හදන්න – ගොඩදාගන්න බෑ…වහන්න යන ආයතන තුනක්!

0
6

ඈවර කර වසා දමන්න යන ආයතන 33ක් පිළිවෙළින්

අද ආයතන තුනයි

දැනට ක්‍රියාකාරි මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන 33ක් අදියර දෙකක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි. මෙකී යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි. කොටින්ම කිවහොත් මෙම රාජ්‍ය ආයතන රජයට බරක් වී තිබූ ආයතන වන අතර රට්ටුන්ගේ බදු මුදල්වලින් නඩත්තු කරනු ලැබූ රාජ්‍ය ආයතනයන්ය. ඒ විතරක් නොව වසාදැමීමට තීන්දුකොට ඇති රාජ්‍ය ව්‍යවසායන් වැඩි සංඛ්‍යාවක් මහාපරිමාණ වංචා හා දූෂණවලින් කප්ගසා තිබුණි. මිහින්ලංකා ගුවන් සමාගම ද වසාදැමීමට තීන්දුකොට ඇති සමාගමකි. මෙකී සමාගම ද වංචා හා දූෂණවලින් පිරීගොස් තිබුණි. මිහින් ලංකා ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී එනම් 2006 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කරනු ලැබීය. මෙකී ගුවන් සමාගම ආරම්භකොට වසර දහයක් ගතවීමටත් මත්තෙන් එනම් 2016 වර්ෂයේ ඔක්තෝබර් මස 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට එවකට පැවති යහපාලන රජය මගින් කටයුතු කරනු ලැබීය.

මෙහෙයුම් කටයුතු නතර වී තිබූ කාලයෙත් මිහින් ලංකා ගුවන් සමාගමට කෝටි ගණන් ණය දීලා අඩු වියදම් ගුවන් සේවයක් වන මිහින් ලංකා සමාගම විශාල වශයෙන් පාඩු ලබමින් මහජන මුදල් කාබාසිනියා කළ සමාගමකි. මෙම සමාගමේ මෙහෙයුම් කටයුතු නවතා දමා වසර අටක් ගතවීමෙන් පසුවද සමාගම සඳහා කෝටි ගණනින් ණය ලබා දී තිබේ. සැබැවින්ම මෙය පුදුමයට කාරණයකි. 2024 පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වන ආකාරයට මහා භාණ්ඩාගාරයේ ඇප මත ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 3,173ක ණය මුදලක් මිහින් ලංකා සමාගමට ලබා දි තිබුණි. ඒ විතරක් නොව මහජන බැංකුවෙන් ද මෙකී සමාගම වෙත රුපියල් මිලියන 3,173ක ණය මුදලක් ලබාදී තිබුණි. ඒ අනුව මිහින් ලංකා සමාගමට මෙම රාජ්‍ය බැංකු දෙක මගින් ලබාදී තිබූ සමස්ත ණය මුදල රුපියල් මිලියන 6,346කි. මෙම ණය සඳහා භාණ්ඩාගාරය සහන ලබාදීමේ ලිපි නිකුත් කර ඇති අතර සමාගම අර්ධ වශයෙන් පොලිය ගෙවා ඇතත් මූලික මුදල් තවමත් ගෙවා නොමැත. මිහින් ලංකා සමාගම විසින් රුපියල් ණයවලට අමතරව අමෙරිකානු ඩොලර්වලින් ද ණය ලබාගෙන තිබුණි. රාජ්‍ය බැංකු දෙක විසින් එම ණය ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටියද එම ණය මුදල් ගෙවීමට මිහින් ලංකා ගුවන් සමාගමට නොහැකි වී ඇත.

රාජ්‍ය බැංකු දෙකකට මිහින් ලංකා සමාගමෙන් මිලියන 6,346ක පොල්ලක්

මිහින් ලංකා ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු නතර කරනු ලැබූ 2016 වර්ෂයේ දී ගුවන් සමාගම විසින් රුපියල් මිලියන 2,470ක අලාභයක් ලබා තිබුණි. ඒ වනවිට මෙකී ගුවන් සමාගම විසින් අත්කරගෙන තිබූ සමස්ත අලාභය රුපියල් මිලියන 19,743කි. ඒ විතරක් නොව සමාගමේ ජංගම වගකීම් ජංගම වත්කම්වලට වඩා රුපියල් මිලියන 5,267ක් ඉක්මවා ගොස් තිබුණි. මිහින් ලංකා ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු නතර කරන විට සමාගමේ මුළු සේවක සංඛ්‍යාව 302කි. සමාගමේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමෙන් පසු එහි සේවකයින් 125 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බඳවාගෙන තිබුණි. සේවකයින් 168 දෙනකු ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කර තිබුණි.

මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම ඈවර කිරීමේ ප්‍රමාදය හේතුවෙන් පරිපාලන වියදම් ලෙස කෝටි තුනකට අධික මුදලක් ගෙවලා මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම ද වසා දැමීමට තීන්දුකොට ඇති සමාගමකි. මෙම සමාගමේ සමුච්චිත අලාභය කෝටි 760කි. ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 962කි. ඒ අනුව සමාගමේ ජංගම වත්කම්වලට වඩා ගෙවිය යුතු ණය ප්‍රමාණය සියයට 458ක් ඉක්මවා ගොස් තිබුණි. මෙකී සමාගම දැනටද අක්‍රියව පවතින අතර මෙම පුද්ගලික සමාගමේ ඈවර කිරීමේ කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් ඉකුත් වසර (2019 -2022) හතරක කාලය තුළ පරිපාලන වියදම් ලෙස රුපියල් තුන්කෝටි දහනවලක්ෂ අසූතුන්දහස් හයසියතිස්නමයක (31,983,639) මුදලක් වැයකොට ඇති බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි.

මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගමේ පාඩුව කෝටි 760ක් ගෙවීමට ඇති ණය මුදල කෝටි 962ක්

මෙම සමාගමේ මෙහෙයුම් කටයුතු ඈවර කිරීමට 2018 වර්ෂයේ පෙබරවාරි මස 15 වැනි දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීන්දුකොට තිබුණි. එම තීරණය ගෙන 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට වසර හතරක් ගතවී ඇතත් ඈවර කිරීමේ කටයුතු නිමවී නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම අක්‍රියව පවතින මෙකී සමාගම විසින් අර්ධ කාලීන මූල්‍ය කළමනාකරුවන් දෙදෙනකු සඳහා මාසික වැටුප රුපියල් 50000 බැගින් 2022 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් මස දක්වා රුපියල් එකොළොස් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සමාගම තුළ ගනුදෙනු සිදුනොවන තත්ත්වයක් තුළ එසේ මූල්‍ය කළමනාකරුවන් දෙදෙනකු සේවයේ යෙදවීමේ අවශ්‍යතාවය සාධාරණ වන ලිඛිත තහවුරුවක් විගණනයට ඉදිරිපත් වී නොතිබුණි.

ලංකා සිමෙන්ති සමාගම ද වසා දැමීමට තීන්දුකොට ඇති සමාගමකි. සිමෙන්ති සමාගම ඈවර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ 2019 වර්ෂයේ ජුලි මස 19 වැනිදාය. එහෙත් සිමෙන්ති සමාගම ඈවර කිරීමේ ක්‍රියාවලිය 2024 වර්ෂය අවසන්වන විටද ආරම්භකොට නොතිබුණි. සිමෙන්ති සහ සිමෙන්තිවලින් සාදනු ලබන සිමෙන්ති කොන්ක්‍රිට් හෝ වෙනත් සිමෙන්ති මිශ්‍රණවලින් සාදනු ලබන ඕනැම භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, සැපයීම, ආනයනය කිරීම, විකිණීම යන අරමුණුකරගෙන 1982 වර්ෂයේ දී සිමෙන්ති සමාගම ස්ථාපනය කරනු ලැබීය.

නමට පමණක් ඇති ලංකා සිමෙන්ති සමාගම

සිමෙන්ති සමාගම සඳහා 2023 වර්ෂයෙන් පසු සභාපතිවරයකු හෝ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කර නොතිබුණි. කිසිදු සේවකයකු සේවයේ යෙදී නොතිබුණි.

