රජය අන්ත පරාජයකට පත්වීමද, මුල්කර ගනිමින් එම ව්‍යාපෘතිය ඉන් ඔබ්බට ක්‍රියාත්මක වූ බවක් දක්නට ලැබුණේ නැත.

අනෙක් පැත්තෙන් හැත්තෑ හතේදී රටේ පාලන බලය හිමිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ වූ රජය දක්ෂිණාංශික මුහුණුවරකට යොමුවීම ද, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී බල කඳවුරු ප්‍රතික්ෂේප කර ඇමෙරිකානු ප්‍රතිපත්ති අනුගමනය කිරීම ද හේතුවෙන් ව්‍යාපෘතිය සදහටම නැවතුණු බවක් පෙනෙන්නට විය.

මූලාශ්‍ර සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ කටයුතු මුලින්ම ආරම්භ වී ඇත්තේ හැටේ දශකයේදීය. එමෙන්ම තවත් මූලාශ්‍රයකට අනුව පැවසෙන්නේ එය වසර 40 කට පෙර සිදු වූ බවකි. නමුත් පෙර සඳහන් කළ පරිදි 70-77 කාලයේදී සෝවියට් ගවේෂණයෙන් අනතුරුව එවැනි තෙල් බෝතල් දෙකක ඡායාරූපයක් පළ වූ බවට මෙම ලියුම්කරුද සාක්ෂිකරුවෙකි.

මෑත කාලයේ සිදු කරන ලද ගවේෂණවලින් සොයා ගෙන ඇත්තේ මන්නාරම, කාවේරිය සහ ලංකා යන වෙරළබඩ පිහිටි අවසාධිත ද්‍රෝණි තුනෙහි සතුටු විය හැකි ප්‍රමාණයේ ඛනිජ තෙල් සංචිත තිබිය හැකි බවය. ඒ අතරින් වැඩි ප්‍රගතියක් පෙන්නුම් කර ඇත්තේ මන්නාරම් ද්‍රෝණිය තුළය.

එහි පළමු භූ කම්පන සමීක්ෂණය සිදු කරන ලද්දේ 1984 දීය. ඒ කැනඩාවේ ෆීනික්ස් කැනඩා තෙල් සමාගම විසිනි. ඒ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ කැනඩාවේ තවත් සමාගමක් සම්බන්ධ වී තිබිණි.

මෙරට පොළෝ ගර්භය තුළින් පළමුවරට ස්වාභාවික වායුව සොයා ගන්නා ලද්දේ මන්නාරම් ද්‍රෝණිය තුළිනි. මෙය සිදු වූයේ 2011 දීය. මෙවැනි ස්ථාන දෙකක් දැනට හඳුනාගෙන ඇති අතර, එය ප්‍රමාණයෙන් ස්වාභාවික වායු ඝන අඩි ටි්‍රලියන එක ද ඉක්මවන බවට දැනට ඇස්තමේන්තු කර ඇත. එය ඝනීභවනය කළ විට බැරල් මිලියන 10කට අධික වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහි පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස කි.මී. 90 ක ද්විමාන භූ කම්පන දත්ත ලබා ගන්නා ලද නමුත් අවාසනාවකට මෙන් 1984 අවසන් භාගය වන විට එම ගවේෂණ නතර විය. එතැන් සිට දාහත් වසරක් අක්‍රියව පැවැති මෙම ව්‍යාපෘතිය යළි අවධානයට ලක් වූයේ 2001 දීය. එම වසරේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවත් සමාගම් දෙකක් සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ ද්විමාන භූ කම්පන දත්ත තවත් වර්ග කි.මි.1,100 ක් ලබා ගැනීම පිණිසය.

නමුත් 2007 දී එවකට පැවැති රජයේ කැබිනට් මණ්ඩලය විසින් මන්නාරම් ද්‍රෝණියේ අදාළ ද්විමාන භූ කම්පන දත්ත අදාළ සමාගම වෙතින් මිලදී ගැනීමට තීරණය කරන ලදී. එම සමාගමෙන් ලබා ගන්නා ලද තොරතුරු උපයෝගි කර ගනිමින් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කලාප 9ක් සඳහා සිතියම් සකස් කරන ලදී. වර්ග කි.මී. 3,340 සිට වර්ග කි.මී. 6,640 දක්වා වූ ගවේෂණ ක්‍ෂේත්‍රයක් එයට අයත් විය.

මේ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් ගත් තවත් තීරණයක් වූයේ එතැන් සිට භූමියේ දත්ත රැස් කිරීම සඳහා අදාළ සමාගමට ලබා දී ඇති අවසර පත්‍රය අවලංගු කිරීමය.

