හත්තිලව්වට ගහපු කලාබරය

0
7

දිවයින පුරා තිබෙන ආර්ථික මධ්‍යස්ථාන මහා භාණ්ඩාගාරයට අයිති සමාගමක් යටතට පවරන බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පවසා තිබේ. රාජ්‍ය අංශයේ තිබෙන ආයතන රජය යටතේම තිබෙන සමාගම් ලෙස ස්ථාපනය කිරීමේ කටයුත්ත පටන්ගන්නා ලද්දේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ පාලන සමයේදී ය. බංකොලොත්භාවයට පත්වෙමින් පැවැති රාජ්‍ය ආයතන කිහිපයක් මේ ආකාරයෙන් රජයට අයිති සමාගම් බවට පත් කිරීම එකල සිදුවිය. මෙසේ ඇති කරන ලද සමහර සමාගම් සාර්ථක විය. තවත් සමහර සමාගම් නන්නත්තාර වී අඤ්ඤකොරොස්භාවයට පත් විය. පසු කාලයේ දී ඒවා ගෙඩිය පිටින්ම ඈවර කර පරණ යකඩවලටත්, පරණ ලීවලටත්, මිශ්‍ර සුන්බුන් ලෙසටත් විකුණා දමන ලදී. මේ අනුව රාජ්‍ය ආයතන ආණ්ඩුවේ සමාගම් බවට පත්කිරීම සතුටු සහගත නිමාවක් ඇති සුරංගනා කතා බවට හැමවිටම පත්වන්නේ නැත. එහෙත් කිසියම් රජයකට ප්‍රතිපත්තිගරුක ලෙසත් අවංක ලෙසත් මේ කාර්ය කළ හැකි නම් එවැනි සමාගම් අසාර්ථක වීමට හේතුවක් ද නැත.

මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන සංස්කෘතිය පටන්ගන්නා ලද්දේ මහින්ද රාජපක්‍ෂ රටේ ජනාධිපතිව සිටි සමයේදී ය. මේ සංකල්පයේ මූලිකයා බන්ධුල ගුණවර්ධන බව අපගේ මතකය වේ. ආරම්භ කළ සැනින් ලැබුණු අතිමහත් ප්‍රචාරය නිසා මේ ආර්ථික මධ්‍යස්ථාන වෙත පාරිභෝගික ජනයා පැමිණීමත්, එම ආර්ථික මධ්‍යස්ථානවල බිස්නස් ඉහළ යෑමත් සිදුවිය. උදාහරණයක් ලෙස දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වූවේ ය. වැලිසර පිහිටි ආර්ථික මධ්‍යස්ථානය එතරම් හොඳ ප්‍රතිඵල පෙන්වූවේ නැත. ඒ අතර නාරාහේන්පිට පිහිටි ආර්ථික මධ්‍යස්ථානය හොඳ ප්‍රතිඵල පෙන්වී ය. ඕනෑම දෙයක් පරණ වන විට එහි තිබෙන ගතිකභාවය නැතිවී යයි. මේ රටේ අවුල් බොහොමයකට සිදුවී ඇත්තේ ද මේ කෙළියම ය. අන්තිමේ දී හත්තිලව්වට ගහපු කලාබරය මෙන් ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම පාහේ බිමට පහත් වන ගතියක් දැකගන්නට ලැබිණ. ආර්ථික මධ්‍යස්ථානවල කඩාවැටීම ඒවායේ සැපැයුම්කරුවන්ට ලොකු ප්‍රශ්නයක් වූහ. සමහර ආණ්ඩු කළ මෝඩ වැඩ නිසා ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය තවත් පිරිහිණ. උදාහරණයක් වශයෙන් නුවරඑළියේ අර්තාපල් ගලවන කාලයට පාකිස්තානයෙන් ගෙන්වූ අර්තාපල්වලට ටැක්ස් එකක් ගහන්නට ආණ්ඩුව පටන් ගත්තේ ය. එවිට සියලු ආර්ථික නියාමනයන්ට එරෙහිව යමින් අර්තාපල් පමණක් නොව බතල හා මඤ්ඤොක්කා ද ගණන් ගියේ ය.

ආර්ථික මධ්‍යස්ථානයක් මගින් ජනතාවට විශාල සේවාවක් කළ හැකිය. ලංකාවේ විවිධ පළාත්වල නිෂ්පාදනය කෙරෙන කෘෂි භාණ්ඩ සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමෙන් ඒවාට විශාල වෙළෙඳපොළක් ඇති විය. ආර්ථික මධ්‍යස්ථාන කඩාවැටීමත් සමගම වෙළෙන්දෝ ද ගොවියෝ ද නන්නත්තාර වූහ. ආර්ථික මධ්‍යස්ථාන නිසාම අලුතින් ඉඩම් රැගෙන වගා කටයුතු කළ විශාල පිරිසක් වූහ. ඔවුන් වගා කළේ බැංකු ණය අරගෙන ය. බැංකුව ණය නිකන් දෙන්නේ නැත. ඔවුහු ඒවාට ඇපයක් තබාගෙන පොලියක් ද අය කරති. ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල බිස්නස් නැතිවීම නිසා සමහර වගාකරුවෝ ණයත්, පොලියත් යන දෙකම ගෙවා ගැනීමට නොහැකිව ඇපයට තැබූ ගෙවල්-දොරවල් සින්නවීමේ විපතට මුහුණ දුන්හ. ඒ නිසා ආර්ථික මධ්‍යස්ථාන රාජ්‍ය සමාගමක් යටතට ගැනීම ඉතා හොඳ දෙයකි. හැබැයි මෙම සමාගමට නිලධාරීන් තෝරා ගැනීමේ දී බෙහෙවින් ප්‍රවේසම් විය යුතුව ඇත. මන්ද ආර්ථික මධ්‍යස්ථානයකින් ඉතාම ඉහළින් කොමිස් ගැසිය හැකි ය. මේ නිසා අතන, මෙතන සිටින පුද්ගලයන් නොව ධනවත් ප්‍රගතිශීලී උගත් පුද්ගලයන් තෝරා මේ ආර්ථික මධ්‍යස්ථානවලට පත් කළ යුතු ය. නැත්නම් සිදුවන්නේ හත්තිලව්වට ගහපු කලාබරයේම දෙවැනි කොටස ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here