සැබවින්ම මීට දශක දෙක තුනකට පෙර සිමෙන්ති ගැන සඳහන් කරන විට නිතැතින්ම අපේ මතකයට එන්නේ කන්කසන්තුරේ, පුත්තලම සහ රුහුණු සිමෙන්ති කම්හල්ය. සිමෙන්ති සමාගමට අයත්ව තිබූ කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව ද යුදමය වාතාවරණය හේතුවෙන් 90 වර්ෂයේ ජුනි මස සිට වසාදමා තිබුණි. යුද්ධය අවසන් වී වසර පහළොවකට ආසන්න කාලයක් ගත්වී ඇතත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි විවෘත කිරීමට නොහැකි වී තිබුණි. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු නතර වී දැනට වසර 33ක් ගතවී තිබේ. එහි වත්කම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන නොතිබීමෙන් එම කම්හල මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු නතර වී වසර 33ක් ගතවෙලා

සැබවින්ම දැනට සිමෙන්ති සමාගම සතුව පවතින එකම සිමෙන්ති කම්හල වන කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ද අත්වී ඇත්තේ ඛේදජනක ඉරණමකි. මෙකී සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ ඇති ප්‍රයෝජනයට ගත නොහැකි යකඩ හා ලෝහ සුන්බුන් ඉවත්කර කර්මාන්තශාලාව පිරිසිදු කිරීමේ කාර්යය කර්මාන්ත අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය මගින් නිර්දේශකොට තිබුණි. එහෙත් සිමෙන්ති සමාගම විසින් ඒ සඳහා කටයුතු කර නොතිබුණි. සිමෙන්ති සමාගම සඳහන් කරන ආකාරයට සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ විසිරී ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් පළකර ඇති බවය. ඒ සඳහා ටෙන්ඩරය ලබාදීමේ කටයුතු සිදුකොට ඇති බැව් සිමෙන්ති සමාගම සඳහන් කරන්නේය.

මෙහිදී ලංකා සිමෙන්ති සමාගම ගැන පමණක් නොව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව ගැනද සඳහන් කළ යුතුය. සංස්ථාව සතුව පවතින කන්කසන්තුරේ ඉඩම නිදහස් කරගැනීමටත් නැවත මෙහි සිමෙන්ති නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කිහිප අවස්ථාවකදී සංස්ථාව විසින් උත්සාහකොට තිබුණි. එහෙත් එය නිෂ්පල කටයුත්තක් බවට පත්ව තිබුණි. ඉන්පසු සිමෙන්ති සංස්ථාව විසින් සිමෙන්ති ආනයනය කොට ඉහළ ගුණත්වයෙන් යුත් සිමෙන්ති පාරිභෝගිකයාට අවම මිලකට අලෙවි කිරීමට කටයුතු කරනු ලැබිය. එකල සංස්ථා සිමෙන්ති සඳහා පැවතියේ ඉහළ ඉල්ලුමකි. සිමෙන්ති නම් සංස්ථා සිමෙන්ති බවට රට්ටුන් අතර ද මතයක් ඇතිවී තිබුණි.

කෙසේවුවද 2017 වර්ෂයෙන් පසු සිමෙන්ති ආනයනය කිරීම හා අලෙවි කිරීම සංස්ථාව විසින් නතරකර දැමීමට කටයුතු කරනු ලැබීය. සංස්ථාව විසින් සිමෙන්ති ආනයනය කිරීම නවතා දැමූ 2017 වර්ෂයේ දී සිමෙන්ති මෙටි්‍රක් ටොන් 980ක් ආනයනය කොට තිබුණි. සිමෙන්ති අලෙවි කිරීම සඳහා පළපුරුදු සේවකයින් නොමැතිවීම හා මූල්‍යමය අපහසුතා මත සිමෙන්ති ආනයනය කිරීම නවතා දැමීමට සංස්ථාව විසින් කටයුතු කරනු ලැබීය.

