හර්ෂිතාගේ සහ කවීශාගේ පිතිකරණයත්,අලුත් බලාපොරොත්තුවල වේගය සහ දඟ කැවීමත් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

0
3


නිශ්මං රණසිංහ මැයි 03, කොළඹ LNW:

මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීයම පිතිකාරිය කවුදැයි ඇසුවහොත් චමරි අතපත්තුගේ නමට අමතරව වැඩිම දෙනෙක් මුමුණන නම හර්ෂිතා සමරවික්‍රමගේය.ඇය යළිත් වරක් එය සහතික කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු පහක ජයක් කරා යාමට ශ්‍රී ලංකාවට මඟ පෙන් වූවාය.එසේම ඓතිහාසික ආසියානු කුසලාන ජය කරා යන්නට ඇය සමඟ සිටි ශක්තිය වූ කවීශා දිල්හාරි අනෙක් පසින් ඒ සදහා ඇයට සහය දුන්නාය.

තරගය ඇසුරෙන් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඇසුරෙන් සිතන විට,පිතිකරණයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාණ්ඩ තුනකට බෙදා දැක්විය හැකිය.ඒ වයස සහ අත්දැකීම් අනුවය.චමරි ප්‍රමුඛ වන හසිනි පෙරේරා,නිලක්ෂි ද සිල්වා සහ අනුෂ්කා සංජීවනී එයින් එක් කාණ්ඩයක් නියෝජනය කරයි.දෙවන කාණ්ඩයට වැටෙන්නේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීශා දිල්හාරිය.තෙවන කොටසට විශ්මි ගුණරත්න සිටින අතර මනුදි නානායක්කාර,රශ්මිකා සෙව්වන්දි සහ දෙව්මි විහංගා ඒ තුළ ස්ථාවර වෙමින් සිටින්නෝය.ජාතික කණ්ඩායමට පිවිසෙන දොරටුව අසළ සිටින තවත් පිත්කරුවන් පිරිසක්ම පසුපෙළෙන් ඇත.

මෙවැනි කාණ්ඩ තුනකට පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව පෙළ ගැස්වීමට දුෂ්කරය.සුගන්ධිකා කුමාරි,ඉනෝෂි ප්‍රනාන්දු,උදේශිකා ප්‍රබෝධනී,ඉනෝකා රණවීර,මේ වන විට එංගලන්තයට ගොස් සිටින ඕෂධී රණසිංහ මෙන්ම අචිනි කෞශල්‍යා සහ චමරි අතපත්තුත් වැටෙන්නේ එක කාණ්ඩයකටය.එහි වෙනසක් කිරීමට සමත් වී ඇත්තේ මෑත කාලයේ දී මල්කි මධාරා ය. ඉනික්බිතිව ඒ ගොඩට වැටෙන්නට සමත්වන්නි දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට මධාරා සමඟ එක්ව සිය පළමු එක් දින තරගයේම ලකුණු 41 ට කඩුලු තුනක් දවා ගත් දෙව්මි විහංගාය.

මෑත කාලයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විශ්වාසයෙන් අනාගතය සඳහා කරන ආයෝජන අතරින් දෙව්මි,මනුදි මෙන්ම රශ්මිකා ද තුන් ඉරියව් හැකියාව ඇති ක්‍රීඩිකාවන් වීම ද ඒ අතරින් සුවිශේෂ කොට දැක් විය හැකිය.එම විශ්වාසය ඔවුන් තුළ තහවුරු කරන්නේ කෙසේද යන්නත්,ඊට අවශ්‍යය අත්දැකීම් පුළුල් කිරිමට ගන්නා ක්‍රියාමාර්ගත් අනුව අනාගතය යහපත් කර ගැනීමේ ඉඩ සහ වර්ථමානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අත් කරගෙන තිබෙන තත්ත්වය ස්ථාවර කර ගැනීමේ හැකියාව තිබෙන බව පැහැදිළිය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ජයෙන් පසුව නායිකා චමරි ද සිය තරුණ කණ්ඩායම ගැන උදම් ඇනුවාය.එසේම ඇය “තේරීම් කමිටුව සහ පුහුණු කාර්ය මණ්ඩලය තීරණ ගැනීමට මට සහාය දෙනවා“ යනුවෙන් ජාතික කණ්ඩායමේ සංයුතිය තරුණ සහභාගීත්වය ඇතුව වෙනස් වීම ඇයගේ ද අපේක්ෂාවක් බව ඉඟි කළාය.එහි අරුත ඇය බැස යන විට එම හිස්තැන නොදැනෙන,ජාතික වගකීම ගත හැකි පසුපෙළක් ශක්තිමත්ව නඟා සිටුවීමටද දායක්වීමේ වගකීම ගැන ඇය හොඳන් සිතා හැසිරෙන බවය. මේ තත්ත්වය කඩුල්ල පිටුපස ද සම්බන්ධ කර සිතිය යුතුය.අනුෂ්කා සංජීවනීගෙන් පසුව එම තැන පිරවීමේ අපේක්ෂාවෙන් අත්හදා බලන කෞෂනී නෘත්‍යංගනා ට අනුෂ්කා කණ්ඩායමේ සිටියදී කඩුල්ල පිටුපස අත්දැකීම් ලබා දීම කෙරෙහි සිතා බැලිය යුතුය.

දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී කාසියේ වාසිය දිනූ චමරි දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දු යැවීමට තීරණය කළාය.එම තීරණය නිවැරදි කරමින් ඉන්දියාවට එරෙහිව අනගි ඉණිමක් දියත් කළ ටෂ්මින් බ්‍රිට්ස් සහ දකුනු අප්‍රිකාව සතු විශිෂ්ඨම පිතිකාරිණිය ලෝරා වොල්වාර්ඩ්ට් යන දෙදෙනාම ඉක්මණින් පිටියෙන් ඉවත් කිරීමට මධාරා සහ සුගන්ධිකා කුමාරි සමත් විය.මැද පෙළ ශක්තිමත් කරමින් ලාරා ගුඩාල් (46),සුනේ ලූස් (31) සහ චොලේ ට්‍රියොන් (35) දියත් කරන්නට උත්සාහ කළ දීර්ඝ ඉණිම් සිය මංගල එක්දින තරගයට ක්‍රිඩා කරමින් සිටි දෙව්මි විහංගා විසින් ව්‍යර්ථ කර දැමුවාය.නොසැලී සිටි එකම පිතිකාරිය බවට පත් ඇනරි ඩෙර්ක්සන් නොදැවී ලකුණු 61 රැස් කළාය.දකුණු අප්‍රිකාව ආරම්භයේදීත් අවසානයේදීත් විනාශ මුඛයට රැඟෙන යන්නිය වූ මල්කි මධාරා සිය ගිණුමට කඩුලු 4 ක් එක් කර ගත්තේ ලකුණු 50 ක් පමණක් ලබා දෙමින්ය.පන්දු ඕවර් 50 නිමාවේ දකුණු අප්‍රිකානු ඉණිම කඩුලු 9 ක් අහිමිව ලකුණු 235 රැදී තිබිණ.

පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාවට මුළු ලකුණු ප්‍රමාණය 9 ත් ව තිබියදී චමරි අතපත්තුගේ කඩුල්ල අහිමි විය.එහෙක් එම සුපිරි ක්‍රීඩිකාව අහිමි වූ පමණින් ශ්‍රී ලංකාව පසු බැසීමට සූදානම් නැති බවට ඇති කර තිබෙන නව ප්‍රවනතාවය ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ලට හසිනි පෙරේරා (42) සහ විශ්මි ගුණරත්න (29) විසින් එකතු කළ සබඳතාවය ලකුණු 69 ක් විය.යළිත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාත කරමින් හර්ෂිතා මාධවී (71) සහ කවීශා දිල්හාරි (61) එක් කළ හතරවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 128 ක අනගිතම එකක් විය.

පිතිකාරිණියන් ලෙස කණ්ඩායමේ මුල් පෙළට ඇතුළත් කර පිතිකාරිණියන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම හොඳ ඉණිම්වලට දායක් වෙමින් ඉහළ සබඳතා පැවත්වීම ජයග්‍රහණයේ පදනම විය.කල්පනාකාරී විම,නිලකුණු පන්දු අඩු කරමින් කෙටි ලකුණු කරා යෑමට දැක් වූ සමත් බව ලකුණු 235 විශාලත්වය එන්න එන්නම කුඩා කළේය.එම හැකියාව මැනවින් ප්‍රදර්ශනය කළ හර්ෂිතා සහ කවීශා කෙටි ලකුණු කරා පිවිසෙමින් දිගු ඉණිමකට සිය ශරීරවල සහ මනසේ ඇති සංයමය සහ දරා ගැනීම ද විදහා පෙන්වූ හැටි ඒ අතරින් අපූරුය.ඒ නිසා ලකුණු 235 ට ඔවුන්ගේ සැළසුමේ ජයග්‍රහණයේ අවසානය සටහන් වෙද්දී ඔවුන් සිටියේ පන්දු ඕවර් 50 ට යන්නට පන්දු 21 ක් පිටුපසින්ය.

දැන් තරගාවලිියේ තරග දෙකම ජය ගත් ඉන්දියාවට පිටුපස සිටින කණ්ඩායම ශ්‍රී ලංකාවය.දකුණු අප්‍රිකාව තරග දෙකම පරාජයට පත් ව සිටිති.මේ ජයග්‍රහණයේ ආරම්භය දැඩි විශ්වසනිය ආකාරයට සටහන් වූ එකකි.ඒ හැඩය ඉදිරි ඉන්දිය තරගයට ද අදාළ වනු ඇත.රිද්මය මේ මට්ටමට සුරැකෙන සහ චමරි නැවත ලකුණු අතරට පිවිසීම කියන කාරණා දෙකම ඉදිරියේදි ඉටු වුවහොත් මේ තරගාවලියේ අවසානය යළිත් ඉන්දියාවට ආසියානු කුසලාන තරගාවලියේ අවසාන තරග අත්දැකීමම විඳින්නට මාර්ගය සකස් කරන එකක් වනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here