ඉන් අනතුරුව මෙසේ බෙදා වෙන් කරන ලද බිම් කොටස් 9 න් කොටස් 3ක් සඳහා විදේශීය සමාගම් තුනකට බලපත්‍ර ලබා දීමට තීරණය කරන ලදී. කේන් ඉන්දීය සමාගමෙහි අනුබද්ධිත සමාගමක් වන කේන් ලංකා සමාගම සමග රජය විසින් 2008 දී ගිවිසුමක් අත්සන් කරන ලද්දේ ඒ අනුවය. නමුත් පසුව මෙම සමාගම බොරතෙල් මිල පහත වැටීමත් සමග අප රටෙන් ඉවත් විය.

2016 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සහ තමාගේ කැබිනට් මණ්ඩලයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සමග එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ගවේෂණය සඳහා ප්‍රංශයේ තෙල් හා ගෑස් සමාගමක් වන ටෝටල් වෙත බාර දුන්හ.

නමුත් 2019 වර්ෂය වන විට චන්දිම වීරක්කොඩි මහතා එම තනතුරින් ඉවත් වීමත් සමග අදාළ ව්‍යාපෘතිය අතරමග නතර විය. නමුත් යළි ටික කලකට පසුව සීමිත ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් මන්නාරම් ද්‍රෝණිය තුළ කේන් සමාගමට ලබා දී තිබූ කොටසේ වැඩ කටයුතු යළි ආරම්භ කෙරිණි.

එවකට රජයේ බලශක්ති අමාත්‍යවරයා වූ උදය ගම්මන්පිල මහතා විසින් නැවත වරක් තෙල් හා ගෑස් ගවේෂණය පිළිබඳ නැවත සාකච්ඡා ආරම්භ කරන ලද්දේ මෙම ව්‍යාපෘතිය නැවත පණ ගැන්වීමේ උත්සාහයක් වශයෙනි.

එහිදී එක්සත් රාජධානිය, අග්නිදිග ආසියාව පදනම් කරගත් මහා පරිමාණ සමූහ ව්‍යාපාර දෙකක් සහ තවත් ව්‍යාපාරිකයකු ශ්‍රී ලංකාවේ ගවේෂණ කටයුතු සඳහා කැමැත්ත පළ කරනු ලැබීය.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගවේෂණ කටයුතු වේගවත් කිරීම සඳහා නව සංශෝධන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතට එකතු කරන ලද අතර, ඔහු විසින් මෙරට සමස්ත ආර්ථිකයට බලපාන ඉතා වැදගත් හෙළිදරව්වක් කරනු ලැබීය.

එය නම් මන්නාරමේ ද්‍රෝණියේ ඇති තෙල් සම්පතෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 267 ක් විය හැකිය. මෙම වටිනාකමෙන් 50 ක් ආයෝජකයන්ට වෙන් කරනු ලැබුවද රටට ඩොලර් බිලියන 133.5ක් ඉතිරි වන බව ඔහු පෙන්වා දුන්නේය.

නමුත් රට මේ සා ප්‍රගතියක් ලබාගත හැකි එම ව්‍යාපෘතිය එතැන් සිට මන්දගාමි වූයේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් කිසි විටක ලැබුණේ නැත.

දැන් මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රයේ දැවැන්ත ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් පිළිබඳ කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තු අවසන් කිරීම සඳහා රජය විසින් කටයුතු පිළියෙල කරමින් සිටී.

ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති අතර, අමාත්‍ය ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.එස්. ද රාජකරුණා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සහ ශ්‍රී ලංකා තිරසර බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජේ. බණ්ඩාර යන මහත්වරුන්ගෙන් එය සමන්විතය.

මෙම කමිටුව විසින් ඛනිජ තෙල් ගවේෂණය සඳහා වන කොන්ත්‍රාත්තුව කෙටුම්පත් කිරීමේ කටයුතු සිදුවන අතර, මේ මොහොත වන විට එය පවතින්නේ අවසන් අදියරෙහි බව දැන ගන්නට ලැබී ඇත. තව මාස හයක් තුළ සම්පූර්ණයෙන්ම එහි කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත.

ඒ සමගම නෙත්තිකුමාර මහතා පෙන්වා දෙන්නේ පවතින නීතිමය තත්ත්වය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මෙහිදී උද්ගත නොවනු ඇත යන්නය. මෙම ගවේෂණ කටයුතු ඉදිරියට ගෙන යෑම සහ සංවර්ධන කටයුතු අරබයා එම නීති පද්ධතිය ප්‍රමාණවත් බව ඔහුගේ අදහස වී තිබේ.

නෙත්තිකුමාර මහතා තවදුරටත් පවසන ආකාරයට ශක්තිමත්, පාරදෘශ්‍යභාවයෙන් යුත් සමබර කොන්ත්‍රාත්තුවක් තුළින් ආයෝජකයන්ට සාධාරණව යැයි පිළිගත හැකි කොන්දේසි ලබා දීම මෙහි අරමුණ බවය. එමගින් ශ්‍රී ලංකාවේ මෙම ස්වාභාවික සම්පත සහ මූල්‍යමය ප්‍රතිලාභ දිගු කාලීනව පාලනය කළ හැකි බව ඔහුගේ අදහසයි.

තිස්ස ප්‍රේමසිරි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here