එකදු සිමෙන්ති කොට්ටයක්වත් නිෂ්පාදනය නොකරන සිමෙන්ති සංස්ථාව

සිමෙන්ති සංස්ථාවේ මෙහෙවර ප්‍රකාශයේ සඳහන් වන්නේ, “ගුණාත්මකබවින් යුතු සිමෙන්ති හා සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන රටේ පවතින අවශ්‍යතාවයට සරිලන පරිදි සැපයීම වේ.” මෙහෙවර ප්‍රකාශයේ එසේ සඳහන් වුවද වර්තමානයේ සිමෙන්ති සංස්ථාව නමට පමණක් සීමා වූ ආයතනයක් බවට පත්ව තිබේ. සිමෙන්ති සංස්ථාව විසින් වර්තමානයේ එකදු සිමෙන්ති කොට්ටයක්වත් නිෂ්පාදනය නොකරන ආයතනයක් බවට පත්ව ඇත. කොටින්ම කිවහොත් සිමෙන්ති සංස්ථාව සුදු අලියෙකි. සිමෙන්ති සංස්ථාවේ ඉතිහාසය හාරා ඇවිස්සීමේ දී සිමෙන්ති සංස්ථාවට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. 1950 වර්ෂයේ දි කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක විය. ඉන්පසු 1955 අංක 19 දරණ රාජ්‍ය අනුග්‍රහයලත් සංස්ථා පනතේ විධිවිධාන යටතේ 1956 වර්ෂයේ දී මෙය රාජ්‍ය සංස්ථාවක් බවට ස්ථාපනය කරනු ලැබිය. 1959 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට නැවත සිමෙන්ති සංයුක්ත මණ්ඩලය යනුවෙන් ස්ථාපිත කරනු ලැබු මෙම ආයතනය 1980 වර්ෂයේ දි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව ලෙස නැවත ස්ථාපනය කරනු ලැබීය.

මෙම ලිපියේ මීට පෙර සඳහන් කළ පරිදි මේ වනවිට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් සිදු නොකරනු ලබයි. සංස්ථාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ අරුවක්කාලු හුණුගල් නිධිය හා එහි ඛනිජවැලි වෙන්කරගැනීමේ ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායම සහ කොල්ලුපිටියේ පිහිටි ඉඩම රථගාලක් සඳහා බදුදීමෙන් ලැබෙන ආදායම පමණි. 2023 වර්ෂයේ දී අරුවක්කාලු හුණුගල් නිධිය හා එහි ඛනිජවැලි වෙන්කරගැනීමේ ව්‍යාපෘතියෙන් රුපියල් දහතුන්කෝටි විසිහයලක්ෂ තුන්දහස් එකසිය පනස්හයක (132,603,156) ආදායමක් ලැබී තිබුණි. කොල්ලුපිටියේ පිහිටි ඉඩම රථගාලක් සඳහා බදුදීමෙන් ලැබී ඇති ආදායම රුපියල් පනස්අටලක්ෂ අනූහයදහස් පන්සිය හැත්තෑදෙකකි (5,896,572).

අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම අවිධිමත් අයුරින් පුද්ගලික සිමෙන්ති සමාගමකට බදු දීලා

සංස්ථාව සතුව පවතින අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩමේ මතුපිට පස් ස්ථරයෙහි පවතින ඛනිජවැලි වෙන්කර ගැනීමේ ව්‍යාපෘතියක් සඳහා මෙකී හුණගල් නිධිය අවුරුදු 50ක කාලසීමාවක් සඳහා පුද්ගලික සිමෙන්ති සමාගමක් වෙත බදු දී තිබුණි. එහෙත් මේ සඳහා අදාළ ආයෝජකයා තෝරා ගැනීමේ දී ප්‍රසිද්ධ දැන්වීම් පළකර, ලංසු කැඳවීමක් සිදුකර හා තාක්ෂණික
ඇගයීම් කමිටුපත්කර ඇගයීම් සිදුකර නොතිබුණි. සීමිත මිල කැඳවීමකින් තෝරාගත් මෙකී පුද්ගලික ආයතනය වෙත හුණුගල් නිධිය බදු පදනම මත ලබාදී තිබුණි.

ඒ විතරක් නොව අරුවක්කාලු හුණුගල් නිධියේ මතුපිට පවතින ඛනිජ වැලි වෙන්කරගැනීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ක්‍රියාත්මක කොට නොතිබුණි. ජාතික සංවර්ධනයට ඛනිජ සම්පත් ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව යෝග්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය නිලධාරී කමිටුවක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දුකොට තිබුණි. එසේ සකස් කරනු ලබන ප්‍රතිපත්තිය මාස දෙකක් තුළ කර්මාන්ත හා පරිසර යන ඇමැතිවරුන් මගින් ඒකාබද්ධ සංදේශයක් ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කර තිබුණි. එහෙත් අමාත්‍ය මණ්ඩල නිර්දේශය ප්‍රකාරව මාස දෙකක් තුළ කමිටු වාර්තාව ලබාදීමට අදාළ නිලධාරීන් විසින් කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් සංස්ථාව විසින් ඛනිජ වැලි සමාගමක් සමග මෙකී ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගතව තිබුණි.

