නාසා ආයතනය ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිසුන්ව විශ්වයේ ගැඹුරුතම ප්‍රදේශයකට රැගෙන යාමට සූදානම් වුවද, ඔරියන් (Orion) අභ්‍යවකාශ යානයේ ඇති එක් තාක්ෂණික මෙවලමක් තවමත් නිසි ලෙස ක්‍රියා නොකිරීම බලවත් ගැටලුවක් වී තිබේ. ඒ එම යානයේ ඇති වැසිකිළි පද්ධතියයි.
පසුගිය බදාදා පෘථිවියෙන් පිටත් වූ ආටිමිස් II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් සිව්දෙනා, තම යානය තුළ ඇති වැසිකිළියේ වරින් වර ඇතිවන දෝෂ කිහිපයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය සෙනසුරාදා වන විට, යානයේ අපද්‍රව්‍ය පිටතට බැහැර කරන නලය ශීතල වීම හේතුවෙන් අපද්‍රව්‍ය සිරවී ඇති බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ.
මේ නිසා වැසිකිළිය භාවිත කිරීමට බාධා මතු වූ අතර, ගගනගාමීන්ට විකල්ප ක්‍රමයක් ලෙස ප්ලාස්ටික් බඳුන් භාවිත කිරීමට උපදෙස් දී තිබුණි.
මෙම අවහිරතාවය ඉවත් කිරීම සඳහා ගගනගාමීන් විසින් යානයේ එම නාලිකාව සූර්යයා දෙසට යොමු කර රත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඉංජිනේරුවන් පවසන්නේ එහි රැඳී ඇති අයිස් දිය කිරීමට හීටර් (Heaters) ද භාවිත කරන බවය.
වැසිකිළිය දැනට ක්‍රියාත්මක වුවද, අවශ්‍ය වුවහොත් භාවිත කිරීම සඳහා සුදුසු (Backup) උපකරණ සූදානම් කර තබා ඇති බව සඳහන් වේ.
නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් යන සිව්දෙනා දැනට දින 10 ක මෙම ඓතිහාසික මෙහෙයුමේ පස්වන දිනය පසු කරමින් සිටියි.
ඔවුන් ගමන් කරන්නේ මීටර් 5 ක් පළල සහ මීටර් 3 ක් උසැති ඉතා කුඩා ඉඩකඩක් සහිත යානයකය.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොක් විහිළුවට මෙන් පවසා සිටියේ තමා “අභ්‍යවකාශ ජලනල කාර්මිකයෙකු” (Space plumber) ලෙස හැඳින්වීමට ආඩම්බර වන බවය.
මෙම වැසිකිළි ගැටලුව මධ්‍යයේ වුවද, යානයේ ගමන් මගට ඉන් බාධාවක් වී නොමැත. 1972 වසරෙන් පසු මිනිසුන් පෘථිවි කක්ෂයෙන් පිටතට ගිය පළමු අවස්ථාව මෙයයි.
මෙම කණ්ඩායම සඳ මත ගොඩ නොබසින නමුත්, සඳ වටා ගමන් කරමින් අනාගතයේදී සිදුවන සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ඇත.
නාසා ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් පවසන්නේ, “අපට අභ්‍යවකාශයේදී ඉතා සුවිශේෂී දේවල් කළ හැකි වුවත්, වැසිකිළි පද්ධතියක් නිසි ලෙස සකස් කිරීම තවමත් අප නිසි ලෙස ප්‍රගුණ කළ යුතු අභියෝගයක්” බවය.
Saru News
















