ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඊයේ දිනයේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඔහු සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ ආරක්ෂක අංශවල දැඩි අවදානය යොමුව තිබෙනවා.
ඒ අනුව වැඩ ආවරණය කරන පොලිස්පති ලලිත් පතිනායක මහතාට නියෝග කර ඇත්තේ අදාළ ප්‍රකාශය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්.
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඊයේ දිනයේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙවන් ප්‍රකාශයක් සිදු කළා.
මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරික්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි කොළඹ මහාධිකරණය ඊයේ නියම කළේ.
එහිදී විත්තිකාර හරක් කටා විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිටියා.
තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණිය ද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා, යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියා.
ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමට නියම වුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී හරක් කටා නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22ක් යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.
Saru FM Media