සිමෙන්ති සංස්ථාව සතු කොල්ලුපිටියේ පිහිටි ඉඩමත් රාජ්‍ය බැංකුවකට උකස් කර මිලියන 735ක ණය ලබාගෙන

එමෙන්ම සිමෙන්ති සංස්ථාව සතුව ඇති කොල්ලුපිටියේ පිහිටි ඉඩම ඉහළ වාණිජ්‍යමය වටිනාකමින් යුතු ඉඩමකි. මෙකී ඉඩමේ ප්‍රමාණය පර්චස් 89.07කි. මෙකී ඉඩම 2008 වර්ෂයේ දී ලංකා බැංකුවට උකස් කර රුපියල් මිලියන 735ක ණය මුදලක් සංස්ථාව විසින් ලබාගෙන තිබුණි. මෙකී ණය මුදලින් 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට රුපියල් තුන්කෝටි අසූහත්ලක්ෂයක මුදලක් ගෙවීමට තිබුණි. 2023 වර්ෂයේ දී පොලී මුදල් ලෙස ගෙවා ඇති මුදල රුපියල් එක්කෝටි හාරලක්ෂ හැත්තෑහත්දහස් අසූපහකි (10,447,085) පොලී මුදල් වශයෙන් කෝටියකට අධික මුදලක් ගෙවා ඇතත් ඉඩම බදු දීමෙන් සිමෙන්ති සංස්ථාව විසින් 2023 වර්ෂයේ දී උපයාගෙන ඇත්තේ රුපියල් පනස්අටලක්ෂ අනූහයදහස් පන්සිය හැත්තෑදෙකක (5,896,572) මුදලකි. මෙකී ඉඩම ඵලදායී ආයෝජනයක් සඳහා යොදා ගැනීමට සංස්ථාව විසින් කටයුතු කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් සිමෙන්ති සංස්ථාව සඳහන් කරන්නේ මහල් 32කින් සමන්විත ගොඩනැගිල්ලක් සෑදීම ද සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.

සිමෙන්ති සංස්ථාවේ 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව අඩුවියදම් බර අඩුගඩොල් නිෂ්පාදනය, කන්කසන්තුරේ පිහිටි නිවාඩු බංගලාව ප්‍රතිසංස්කරණය කිරීම, දේශීය හෝ විදේශීය ආයෝජකයින් සමග එක්ව සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ස්ථාපිත කිරීම සහ ඩොලමයිට් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණ සිදුකිරීම යන ව්‍යාපෘති හතර ඉටුකළ යුතුව තිබුණි. එහෙත් මින් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොතිබුණි. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් කිසිදු කාර්යයක් සිදු නොකළද සංස්ථාව සඳහා සභාපතිවරයකු හා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කොට ඇත. ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවිය යුතුවේ.

සිමෙන්ති සංස්ථාව කිසිදු කාර්යයක් සිදු නොකළද සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරගෙන වැටුප් හා දීමනා ගෙවලා

ඒ විතරක් නොව සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි සංස්ථාවට අයත් තෙල් ටැංකි දෙක හා නළ පද්ධතිය 2015 වර්ෂයේ දි රුපියල් විසිඑක්කෝටි අසූලක්ෂ හතලිස්දහසක මුදලකට (218,040,000) තක්සේරුකොට තිබුණි. එහෙත් මෙකී දේපළ කිසිදු ලිඛිත ගිවිසුමකින් තොරව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම විසින් භාවිතා කරමින් පැවතුණි. එහෙත් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් ලැබිය යුතු කෝටි 21කට අධික තක්සේරු මුදල මේ දක්වා සිමෙන්ති සංස්ථාව වෙත ලබා දී නොතිබුණි. රුපියල් හත්ලක්ෂ පනස්දහසක් වටිනා දුම්රිය එන්ජින් වර්ෂ කිහිපයක සිට විකිණීමට තබා ඇති වත්කමක් ලෙස දක්වා තිබුණි. නිෂ්කාර්යව පවතින මෙකී වත්කම් සම්බන්ධයෙන් සිමෙන්ති සංස්ථාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. මේ තුළින් පැහැදිලි වන්නේ සිමෙන්ති සංස්ථාව සතුව දැනට ඉතිරිව පවතින වත්කම් ආරක්ෂා කරගැනීමට කටයුතු කර නොමැති බවය.

ලලිත් චාමින්ද

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here